රුසියානු යුද්ධයට මැදිවූ මෙරට පුද්ගලයන් 16 දෙනෙකු මියගොස් ඇති බවත්, මෙරට යුද හමුදා විශ්‍රාමික සාමාජිකයන්ට රුසියානු හා යුක්‍රේන

යුද්ධය සඳහා පිටත්ව යෑම සඳහා සම්බන්ධීකරණය කරන ලද පුද්ගලයන්, ආයතන සම්බන්ධව පැමිණිලි 288 ක් ලැබී ඇති බවත් ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පැවසීය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ඊයේ (15) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

පැමිණිලි සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයත් පොලිස් අපරාධ හා බුද්ධි අංශත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවද ඔහු කීවේය.

රුසියානු යුද්ධයට මැදිවී සිටින ශ්‍රී ලාංකික ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සාමාජිකයන් සම්බන්ධව රජයේ විශේෂ අවධානය යොමුවී ඇතැයිද ඔහු කීවේය.

රුසියානු - යුක්‍රේන යුද්ධය සඳහා කුලී හේවායන් ලෙස මෙරට විශ්‍රාමික හමුදා සෙබළුන් යොමු කරමින් මිනිස් ජාවාරමේ නිරත බවට සැකපිට විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීයෙකු ඇතුළු තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග අරඹා ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

0112-401146 යන දුරකථන අංකයට දැනුම් දෙන්න 

මිනිස් ජාවාරම සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව 0112-401146 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය. 

මෙලෙස යුද්ධය සඳහා බදවා ගැනීමට අදාළව දැන්වීම් පළකර ඇත්තේ සමාජ ජාලා වෙබ් අඩවිවල බවද ඔහු පැවසීය.

යුක්‍රේන යුද්ධයේ ඉදිරියේ සිටින මෙරට සෙබළෙක් සම්බන්ධ කරගැනීමට හැකිවූ බවත්, රුසියානු භාෂාවෙන් ඔවුන්ට ලබාදුන් ගිවිසුමේ කිසිදු නියමානුකූල බවක් නැති බවත් ඔහු කීවේය.

මිනිස් ජාවාරම් කටයුතුවල නිරතවන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය මඟින් උපරිම දඩුවම් පමුණු වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මෙහිදී අවධාරණය කළේය. 

රණවිරුවන් සඳහා ඉඩම් ලබා දීමේ කටයුතු කඩිනම් කිරීමට විශේෂ කමිටුවක්


සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටියදී යුද්ධයෙන් මරණයට පත් වූ හෝ පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වූ සෙබළුන්ගේ වැටුප් හා දීමනා වයස අවුරුදු 55 ඉක්මවා ලබා දීමට තීන්දු කර තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

''  වයස අවුරුදු 55න් පසුව ඔවුන්ට වැටුප හෝ විශ්‍රාම වැටුපක් හිමි නොවීම සම්බන්ධයෙන් ඇතිව තිබූ දුෂ්කරතාව පිළිබඳ ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව ත්‍රිවිධ හමුදාවට පමණක් සීමා වී තිබූ මෙම සහනය සිවිල් ආරක්ෂක නිළධාරීන්ට ද ලබාදිය යුතුව තිබෙනවා. එනිසා මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රයක් ඉදිරිපත් කොට අනුමැතිය ලබා ගැනීමට අප බලාපොරොත්තු වනවා. 

එමෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය විසින් හමුදාවෙන් නීත්‍යානුකූල ලෙස ඉවත් නොවී සේවය හැර ගිය පිරිස් වෙනුවෙන් ලබාදුන් පොදු සමා කාලය මේ මස 20 වනදායින් අවසන් වීමට නියමිතව තිබෙනවා. පොදු සමාව ලබාගැනීම සඳහා දැනට 15,000ක් පමණ ඉදිරිපත්ව සිටිනවා. 2024 මාර්තු මාසයේ දී හමුදාවෙන් නීත්‍යානුකූල නොවන අයුරින් ඉවත්ව ගිය සංඛ්‍යාව 357ක් ලෙස වාර්තා වී තිබෙන බව ද සඳහන් කළ යුතුයි. එසේම නීත්‍යානුකූල නොවන ලෙස සේවය හැර ගොස් සිට නැවත සේවයට වාර්තා කළ ප්‍රමාණය 799ක් ලෙස වාර්තා වනවා. මෙය සුවිශේෂී තත්ත්වයක් බව සඳහන් කළ යුතුයි.

තවද රණවිරුවන් සඳහා ඉඩම් ලබා දීමේ දී සහන සලසා දීමටත් එය කඩිනම් කිරීමටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුතු විශේෂ කමිටුවක් පිහිටුවා තිබෙනවා. උරුමය වැඩසටහනට සමගාමීව සිදුවන මෙම කර්තව්‍ය සඳහා ඉඩම් අමාත්‍යාංශය ද ඉහළ දායකත්වයක් ලබාදී තිබෙනවා. මෙය  රණවිරු සුබසාධනය වෙනුවෙන් ගත් සුවිශේෂී පියවරක් බව සඳහන් කළ යුතුයි.'' යයි ද ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පැවසිය.

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්