යුක්රේනයට එරෙහිව සටන් කිරීම සඳහා රුසියානු හමුදාවට බැඳුණු ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් මරුමුවට පත්ව තවත් පිරිසක් ආබාධිතව
රෝහල්ගතව සිටියදී ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස මොස්කව් නුවර තානාපති කාර්යාලයේ තානාපතිවරයෙකු හෝ නියෝජ්‍ය තානාපතිවරයෙකු පවා නොමැති බව The Leader වෙත වාර්තා වේ.
රුසියානු හමුදාවට බැඳුණු ශ්‍රී ලාංකිකයින් 16 දෙනෙකු ගැන තොරතුරු ලැබී ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මාධ්‍ය හමුවේ සඳහන් කළ නමුත් සැබෑ සංඛ්‍යාව ඊට වඩා බොහෝ වැඩි බව ද අනාවරණය වේ.
'ලීඩර්' වෙබ් අඩවිය සමග අදහස් දක්වමින් ඩොනේට්ස් නගරයේ රෝහල්ගතව සිටින ශ්‍රී ලාංකික සෙබලෙක් කියා සිටියේ මෑතදී තමන් සමග යුද්ධයට බැඳුණු දස දෙනෙකුවත් දැනට ජීවතුන් අතර නොමැති බවය. ඒ අනුව අමාත්‍යවරයා පවසන සංඛ්‍යාව මෙන් කිහිප ගුණයක පිරිසක් ජීවිතක්ෂයට පත්ව දුසිම් ගණනක් තුවාල ලබා, තවත් පිරිසක් අතුරුදහන්ව සිටිති.
යුද බිමේදී තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් ඩොනේට්ස්, මොස්කව්, කර්කීව් සහ සෙන්ට් පීටස්බර්ග් වැනි නගර ගණනාවක ප්‍රතිකාර ලබමින් සිටින බවද යුද්ධයට සම්බන්ධව සිටින සෙබලෙක් 'The Leader' වෙත පැවසීය.
ඔහු පවසන පරිදි යුද බිමෙන් මිදී කෙසේ හෝ යළි ශ්‍රී ලංකාවට පැමිණීමට රුසියාවේ හමුදාවට බැඳුණු බොහෝ දෙනා දැන් උත්සහ කරන නමුත් ඔවුන් කොන්ත්‍රාත්තුවකට අත්සන් තබා ඇති බැවින් ඔවුන් නිදහස් කිරීම රුසියානු හමුදාව ප්‍රතික්ෂේප කරයි.
මෙතරම් බරපතල තත්වයක් තිබියදී පවා මොස්කව් නුවර තානාපති කාර්යාලයේ තානාපතිවරයෙකු හෝ නියෝජ්‍ය තානාපතිවරයෙකු පවා නොමැතිවීම ගැන යුද්ධයට කොටු වී අතරමංව සිටින විශ්‍රාමික සොල්දාදුවෝ පුදුමය සහ කෝපය පළ කරති.
යුක්රේන හමුදාවට බැඳුණු ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ යුද බිමේ දී මියගිය අතර, රුසියානු හමුදාවට බැඳුණු ශ්‍රී ලාංකිකයින් පිරිසක් මියගොස් ඇති බව මේ වසරේ මාර්තු මාසයේදී අල් ජසීරා පුවත් සේවය මුලින්ම අනාවරණය කළේය.
ඉන් අනතුරුව රුසියානු හමුදාවට බැඳී මියගිය සහ තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් පිළිබඳව මෙන්ම යුද බිමෙන් පලා යාමට සමත් වූ ශ්‍රී ලාංකික සොල්දාදුවන් පිළිබඳව ද දිනපතාම පාහේ වාර්තා ලැබෙමින් පවතී.
මෙවන් වාතාවරණයක පවා මොස්කව් නුවර සිටි ශ්‍රී ලාංකික තානාපතිනි මහාචාර්ය ජනිතා ලියනගේ ගේ නිල කාලය පසුගිය අප්‍රේල් 30 වෙනි දින අවසන් වූ අතර, නියෝජ්‍ය තානාපතිවරයෙකු ද නොසිටි බැවින් දැනට පදවියේ වැඩ බලන්නේ තානාපති සේවයේ කණිෂ්ඨ නිලධාරිනියකි.
පදවියෙන් ඉවත්ව යාමට ප්‍රථම තානාපතිවරිය යූටියුබ් නාලිකාවක් සමග පවසා තිබුණේ ශ්‍රී ලාංකික සොල්දාදුවන් සම්බන්ධ ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පිණිස ඇය රුසියානු විදේශ අමාත්‍යාංශයෙන් සාකච්ඡාවක් ඉල්ලා තිබුණ බවකි. ඉන් අනතුරුව තානාපතිනිය පදවියෙන් ඉවත්ව ගිය අතර, ආරක්ෂක අමාත්‍යාංශය තානාපති කාර්යාලය සමග එවැනි සාකච්ඡාවක් පැවැත්වුයේ ද යන්න පැහැදිලි නැත.
(විශේෂ වාර්තාකරුවෙකු විසිනි)
සබැඳි පුවත් :
රුසියානු යුද්ධයට මැදිවූ මෙරට පුද්ගලයන් 16 දෙනෙකු මිය ගිහින්