කාන්තාවන්ට සිදුවන හිංසනය පිළිබඳව "හිංසන විරෝධී ගෝලීය අභිනයන්" හස්ත මුද්‍රා සංඥා මඟින් සමාජය දැනුවත් කිරීම හරහා ඊට එරෙහි වීමට හැකියාව ලැබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ එබව කියා සිටියේ, DP Education විසින් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පෙරේදා (මැයි 10) සංවිධාන කර තිබූ උත්සවයේ ප්‍රධාන දේශනය සිදු කරමිනි.
කාන්තාවන්ට සහ ගැහැණු දරුවන්ට පොදු ස්ථානවලදී සිදුවන ලිංගික හිංසනයන්ට එරෙහිව "හිංසන විරෝධී ගෝලීය අභිනයන්" හස්ත මුද්‍රා තුනක් එලිදැක්වීම සඳහා මෙම උත්සවය සංවිධානය කර තිබිණ.
වෙනස යන වචනය බහුලව භාවිතා කළද නියම වෙනස සිදුකරනුයේ මේ ආකාරයේ වැඩසටහන් හරහා යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
කාන්තාවක් පොදු ස්ථානයකදී ලිංගික හිංසනයකට ලක්වන විටක, ඒ බැව් සරල අභිනයකින් බාහිරට ප්‍රකාශ කරමින් ආරක්ෂාවීම පෙරදැරි කර ගනිමින් සංඥා (අභිනයන්) ත්‍රිත්වයක් හඳුන්වා දීම වෙනුවෙන් ඇරඹි මෙම වැඩසටහන කාන්තාවන් සවිබල ගැන්වීමේ අරමුණින් ක්‍රියාත්මක භාවයට පත් එම පන්නයේ ලොව පළමු වැඩසටහන බව එම උත්සවයේදී ප්‍රකාශයට පත්විය.
ඒ යටතේ කාන්තාවක් පොදු සමාජයේ සැරිසැරීමේදී කිසිවෙකු අතින් ලිංගික හිංසනයකට ලක්වේ නම් එය හස්ත මුද්‍රාවෙන් දැක්විය හැකි ' ඔබ මට හිරිහැරයක්' යන අභිනයත්, ඒ බැව් අභිනයෙන් ප්‍රකාශ කර සිටියදී තවදුරටත් එම හිංසනය ක්‍රියාත්මක වේ නම් ' ඔබ මට හිරිහැරයක්. මට අන් අයගේ උදව් අවශ්‍යයි ' යන අභිනයත්, කාන්තාව ලිංගික හිංසනයට ලක්කළ පුද්ගලයා තමා කළ වරද තේරුම් ගතහොත් එම අභිනයන්ට ප්‍රතිචාර වශයෙන් දැක්විය හැකි ' මට සමාවෙන්න. මම එසේ නොවෙන්නම් ' යන අභිනයත් මෙහිදී ලෝකයා හමුවේ හඳුන්වාදෙන ලදි.
උත්සවය අමතා වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, කාන්තා හිංසනයට එරෙහි වගන්ති ව්‍යවස්ථාව තුළ තිබුණද, ඒ උදෙසා නීති තිබුණද කාන්තාව හිංසනයෙන් සහමුළින්ම ගලවා ගැනීමට ඒවා ප්‍රමානවත් නොවන බවත් ඒ උදෙසා මෙවැනි ක්‍රමවේදයන් ක්‍රියාත්මක වීමේ සුවිශේෂී වටිනාකමක් ඇති බවත් පැවසීය.
එසේම කාන්තාවන් සවි බල ගැන්වීම සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරදීම වෙනුවෙන් ආණ්ඩුව විසින් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන මොහොතක, ධම්මික සහ ප්‍රිසිලා පදනම හරහා ඩීපී එඩියුකේෂන් ඔස්සේ කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙවැන්නක් ක්‍රියාත්මක වීම අතිශය කාලෝචිත ගැලපීමක් බවත් ඔහු පවසා සිටියේය.
ධම්මික පෙරේරා ගේ සංකල්පයන් අනුව ක්‍රියාත්මක වන අනෙකත් වැඩසටහන් සම්බන්ධයෙන්ද සිය කෘතඥතාව පළ කරමින් අදහස් දැක්වූ ජනපතිවරයා " මේ රටේ අපි නිදහස් අධ්‍යාපනය ලබා දුන්නට හැමෝටම එය එක මට්ටමෙන් දෙන්න හැකියාවක් ලැබුණේ නැහැ. එසේ තිබියදී ඩීපී එඩියුකේෂන් හරහා හැමටම එකම මට්ටමෙන් අධ්‍යාපනය ලැබිය හැකි අලුත් පංති කාමරයක් හදලා දුන්නා. කාලයාගේ ඇවෑමෙන් අධ්‍යාපනය ලබාදෙන ආකාරය වෙනස් වෙද්දී ඩීපී එඩියුකේෂන් අනාගත අධ්‍යාපනයේ කොටසක් අපට අදම උරුම කර දුන්නා " යැයි පැවසිය.
