ඉදිරි මහ මැතිවරණය සදහා නාම යෝජනා භාරගැනීම සඳහා තවත් දිනයක් පමණක් ඉතිරිව ඇති පසුබිමක ඒ සම්බන්ධයෙන්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා 'පොහොට්ටු' පක්ෂය අතර හටගෙන ඇති අර්බුදය විසඳිම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (17) දිනයේ මැදිහත්ව ඇතැයි වාර්තාවේ.

ඉදිරි මහ මැතිවරණයට පොහොට්ටුව ලකුණින් තරඟ වැදීම සදහා අපේක්ෂාවෙන් සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂයින් පිරිසකට එම අවස්ථාව අහිමි වීම නිසා දිස්ත්‍රික්ක කිහිපයකට 'අත' ලකුණින් තරඟ වැදිය යුතු යැයි එම පක්ෂයේ මහ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර හා ජාතික සංවිධායක දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේද රැස්විය.

ඊට සහභාගි වීමට නිදහස් පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට සිටි අපේක්ෂකයින් පිරිසක් පැමිණ සිටියද ඔවුන්ට මෛත්‍රීපාල සිරිසේනගේ නිවසට පිවිසීමට උත්සහ කළත් ඊට අවස්ථාව හිමිනොවිය.

 

ගෝඨාභයගෙන් දුරකථන ඇමතුමක් !

කෙසේ වෙතත් අදාල යෝජනාව සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීමට නොහැකිව සාකච්ඡාව දිගින් දිගටම ඇදෙමින් තිබියද ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේනට දුරකතන ඇමතුමක් ලබා දී ඇති ජනාධිපතිවරයා, ශ්‍රීලනිපයෙන් ඉල්ලා ඇති කිහිප දෙනෙකුට නාමයෝජනා ලබාදීමට එකඟතාවය පළකර ඇතැයි වාර්තාවේ.

අනුරාධපුරය, ගම්පහ හා කොළඹට තවත් ශ්‍රීලනිප එක් අපේක්ෂකයකු බැගින් නාමයෝජනා ලබාදීමට තමා බැසිල් රාජපක්ෂව එකඟ කරගත් නමුත්, කුරුණෑගල දිස්ත්‍රීක්කයට තවත් ශ්‍රීලනිප අපේක්ෂකයකුට අවස්ථාවක් ලබාදීමේ බරපතල අපහසුතාවයක් ඇතැයි ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇතැයි ද පැවසේ.

 තවත් එක් අපේක්ෂකයකුට හෝ නාමයෝජනා නොදුනහොත් තමා ශ්‍රීලනිපයේ 'අත' ලකුණින් කුරුණෑගලට අපේක්ෂක ලැයිස්තුවක් ඉදිරිපත් කරන බව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර එහිදී අවධාරණය කර ඇතැයි ද පැවසේ.

අද දිනය තුල එම ගැටලුවද විසඳා දීමට ජනාධිපතිවරයා එම අවස්ථාවේදී පොරොන්දු වී වූ බව ඉහත ආරංචිමාර්ග පවසයි.

ශ්‍රීලනිප හිටපු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර 'පොහොට්ටු' පක්ෂයේ කුරුණෑගල නාම යෝජනා ලැයිස්තුවට මේවනවිටත් අත්සන් කර ඇත.

ශ්‍රීලනිපය හා 'පොහොට්ටුව' අතර පැවති අර්බුදය විසඳීමට මැදිහත්ව ඇත්තේ මාධ්‍ය ජාලයක ප්‍රධානියකු හා ශ්‍රීලනිප හිටපු මන්ත්‍රීවරයකු වන ෆයිසර් මුස්තාපා ය

 

දුමින්ද හා ලසන්ත 'පොහොට්ටුවෙන්'

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ලබාදුන් පොරොන්දුව මත 'පොහොට්ටු' පක්ෂයෙන් නාමයෝජනා අත්සන් කිරීමට ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක, ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක එකඟතාවය පළකර ඇත. ඒ අනුව හිටපු ඇමතිවරයකු වන තිස්ස කරල්ලියද්ද මෙවර ශ්‍රීලනිපය නියෝජනය කරමින් 'පොහොට්ටුව' ලකුණ යටතේ අනුරාධපුරයට තරඟ කිරීමට නියමිතය.

එසේම, කොළඹ දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල සහ කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක යන දෙදෙනාට 'පොහොට්ටුව' යටතේ නාමයෝජනා හිමිව ඇත.

ගම්පහ දිස්ත්‍රීක්කයේ තවත් ශ්‍රීලනිප අපේක්ෂකයකුට අවස්ථාව ලබාදීමට ජනාධිපතිවරයා දී ඇතැයි කියන පොරොන්දුව මත, පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න ද 'පොහොට්ටුවෙන් නාමයෝජනා ලබාදීමට එකඟතාවය පළකර ඇතැයි වාර්තාවේ.

 

යාපනය, වන්නි, නුවරඑළිය හා කළුතරට ශ්‍රීලනිපය 'අත' ලකුණින් !

මෙම මහ මැතිවරණයේදී යාපනය, වන්නි, නුවරඑළිය හා කළුතර දිස්ත්‍රීක්ක වලට 'අත' ලකුණින් තරඟ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, 'පොහොට්ටු' පක්ෂය සමග එකඟතාවයක් ඇතිකර ගෙන ඇති අතර ඒ අනුව, ඊයේ (17) පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර යාපනය දිස්ත්‍රික් නාමයෝජනා පත්‍රයට අත්සන් කළේය.

''ශ්‍රීලනිපය 'අත' ලකුණින් මෙම මහ මැතිවරණයට වෙනම ඉදිරිපත්විය යුතු බවට දයාසිරි හා දුමින්ද  ඇතුළු පිරිසක් යෝජනා කරද්දී 'පොහොට්ටුව' යටතේම ඉදිරිපත්විය යුතු බවට දැඩි ස්ථාවරයක් ගෙන තිබුනේ එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාලය.''

ශ්‍රීලනිපය 'අත' ලකුණින් මෙම මහ මැතිවරණයට වෙනම ඉදිරිපත්විය යුතු බවට දයාසිරි ජයසේකර හා දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් යෝජනා කරද්දී 'පොහොට්ටුව' යටතේම ඉදිරිපත්විය යුතු බවට දැඩි ස්ථාවරයක් ගෙන තිබුනේ එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනය.

theleader.lk වෙත වාර්තා වන පරිදි ශ්‍රීලනිපය හා 'පොහොට්ටුව' අතර පැවති අර්බුදය විසඳීමට මැදිහත්ව ඇත්තේ මාධ්‍ය ජාලයක ප්‍රධානියකු හා ශ්‍රීලනිප හිටපු මන්ත්‍රීවරයකු වන ෆයිසර් මුස්තාපා ය. ෆයිසර් මුස්තාපා ශ්‍රීලනිපය වෙනුවෙන් 'පොහොට්ටුවේ' ජාතික ලැයිස්තුව නියෝජනය කරයි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්