1200 x 80 DMirror
 
 

මඩකලපුව පූනානි ප්‍රදේශයේ පිහිටි මඩකලපු විශ්වවිද්‍යාලය තුළ ස්ථාපනය කර ඇති නිරෝධායන මධ්‍යස්ථානය අපායක්

වැනි ස්ථානයක් බව ඉතාලියේ සිට පැමිණ එම ස්ථානයට යවනු ලැබූ පුද්ගලයෙක් පැවසීය.

තමන් ඇතුළු ඉතාලියේ සිට ඩුබායි හරහා පසුගිය මාර්තු 11 වෙනිදා ලංකාවට පැමිණි 40ක පමණ පිරිසක් මෙම ස්ථානයට ගෙනවිත් රැඳවූ බවත් එක කාමරයක පුද්ගලයන් 4 දෙනෙකු සිටින බවත් බොන්නට වතුර හෝ නිසි ලෙස පවත්වාගෙන යන වැසිකිළි පද්ධතියක් හෝ නොමැති බවත් ඔහු කීය.

 ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ වෛද්‍යවරයෙකු හෝ නැති මෙම ස්ථානය තුළ නිසි නිරෝධායනයක් සිදුවේදැයි සැක බවයි.

තමා සමග තම ගුවන් යානයේම ඉතාලියේ සිට පැමිණි විදේශිකයන් නිරෝධානය හෝ කිසිදු ක්‍රියාමාර්ගයක් නොමැතිව රට තුළට නිදහස් කළ බවත් ශ්‍රී ලාංකිකයෙකු වූ තමන් පිරිස අපායක් වැනි තැනකට ගාල් කර නොසලකා හැර ඇති බවත් ප්‍රකාශ කරන ඔහු විමසා සිටින්නේ රට තුළට නිදහස්වන විදේශිකයන් මාර්ගයෙන් වෛරසය පැතිරීමේ අවදානමක් නැතිද යන්නයි.

මෙම විශ්වවිද්‍යාලයේ තමන් සිටින පරිශ්‍රයේ 40 දෙනෙකු පමණ සිටින බවත් එම පිරිස අතර කාන්තාවන් 3 දෙනෙක් සහ ළමුන් 4 දෙනෙකුද සිටින බවත් ඔහු ප්‍රකාශ කරයි.

 ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ තම පිරිස රැඳී සිටින ස්ථානය වැනි ස්ථාන හතරක් පමණ මෙම පරිශ්‍රයේ පිහිටා ඇති බවය.

මෙම නිරෝධායන මධ්‍යස්ථානවලදී ලබාදෙන පහසුකම් ප්‍රමාණවත් නොවන බව ඒවායේ රඳවා සිටින කිහිපදෙනෙකු සමාජ මාධ්‍ය වෙත වීඩියෝ මුදාහරිමින් සිය අදහස් පළ කර ඇත.

(කේ. සංජීව - අනිද්දා)

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්