කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුල පාලනය කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ නායකයන් සහ අදාළ ආයතන හා අධිකාරීන් කැඳවා සියලු දෙනාගේ අදහස් සැලකිල්ලට ගෙන මහජනතාවට හා

අනෙකුත් සියලු පාර්ශ්වයන්ට පිළිගත හැකි පරිපූර්ණ සැලැස්මක් සකස් කිරීමට පියවර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙන් ඉල්ලීමක් කර තිබේ.

රෝග ව්‍යාප්තිය වැලැක්වීම සහ මේ වසන්ගත තත්වය නිසා මතුවන සමාජ ආර්ථික ගැටලු අවම කර ගැනීමට නම් සියලු දෙනාට පිළිගත හැකි පරිපූර්ණ සැලසුමක් අවශ්‍ය බව තමාගේ විශ්වාසය බව රනිල් වික්‍රමසිංහ එම ලිපියේ සඳහන් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කරන ලද ලිපියේ සිංහල පරිවර්තනය පහත පළවේ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති 
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඹ

අතිගරු ජනාධිපතිතුමනි,

කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය වසන්තග තත්වයකට පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. රෝග ව්‍යාප්තවීමේ කේන්ද්‍රය චීනයේ සිට යුරෝපය වෙත සංක්‍රමණය වී ඇත. ඇමරිකා එක්සත් ජනපදය ජාතික හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. මැද පෙරදිග රටවල් ගණනාවක් සංචාරකයන් සඳහා තහනම් පනවා ඇත. 

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද, පාස්කුව, රාමසාන් ආදී උත්සව සමයන්ද මහමැතිවරණයද ඉදිරියේදී එළැඹෙන බැවින් වෛරසය පැතිරීම වේගවත් වී කුඩා ව්‍යාපරිකයින්, ගොවීන්, රජයේ හා පුද්ගලික අංශ සේවක සේවිකාවන්ට මෙන්ම පොදු මහජනතාවටද පීඩා සිදුවනු ඇත. 

රෝග ව්‍යාප්තිය වැලැක්වීම උදෙසා රජය විසින් සැලසුම් සකස් කර ඇති බව 2020 මාර්තු 14 වන දා 'ඩේලි නිව්ස්' පුවත්පත වාර්තා කර තිබුනි. 

ජනතාව අතර පැතිර යන බිය තුරන් කර හැක්කේ එම සැලැස්ම ප්‍රසිද්ධ කිරීම ඔස්සේය. 

එසේම රෝග ව්‍යාප්තිය වැලැක්වීම සහ මේ වසන්ගත තත්වය නිසා මතුවන සමාජ ආර්ථික ගැටලු අවම කර ගැනීමට නම් සියලු දෙනාට පිළිගත හැකි පරිපූර්ණ සැලසුමක් අවශ්‍ය බව මා‌ගේ විශ්වාසයයි. 

ඒ නිසා සියලු දේශපාලන පක්ෂ නායකයන් සහ අදාළ ආයතන හා අධිකාරීන් කැඳවා සියලු දෙනාගේ අදහස් සැලකිල්ලට ගෙන මහජනතාවට හා අනෙකුත් සියලු පාර්ශ්වයන්ට පිළිගත හැකි පරිපූර්ණ සැලැස්මක් සකස් කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිනු කැමැත්තෙමි.

2020 මාර්තු 13 වන දා මවිසින් නිකුත් කරන ලද පුවත් නිවේදනයේ පිටපතක් ද, එදිනම මැතිවරණ කොමිසමේ  සභාපතිවරයා වෙත  යැවූ ලිපියේ පිටපතක්ද මීට යා කොට ඇත. 

මීට හිතවත්,
රනිල් වික්‍රමසිංහ
නායක එක්සත් ජාතික පක්ෂය 

2020 මාර්තු 14

.....................................................................

මැතිවරණ කොමිසමේ අපේක්ෂිත උපදෙස් කවරේද? රනිල් විමසයි 


එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය වෙත යොමු කරන ලද ලිපියේ සිංහල පරිවර්තනය.

මහින්ද දේශප්‍රිය මැතිතුමා,
සභාපති,
මැතිවරණ කොමිසම,
සරණ මාවත,
රාජගිරිය.


ගරු සභාපතිතුමනි,

2020 අප්‍රෙල් මස 25 වන දාට දින නියම කරන ලද පාර්ලිමේන්තු මැතිවරණය

2020 මාර්තු 02 දිනැති අංක 2165/8 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් එදින මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හරින බවටත්, 2020 මාර්තු 12 වන දා සිට 2020 මාර්තු 19 වන දා මධ්‍යහනය දක්වා නාමයෝජනා බාරගෙන, 2020 මාර්තු 25 වන දා මැතිවරණය පවත්වා 2020 මැයි 14 වන දා පාර්ලිමේන්තුව රැස්කරන බවටත්, ගරු ජනාධිපතිතුමා විසින් නිවේදනය කර තිබේ. 

මේ වන විට කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව ඇතුලු ලොව පුරා දස දහස් ගණනක් ජනතාව අතර පැතිර ගොස් තිබේ. මේ වන විට 5000 ක පමන පිරිසක් මේ රෝගී තත්වය නිසා ජීවිතක්ෂයට පත්වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසන්ගත රෝගී තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. 

''මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාර සමයේදීද, සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද, පාස්කු ආගමික වැඩසටහන් හා පාස්කු ප්‍රහාරය සිහිපත් කිරීමේ වැඩසටහන් සහ රාමසාන් උත්සව සමයන් හිදීද, ජනතාව ඒකරාශීවීම් බහුල බැවින් වෛරසය බෝවීම වේගවත්වීම වැළැක්විය නොහැකිය. ''


මේ පසුබිම සැලකිල්ලට ගනිමින්, මැතිවරණ ප්‍රචාරක කාලය තුල කවාරාකාර පියවර ගැනීමට ඔබතුමා විසින් බලාපොරොත්තු වන්නේද යන්න පිළිබඳවත්, මේ පිලිබඳව රජයේ සහ අදාළ අනෙකුත් ආයතනයන්ට ලබාදීම අපේක්ෂිත උපදෙස් කවරේද යන්න පිළිබඳවත් අප දැනුවත් කරන්නේ නම් මැනවි. 

මීට විශ්වාසී 
රනිල් වික්‍රමසිංහ 
නායක එක්සත් ජාතික පක්ෂය
2020 මාර්තු 14 
Lateer 2 2020.03.15

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්