රටේ බලය ලබා ගැනීමට නොහැකි සංවිධාන, කණ්ඩායම්, පුද්ගලයින්, නායකයන් යැයි කියාගන්නා පිරිස් රටට විනාශ කරන මහා විකෘතියක්
නිර්මාණය කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් චෝදනා කරයි.
රටේ කිසිම නායකයෙක්ට, කිසිම දේශපලඥයෙක්ට, කිසිම පුද්ගලයෙක්ට යුද්ධයෙන් හොරකම් කරන්න බැරි පරිසරයක් නිර්මාණය කරපු නායකයා අද මේ රටේ ද්‍රෝහියෙක්, හොරෙක් ලෙස හන්වඩු ගසන විකෘතියක් ඇති බව ද ඔහු කියා සිටියේය.
එමෙන්ම යුද්ධයට උඩගෙඩි දුන්, යුද්ධයට ආයුධ දීපු අයට සම්බන්ධ අය ඒ යුද්ධය වෙනුවෙන් පෙනී හිටපු අය අද මේ රටේ වීරයෝ බවට පත් කිරිමට උත්සාහ කරන බව මන්ත්‍රීවරයා මැයි 27 වැනිදා පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේය.
2005 ට මෙරටේ තිබු ඡන්ද පොරොන්දු දෙකක් වෙනස් කිරිමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පෙරමුණ ගත් බව ද සාගර කාරියවසම් මන්ත්‍රීවරයා පැවසීය.
“මේ රටේ 2005 ට කලින් ඡන්ද බලය තිබුන පුද්ගලයෙක් නම් ඔබ දන්වා 2005 ට කලින් මේ රටේ සෑම මැතිවරණයකදීම, ගම්වලට ගිහින් දෙන ඡන්ද පොරොන්දු 02 යි තිබුනේ. පළවෙනි ඡන්ද පොරොන්දුව තමයි, අපි බලයට පත්වුනාම ගමට විදුලිය ලබා දෙනවා කියන එක. දෙවෙනි පොරොන්දුව තමයි, අපි බලයට පත්වුනාම ගමට කාපට් පාරක් ලබාදෙනවා කියන කාරණය. මෙන්න මේ දෙක තමයි ලංකාවේ මැතිවරණවල 2005 ට කලින් තිබුන ප්‍රධාන මැතිවරණ පොරොන්දු මාලාව. මේ මත පදනම් වෙලා තමයි මේ රටේ දේශපාලඥයෝ මැතිවරණ ව්‍යාපාර මෙහෙය වූයේ. නමුත් 2005 න් පස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ අයේ කිසිම කෙනෙක්ට ඒ ඡන්ද පොරොන්දුව දෙන්න ඉඩ තියලා නැහැ.”
ආදරය කරන පක්ෂයක් හැටියට මොහොතේ දී විශාල වගකීමක් පැවරී ඇතැයි කී මන්ත්‍රීවරයා සමාජයේ ඇති කරනු ලබන විකෘතිය නිවැරදි කරලා මේ රටේ ජනතාවගේ මනස නිවැරදි දිශානතියකට ගෙන යාමේ වගකීම ඇති බව කියා සිටියේය.
“රට ලිබියාවක්, ඊජිප්තුවක් වගේ රටක් වෙන එක නතර කරලා මේ රට ශ්‍රී ලංකාව හැටියට අපි 2015 වෙනකන් ලබාගත්ත ඒ සංවර්ධනය ඉදිරියට ගෙනියන්න අවශ්‍ය කරන දිශානතිය සඳහා මේ රටේ ජනතාව යොමු කරවීමේ ඒ බාරදූර වගකීම ඉටුකරන්න. අපි ඒ වගකීම මේවන විට අපේ උරමතට අරන් තියෙනවා,” යි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් අවධාරණය කළේය.
(චතුරංග මේදිස්)