ආර්ථික ප්‍රතිසංස්කරණ පනතේ සැබෑ අරමුණ ප්‍රතිගාමී සහ දූෂිත නඩයක් පිනවීම මිස රටේ ආර්ථිකය සංවර්ධනය කිරීම නොවන බවට

පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරයි.

මෙමපනත ඔස්සේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සියල්ල රටේ නීතිය බවට ලත් කර ඇතැයි මැයි 22 වැනිදා නුගේගොඩ කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය හමුවක් පැවැත්වු එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ කියා සිටියේය.

“මේ පනතේ 3 වගන්තියේ ඉලක්ක ගොඩක් දාලා තියෙනවා. ඒ ඉලක්ක ඔක්කොම IMF ගිවිසුමත් සමග කොන්දේසි ලෙස ඉදිරිපත් කළ ඉලක්ක. ඒ වගේම IMF වාර්තාවේ තිබෙන දැක්මම තමයි මේ පනතේ තියෙන්නෙත්. ලංකාවේ ආර්ථික අර්බුදයට පදනම් හේතුවක් වන වසර 45ක් තිස්සේ විසඳුම් නොතිබුණු ගෙවුම් ශේෂ අර්බුදය හංගලා, අර්බුදයේ හේතුව අයවැය පරතරය කියලා පෙන්වන්න යන්නේ. ඒකට මේ පනත කියන්නෙත් IMF එක කියන එකමයි. ඒ ජනතාව මත බදු බර පටවලා සමාජ ආරක්ෂණ සේවා, රාජ්‍ය සුභසාධන සේවා කප්පාදු කරන්න කියලා කියන්නේ. ඒ වගේම IMF එක පෙනී සිටින්නේ ගෝලීය ප්‍රාග්ධනයේ අරමුණු වෙනුවෙන්. ඒවායේ අරමුණ වෙන්නේ ගෝලීය ප්‍රාග්ධනයට බාධාවකින් තොරව ලංකාවට රිංගන්න, දේශීය නිෂ්පාදකයාට තිබෙන රාජ්‍ය ආරක්ෂාව නැති කරලා ඒකාධිකාරය හදා ගන්න, වැඩි ලාභ ගැනීම සඳහා කම්කරු නීති, පරිසර නීති වලින් රිංගන්න අවස්ථා හැදීම වගේ ප්‍රතිසංස්කරණ.”


පනතේ 3 වගන්තියේ තිබෙන සිහින ඔක්කොම රනිල් දකින සිහින මිසක් ආර්ථික වැඩපිළිවෙලක් නොවන බවයි අධ්‍යාපන ලේකම්වරයා පවසන්නේ.

 

“අහවල් අවුරුද්ද වෙද්දී අහවල් දර්ශකය අහවල් මට්ටමට ගේන්නම් කියනවා. කොහොමද ඒක තීරණය කළේ? කොහොමද අවුරුද්ද තීරණය කළේ? මොකක්ද ඒ සඳහා වැඩපිළිවෙල? එහෙම මොකුත් නෑ, රනිල් - රාජපක්ෂලා රෑ හීනෙන් මොකක් හරි දැක්කාම ඒක නීතියක් කරන්න යනවා. මේ වගේ හීන පොතක ලියලා මැතිවරණ ප්‍රකාශනයක් කළාට කමක් නෑ. නමුත් ඒක රටේ නීතිය කරන්නේ කොහොමද? ඉදිරියේදී රටේ මොන ආණ්ඩුව ආවත් ඒ ආණ්ඩුවේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය වෙන්න ඕන රනිල් - රාජපක්ෂ කල්ලිය දකින මනෝවිකාර කියලා නීතියක් හදන්න පුළුවන්ද? අනෙක මේ ආණ්ඩුවට ආර්ථික නීති හදන්න ජනවරමක් තිබෙනවාද?”

පනතේ නීති කඩ කිරිමේ දී පනවන නීති සම්බන්ධයෙන් කිසිඳු සඳහනක් නැතැයි ඔහු කියා සිටියේ පනත දෝෂ දර්ශණයට ලක් කරමින්.

“පනත වෙසක් පෝයට කලින් දවසේ දානකොට හිතුනේ මේ කොසොල් රජ්ජුරුවන්ගේ සිහින ගැන වෙසක් නාට්‍යයක් කියලා. මේක විහිළුවක්. උදාහරණයක් විදියට මේ පනතේ 4(උ) වගන්තියේ ආර්ථික අර්බුදයක් ඇති නොවීම නීතියක් බවට පත් කරලා. ආර්ථික අර්බුද එන්න බෑ කියලා නීතියක් සම්මත කළාම ආර්ථික අර්බුද නවතිනවද? මේවා විහිලු. නීති හදනවානම් ඒ නීති කඩන අයට දඬුවමුත් පනතේ ලියන්න ඕන. මේකේ එහෙම මොකුත් නෑ. මේ ඉලක්ක කැඩුනොත් කවුද වග කියන්නේ, ඒ අයට දෙන දඬුවම් මොනවාද කියලා නෑ. මේ නිකම් සංදර්ශනයක් විතරයි.”

ආර්ථික ප්‍රතිසංස්කරණ පනත IMF කොන්දේසි රටේ නීතිය බවට පත් කර රටේ ආර්ථිකය විනාශ කරන, නිෂ්පාදකයා වලපල්ලට යැවිමට උත්සාහ දරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ වැඩිදුරටත් කියා සිටියේය.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්