theleaderlk 01

පිට පළාත්වලින් මුලතිව් මුහුදට පැමිණෙන ධීවරයන් නීති විරෝධි ක්‍රම භාවිත කරමින් නිදහසේ මසුන් මරන බවට චෝදනා කරන ධිවර සංගම්

නායකයෙක් ඒ සඳහා  ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ලැබෙන්නේ දැයි සැක පල කර තිබේ.

සාගර කලාපයට හානිකර පන්න ක්‍රම යොදාගන්නවුන්ට එරෙහිව පියවර ගැනීමට බලධාරීන් අසමත් වෙතොත් එය මහ සයුරේ ගැටුමකට මග පෑදීමේ අවදානමක් ද ඔහු විසින් මතු කර ඇත.  

මැයි 6 වැනිදා, මුලතිව් දිස්ත්‍රික් ධීවර සංගමයේ නායක අරුල්නාදන් වින්සන්ති පෝල් මුලතිව් මාධ්‍ය සමාජයේ දී තම සැකයට හේතු ලෙස දැක්වුයේ නීති විරෝධි ක්‍රම භාවිත කරමින් මසුන් මරන්නන්ට එරෙහිව නාවික හමුදාව කිසිදු පියවරක් ගන්නා බවක් පෙනෙන්නට නොමැති වීමයි.

“නයාරු සහ කෝකිලායි ප්‍රදේශවල බෝට්ටු 50ක් තිබ්බත් නාවික හමුදාව අල්ලලා බලධාරීන්ට භාර දෙන්නේ එක බෝට්ටුවයි. අපි අවස්ථා ගණනාවකදීම ඒක කියලා තියනවා. අපි පාලම උඩ හිටගෙන නිරීක්‍ෂණය කරනවා. මුහුදු වෙරළේ ඉඳගෙන බලනවා. නාවික හමුදාව කියනවා ක්‍රියාමාර්ග ගන්නවා කියලා. නමුත් කිසිම පියවරක් ගත්තේ නැහැ.”

 

මසුන් මැරීමෙන් ජීවිකාව සරිකරගන්නා තමන්ද මසුන් හිග කමින් මාසයකට ආසන්න කාලයක් තිස්සේ මුහුදු නොගිය බව පවසන ධිවර සංගම් නායකයා පෙන්වා දෙන්නේ පිට පළාත් වලින් පැමිණ තහනම් ආම්පන්න භාවිතයෙන් මසුන් මරන්නන් මාළු පැටවුන් ද විනාශ කරමින් කිලෝ දහස් ගණනක මත්ස්‍ය අත්වැන්නක් නෙලා ගන්නා බවයි.

 

“මගේ බෝට්ටුව දවස් 25කින් මුහුදු ගියේ නැහැ, මාළු නැති නිසා. මාළු කිලෝ එකයි, දෙකයි තමයි හම්බවෙන්නේ. නමුත් කෝකිිලායි, නායාරු, කොක්කුතොඩුවායිවල මාළු කිලෝ 2,000, 3,000, 4,000, 5,000 අහුවෙනවා. කුඩා මාළු විනාශ කරනවා. අපේ මුහුද අපිට ආරක්ෂා කරන්න පුළුවන්. නමුත් අපි නිහඬව සිටින්නේ ඒ ගැන බලධාරීන් පියවර ගන්න ඕනේ නිසා. එහෙම නොවුනොත් මුහුදේ ගැටුම්කාරී තත්වයක් ඇති වෙනවා. නාවික හමුදාව හිතුවොත් සතියක් ඇතුළත ඒවා නවත්වන්න පුළුවන්.”

තහනම් ආම්පන්න භාවිත කරමින් මසුන් මරන්නන් අත්අඩංගුවට ගැනීමට ධිවර දෙපාර්තමේන්තුව ලබා දී ඇති උපදෙස් නාවික හමුදාව ක්‍රියාත්මක නොකරන්නේ එම ධිවරයන්ට නාවික හමුදාවේ සහයෝගය ලැබෙන නිසාදැයි අරුල්නාදන් වින්සන්ති පෝල් ධිවර සංගම් නායකයා එහිදී තව දුරටත් සැක මතු කළේය.

“බැටරි, ලයිට් මුහුදට අරන් යන්න බැහැ. ලයිට් අල්ලලා මාළු ඇල්ලුවොත් අත්අඩංගුවට ගන්න කියලා දෙපාර්තමේන්තුව කියනවා. ඒත් නාවික හමුදාව ඒ සඳහා පියවර ගන්නා බවක් පෙනෙන්නේ නෑ. නාවික හමුදාව මුහුදේ රාජකාරිය කරන්න ඕනේ. ඒගොල්ලෝ එහෙම කරන්නේ නැත්තේ ඇයිද කියලා දන්නේ නැහැ. අපිට සැකයක් තියෙනවා මේක වෙන්නේ එයාලගේ සහයෝගයෙන්ද කියලා.”

 

අරුල්නාදන් වින්සන්ති පෝල් තව දුරටත් සඳහන් කළේ නීති විරෝධි ක්‍රම භාවිත කරමින් මුලතිව් මුහුදේ  මසුන් මරන පිට පළාත් වලින් පැමිණෙන ධිවරයන් නිදහසේ නාවික කඳවුර ඉදිරිපිටින් ද ගමන් ගන්නා නමුත් ප්‍රදේශයේ අහිංසක ධිවරයන්ට එරෙහිව නාවික හමුදාව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවයි.

 

“ලංකාවේ දකුණේ මේ වගේ නීති විරෝධී රැකියා කරන්න පුළුවන්ද? බැහැ. බෝට්ටු නාවික කඳවුර ඉදිරිපිටින් යනවා. අපි පරීක්ෂා කරන්න කිව්වත් අල්ලන්නේ නැ. නමුත් අහිංසක ධීවරයන්ගේ බෝට්ටු සහ දැල් සෝදිසි කරනවා. පාස් එක ඉල්ලනවා. එහෙම නැත්නම් කේස් දානවා කියලා කියනවා. නීතිය ක්‍රියාත්මක කරන එක අපි සාදරයෙන් පිළිගන්නවා. නමුත් ඒ නීතිය අනෙක් අයටත් ක්‍රියාත්මක විය යුතුයි.”

ශ්‍රී ලංකා නාවික හමුදාව තහනම් පන්න ක්‍රම භාවිතයෙන් මසුන් මැරීමේ යෙදී සිටින පිට පළාත් වලින් පැමිණි ධිවරයන්ට එරෙහිව නීතිය ක්‍රියාවේ යෙදවීම සිදු නොකරන්නේ නම් මුලතිව් මුහුද ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ප්‍රදේශයේ ධිවරයන් සමග මුහුදට බැසීමට තිරණය කර ඇති බවටත් අරුල්නාදන් වින්සන්ති පෝල් ධිවර සංගම් නායකයා එහිදී අනතුරු අගවා තිබේ.

“නීති විරෝධී මසුන් මැරීම නැවැත්වීමට ඔයාලා  පියවර ගන්න ඕන. නැත්නං කුඩා බෝට්ටු 890ක් තියනවා. බැහැලා අපේ මුහුද ආරක්ෂා කරන්න අපි තීරණයක් අරගෙන තියනවා.”

pe2024 2

worky sin

නවතම පුවත්