''අපේ රටේ ධනපතියෝ සහ දානපතියෝ ඉන්නවා. දානපතියන් කියන්නේ මුදල් උපයාගෙන සමාජ සත්කාර කරන පිරිසක්. ධම්මික පෙරේරා සිදු කරන්නේ එවැනි ක්‍රියාවක්.'' යයි ද ජනාධිපතිවරයා කියා සිටියේය.
''ලිංගික හිංසනය අවම කරන්න මෙයින් හැකි වෙයි'' - ධම්මික පෙරේරා
ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ ධම්මික පෙරේරා මන්ත්‍රීවරයා මෙහිදී සභාව ආමන්ත්‍රණය කරමින් තමා දියණියන් තිදෙනෙකුගේ පියකු ලෙස ලොව තවත් දියණියකට කාන්තාවකට ලැබිය යුතු ආරක්ෂාව, රැකවරණය පුද්ගලිකවම අගයන අයෙක් යැයි පැවසීය.
එසේම ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යයනයන්ට අනුව සැකසූ පෙරපාසල් දහසක් සමඟ 'ඩීපී කිඩ්ස්' වැඩසටහනද, මෙරට පාසල් අධ්‍යාපනයේ යෙදෙන දරුවන් අතරින් තුනෙන් එකක් විසින් පරිහරණය කරනු ලබන ඩීපී එඩියුකේෂන් වැඩසටහනද, පවුල් 122,000 ක දරුවන් සම්බන්ධ වන 'ඩිපී අයි. ටී කැම්පස්" මෙන්ම පාසල් 675 කට ස්මාර්ට් පංති කාමර ආදියද පිරිනමමින් මෙරට අධ්‍යාපනය ශක්තිමත් කිරීමට වැඩකටයුතු සිදුකිරීමෙන් නොනැවතී එයට සමාන්තරව සමාජයේ සාරධර්ම නැංවීමටද තමා කටයුතු කරගෙන යන බවද ඔහු පවසා සිටියේය.
තමන් ව්‍යාපාරයක් ඇරඹීමේදී පවා මේ රටට පමණක් නොව සමස්ත ලෝකයටම එය රැගෙන යන ආකාරයට සැලසුම් කරන්නෙක් බවත්, ඒ අනුවම කාන්තාවන් ලිංගික හිංසනයෙන් මුදා ගැනීමේ මෙම අභිනයන් ගෝලීය අභිනයන් බවට පත්කිරීමට කටයුතු කරන බවත් ධම්මික පෙරේරා අවධාරණය කළේය.
''කාන්තාවක් කායික වශයෙන්, වාචික වශයෙන් මෙන්ම සයිබර් හිංසනයට ලක්විය හැකියි. නමුත් බොහෝ විට කාන්තාවන් අපහසුවෙන් මේ හිරිහැරය දරාගෙන සිටිනවා, මොකද එය වචනයෙන් ප්‍රකාශ කිරීමෙන් තමන් එයට වඩා අපහසුතාට ලක්විය හැකියි කියලා ඒ අය හිතන නිසා. මෙය වලක්වා ගැනීමට ලෝකයේ සැවොම එකම භාෂාවකින් එකතු කරගන්න හැකි වුණහොත් සමාජයේ කාන්තාවන්ට එම හිරිහැරය සැලකිය යුතු ලෙස අවම කරගන්න පුළුවන් වෙයි කියලා. මුළු ලෝකයම එකම විදිහට භාවිතා කරන සංඥා 8ක් පමණයි තිබෙන්නේ. අපි හඳුන්වා දෙන මේ සංඥා තුන ලෝකයට ගිය විට මුළු ලෝකයම එකම ආකාරයට භාවිතා කරන සංඥා ගණන 11ක් වෙයි '' යයි ද ධම්මික පෙරේරා පැවසිය.
අදාළ අභිනයන් දැක්වෙන සේ ඉමෝජි රූප තුනක් මෙන්ම මෙම වැඩසටහන ලොවට රැගෙන යන www.dpgestures.com වෙබ් අඩවිය දියත් කිරීමද මෙහිදී සිදු විය.
කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍යවරුන් වන අනූප පැස්කුවල්, ලසන්ත අලගියවන්න, අරවින්ද කුමාර්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, සංජීව එදිරිමාන්න, ඒ.එච්. එම්. ෆවුසි, අංගජන් රාමනාදන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, හිටපු අමාත්‍ය රවී කරුණානායක, එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදලේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නේවාසික නියෝජිත කුන්ලේ ඇඩේනියි (Kunle Adeniyi) මෙන්ම තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන්, රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ගුරුවරුන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
සබැඳි පුවත් :
කාන්තාවන් සවිබල ගන්වන පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට