2018 වසරේදී බ්‍රසීලියේ විශ්‍රාමිකයෙකු වන ජොආඕ වෛද්‍ය උපකාර පැතුවේ තම ලිංගයේ ඉන්නෙකු ඇති බවට හඳුනා ගැනීමෙන් පසුව ය.


"ඒක මොකක් ද කියලා දැනගන්න මම ක්ලින්ක් ගානේ යන්න පටන් ගත්තා. ඒත් හැම ඩොක්ටර් කෙනෙක් ම ඒ, වැඩිපුර තියෙන හම නිසා කියලා බෙහෙත් දුන්නා," 63 හැවිරිදි ඔහු සිහිපත් කළේ ය.

ප්‍රතිකාර ලබා ගත්ත ද ඔහුගේ ලිඟුවේ වූ ඉන්නා වර්ධනය වීම නොනැවතිණි. එය ඔහුගේ විවාහයට අයහපත් ලෙස බලපෑම් කිරීමට පටන් ගත් අතර ජොආඕගේ සහ ඔහුගේ බිරිඳගේ ලිංගික ජීවිතය ක්‍රමයෙන් බිඳ වැටිණි. "අපි හිටියේ සහෝදරය යි සහෝදරිය යි වගේ," ඔහු පිළිගනියි. සිදුවන්නේ කුමක්දැයි සොයා ගැනීමට ඔහු අධිෂ්ඨාන කර ගත්තේ ය.

වසර පහක් පුරා ජොආඕ, [ඔහුගේ සැබෑ නම නොවේ] තව තවත් ඖෂධ නියම කළ සහ බයොප්සි පරීක්ෂණ කරන ලෙස නිර්දේශ කළ විශේෂඥ වෛද්‍යවරුන් වාර ගණනකදී හමු විය. "කිසි දෙයකින් ඒකට උත්තරයක් ලැබුණේ නැහැ," ඔහු පවසයි.

පසුව, 2023 වසරේදී ඔහුට රෝග විනිශ්චය ලැබිණි. ජොආඕට ශිෂ්ණ පිළිකාවක් වැළඳී තිබිණි.

"මගේ පවුලේ අයට ඒක අනපේක්ෂිත කම්පනයක් වුණා, ඊට ත් වඩා මට ලිංගයේ කොටසක් අයින් කරන්න සිද්ධ වුණු එක. මට දැනෙන්නේ මගේ හිස ගසා දාලා වගේ," ඔහු පවසයි.

"ඒක ඔයාට තවත් කෙනෙක් එක්ක කියන්න පුළුවන් විධියේ පිළිකාවක් නෙවෙයි. මොක ද ඒක විහිළුවක් බවට පත් වෙන්න පුළුවන් නිසා."

ශිෂ්ණ පිළිකා දුර්ලභ වන නමුත් ලොව පුරා එය වැළඳුණු පුද්ගලයින් ගණන සහ මරණ අනුපාතය වැඩි වෙමින් පවතී.

'ශල්‍යකර්මයට බය වුණා'

නවතම අධ්‍යයනයන්ට අනුව, ජොආඕ සිටින බ්‍රසීලය, පිරිමි පුද්ගලයින් 100,000කට 2.1ක් රෝගීන් වාර්තා වීමේ ඉහළ ම අනුපාතයක් ඇති රටකි.

බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යංශයට අනුව 2012 සිට 2022 දක්වා කාලය තුළ රෝගීන් 21,000ක් වාර්තා වී ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස මරණ සිදුවීම 4,000 ඉක්මවා ගිය අතර පසුගිය දශකය තුළ, අංගඡේදනය කිරීම් 6,500කට වඩා වැඩි ගණනක් සිදු කර තිබේ. එනම්, සාමාන්‍යයෙන් දින දෙකකට වරක් එක් අයෙකු අංගඡේදනය කිරීමකට ලක් කර ඇත.

බ්‍රසීලයේ දුප්පත් ම ප්‍රාන්තය වන මරන්හාඕහි, පිරිමින් 100,000කට 6.1ක් ලෙස ගෝලීය වශයෙන් ඉහළ ම රෝගී අනුපාතය ඇති ප්‍රදේශය බවට සොයා ගැනිණි.

ශිෂ්ණ පිළිකා රෝග ලක්ෂණ බොහෝ විට ආරම්භ වන්නේ, ශිෂ්ණයේ ඇති වන සුව නොවන තුවාලයකින් (ulcer) සහ දැඩි ගන්ධයක් සහිත තරලයක් නිකුත් වීමෙනි.

කල් තියා හඳුනාගත් විට, එය ශල්‍යකර්මයකින් ඉවත් කර, විකිරණ චිකිත්සාව සහ රසායනික චිකිත්සාව වැනි ප්‍රතිකාර මගින් යථා තත්ත්වයට පත්වීමේ වැඩි අවස්ථාවක් තිබේ.

නමුත් ප්‍රතිකාර නොකළහොත්, ශිෂ්ණයේ කොටසක් හෝ මුළුමනින් ම, සහ වෘෂණ කෝෂ වැනි අවට ඇති වෙනත් ලිංගික ඉන්ද්‍රියයන් ඉවත් කිරීමට ද අවශ්‍ය විය හැකි ය.

ජොආඕ ජනවාරි මාසයේදී අර්ධ-අංගඡේදනයකට ලක් වූ අතර ඔහු එය දුෂ්කර කාලයක් වූ බව සඳහන් කරයි.

"ඒක අපට සිදුවේවි කියලා අපි කිසි දවසක හිතන් නැති දෙයක්. ඒ වගේ දෙයක් සිද්ධ වුණා ම අපිට වෙන කාටවත් ඒක කියන්නවත් බැහැ, ඔහු පවසයි.

"මම ශල්‍යකර්මයකට බය වුණා, නමුත් වෙනත් විකල්පයක් තිබුණේ නැහැ. ශල්‍යකර්මයෙන් පස්සේ මුල් සතිවල දැනුණේ දුකක්, ඒක මට නැහැ කියන්න බෑ. ඔබේ ශිෂ්ණයේ කොටසක් නෑ කියන්නේ, ඒක මහා භයානක හැඟීමක්."

ඇතැම් රෝගීහු ජීවිතය වෙනස් කරන පූර්ණ අංගඡේදන ලක් වෙති.

සාඕ පවුලෝහි AC Camargo පිළිකා මධ්‍යස්ථානයේ මෞත්‍රි රෝග ඒකකයේ චියාගෝ කමේලෝ මෝරෝ මෙසේ පවසයි: "අර්ධ වශයෙන් අංගඡේදනය කිරීමකදී ලිංගේන්ද්‍රය හරහා මුත්‍රා පිටවීම දිගට ම සිද්ධ වෙනවා."

"කෙසේ වෙතත්, පූර්ණ වශයෙන් ලිංගය ඉවත් කිරීමේදී මුත්‍රා විවරය වෘෂණ කෝෂය සහ ගුද මාර්ගය අතර ඇති ප්‍රදේශය (perineum) වෙත ගෙන යන්න පුළුවන්. එතැනදී රෝගියාට මුත්‍රා කරන්න සිද්ධ වෙන්නේ වැසිකිළියේ වාඩි වෙලා."


sbuසනීපාරක්ෂාව නොමැතිකම ශිෂ්ණ පිළිකා ඇතිවීමේ අවදානම වැඩි කළ හැකි බව විශේෂඥයින් පවසයි


විශේෂඥයන් පවසන පරිදි, ෆයිමෝසිස් ලෙස හැඳින්වෙන තද පෙරසමක් තිබීම සහ දුම්පානය ඇතුළුව ශිෂ්ණ පිළිකා අවදානම ඇති කරන සාධක කිහිපයක් පවතී.

Brazilian Society of Urologyහි මවුරීසියෝ ඩේනෙර් කොර්ඩෙයිරෝ පවසන්නේ, පෞද්ගලික සනීපාරක්ෂාව ද ඊට බහුලව හේතුවන සාධකයක් බව ය.

"පුද්ගලයෙක් ශිෂ්ණයේ ඉහළ කොටස සහ පෙරසම හරියට පිරිසිදු කරන්න අපොහොසත් වෙනවා නම්, එතන ශ්‍රාවයක් හැදිලා එකතු වෙනවා," ඔහු පවසයි. "මේක බැක්ටීරියා ආසාදන සඳහා ඉතා හිතකර පරිසරයක් නිර්මාණය කරනවා."

"මෙය නැවත නැවතත් සිදු වෙනවා නම්, ඒක ශිෂ්ණ පිළිකාවකට ගොදුරු වීමේ අවදානම ඇති කරනවා."

සනීපාරක්ෂාව මෙන් ම, කොර්ඩෙයිරෝ පවසන පරිදි මානව පැපිලෝමා වෛරසය (HPV) [පොදු වෛරස් කාණ්ඩයකට ලබා දී ඇති නමකි] ආසාදනය වී එම වෛරසය කලක් ශරීරයේ පැවතීම "ප්‍රධාන අවදානම් සාධකවලින් එකක්" ලෙස සැලකේ. ඇතැම් අවස්ථාවලදී, HPV මුඛ සහ ශිෂ්ණ පිළිකා ඇති වීමට හේතු වේ.

ඔහු මෙසේ පවසයි: "HPVවලට එරෙහිව සමූහ වශයෙන් එන්නත් කිරීම අත්‍යවශ්‍ය වන්නේ, එවැනි ඉන්නන් ආදිය වළක්වා ගැනීම සඳහා එහි ඉහළ කාර්යක්ෂමතාව නිසා." නමුත් බ්‍රසීලයේ එන්නත් කිරීමේ අනුපාතය සැබවින් ම ඵලදායී වීමට අවශ්‍ය මට්ටමට වඩා අඩු බව ඔහු තවදුරටත් පවසයි.

කොර්ඩෙයිරෝ පවසන්නේ: "බ්‍රසීලයේ, එන්නත ලබා ගන්න පුළුවන් වුණත්, ගැහැනු දරුවන් සඳහා එන්නත් ලබා දීමේ අනුපාතය පවතින්නේ පහළ මට්ටමක. ඒ කියන්නේ, 57%කට පමණයි ළඟා වෙන්නේ - පිරිමි ළමයින් සම්බන්ධයෙන් ගත්තා ම ඒක 40% ඉක්මවන්නේ නැහැ. රෝගය වැළැක්වීම සඳහා 90%ක ආවරණයක් අවශ්‍යයි."

එන්නත පිළිබඳ වැරදි තොරතුරු සංසරණය වීම, එහි සඵලතාව පිළිබඳව ඇති සැකය සහ එන්නත් කිරීමේ වැඩසටහන්වල ඌනතාව එය ලබා ගැනීමේ පුද්ගලයින් සංඛ්‍යාව අඩු වීමට දායක වී ඇති බව ඔහුගේ විශ්වාසය යි.


xfgvrtwe4ශිෂ්ණ පිළිකා වැළැක්වීම සඳහා HPV ට එරෙහිව එන්නත් කිරීම අත්‍යවශ්‍ය බව විශේෂඥයෝ පවසති


නමුත් එය බ්‍රසීලය පමණක් නොවේ. ශිෂ්ණ පිළිකා සම්බන්ධයෙන් සිදු කළ නවතම පර්යේෂණයට අනුව, ලොව පුරා රෝගීන් සංඛ්‍යාව වැඩි වෙමින් පවතී.

2022 වසරේදී, JMIR Public Health and Surveillance ජර්නලය, රටවල් 43ක නවතම දත්ත ඇතුළත් මහා පරිමාණයෙන් සිදු කළ විශ්ලේෂණයක ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළේ ය.

එහිදී අනාවරණය වූයේ, 2008 සහ 2012 අතර කාලයේ ශිෂ්ණ පිළිකා රෝගීන් වැඩි ම ගණන උගන්ඩාවේ වාර්තා වී ඇති බව ය (100,000ට 2.2). ඉන් පසුව බ්‍රසීලයෙන් (100,000ට 2.1) සහ තායිලන්තයෙන් (100,000ට 1.4) වාර්තා වී ඇත. රෝගීන් අඩු ම ගණනක් වාර්තා වී ඇත්තේ, කුවේට් රාජ්‍යයෙනි (100,000ට 0.1).

"සංවර්ධනය වෙමින් පවතින රටවල්වල ශිෂ්ණ පිළිකා ඇති වීම සහ ඒ හේතුවෙන් සිදුවන මරණ ගණන වැඩි වුව ද, යුරෝපයේ රටවල් බොහොමයක රෝගීන් වාර්තා වීම ඉහළ යමින් පවතී," යැයි චීනයේ සුන් යට්-සෙන් විශ්වවිද්‍යාලයේ ලෙයිවෙන් ෆූ සහ ටියාන් ටියාන් ප්‍රමුඛ මෙම පර්යේෂකයන් කණ්ඩායම සොයා ගත්තේ ය.

එංගලන්තයේ 1979 සහ 2009 අතර කාලයේ 100,000ට 1.1 සිට 1.3 දක්වා රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව ත් ජර්මනියේ 1961 සහ 2012 අතර කාලයේ 100,000ට 1.2 සිට 1.8 දක්වා 50%කින් රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව ත් ඔවුහු වාර්තා කළහ.

Global Cancer Registries පුරෝකථන මෙවලමට අනුව, මෙම සංඛ්‍යා ඉදිරියේදී ඉහළ යනු ඇත. එය ඇස්තමේන්තු කරන්නේ, 2050 වන විට ගෝලීය වශයෙන් ශිෂ්ණ පිළිකා රෝගීන් වාර්තා වීම 77%කට වඩා ඉහළ යනු ඇති බව ය.

විශේෂඥයින් පවසන පරිදි, මෙම වෙනසට බොහෝ දුරට වයස්ගත ජනගහනය හේතු විය හැකි අතර ඔවුන් පවසන්නේ, වයස අවුරුදු 60 ගණන්වල පසුවන පිරිමි පුද්ගලයින් අතර එය වැඩි වශයෙන් වාර්තා වී ඇති බව ය.

කොර්ඩෙයිරෝ පවසන්නේ: "ශිෂ්ණ පිළිකා කියන්න දුර්ලභ රෝගයක් වගේ ම වළක්වා ගන්න පුළුවන් රෝගයක්. සෑම වයස් කාණ්ඩයක ම පිරිමි පුද්ගලයින් සෑම දිනක ම ත් ලිංගික සංසර්ගයකට පසුව ත් සබන් හා වතුරෙන් තම ලිංගය සේදීම වැදගත්."

ලිංගික සංසර්ගයේදී උපත් පාලන කොපු භාවිත කිරීමෙන් සහ පෙරසම ඉවත් කිරීම සඳහා ශල්‍යකර්මයකට භාජනය වීමෙන් [ෆයිමෝසිස් අවස්ථාවන්හිදී] ශිෂ්ණ පිළිකා ඇතිවීමේ අවදානම අවම කර ගත හැකි බවට ඔහු උපදෙස් දුන්නේ ය.

ජොආඕ දැනට ඔහුගේ නවතම පරීක්ෂණ ප්‍රතිඵල එනතෙක් බලා සිටින අතර එය ඔහුට මේ වසර අගදී ලැබෙනු ඇත. "මට විශ්වාසයි මේ පරීක්ෂණවලින් මාව සුව වෙලා කියලා කියයි," ඔහු පවසයි.

"ලිංගයේ කොටසක් ඉවත් කිරීමත් එක්ක දැන් වේදනාව පහව ගිහින්. හිටියට වඩා හොඳ තත්ත්වයක් මට දැනෙනවා. ඒ වුණාට මගේ ඉතිරි ජීවිත කාලය පුරාවට ම ශිෂ්ණයේ කොටසක් නැතුව ජීවත් වෙන එකට මට මුහුණ දෙන්න සිද්ධ වෙනවා."

Cancer Research UK සංවිධානයට අනුව, පිළිකා තත්ත්වය අවට වසා ගැටිතිවලට පැතිරී නොමැති ශිෂ්ණ පිළිකා රෝගීන් 90%කට වඩා වැඩි ගණනක් වසර පහක් හෝ ඊට වැඩි කාලයක් ජීවත් වේ.

(අතිරේක වාර්තාකරණය බීබීසී බ්‍රසීල්හි රෝනි කර්වාලෝ විසිනි)

[BBC සිංහල සේවය]

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්