මැතිවරණ කල් දැමීම කිසිම ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූල නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.
ජනාධිපතිවරයාගේ හා පාර්ලිමේන්තුවේ ධූර කාලය තවත් වසර දෙකකට දික් කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධයෙන් පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ සහ නව සන්ධානයේ ජාතික සංවිධායක නිමල් ලන්සා ද විරෝධය පළකර ඇත.
මැතිවරණ වසර දෙකකට කල්දැමිය යුතු බවට එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර අද (මැයි 28 වැනිදා) පැවති මාධ්‍ය සාකච්ඡාවක දී කල ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නාමල් රාජපක්ෂ පැවසුයේ, ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ කාලසීමාව දීර්ඝ කිරීම ප්‍රජාතන්ත්‍රවාදී රටක මූලික ප්‍රතිපත්තිවලට හානි කර බවයි.
'' මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයේ සිටි කාලයේදී වෙලාවට ඡන්දෙ තිබ්බා. මැතිවරණ කල් දැම්මෙ නෑ. දේශපාලන මෙන්ම රටක ස්ථාවරත්වය ඇති විය යුත්තේ ජනතා කැමැත්තෙන් මිස ඔවුන්ගේ හඬ ප්‍රමාද කිරීමෙන් නොවේ'' යැයි නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.
නාමල් රාජපක්ෂ මේ සම්බන්ධයෙන් X පණිවිඩයක් ද නිකුත්කර ඇත.
''පිස්සු කතාවක් - ජනාධිපතිවරණය නියමිත වෙලාවට තියනවා'' - නිමල් ලන්සා
එජාප මහ ලේකම්වරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දැක්වූ නව සන්ධානයේ ජාතික සංවිධයක නිමල් ලන්සා පැවසුයේ, ව්‍යවස්ථානුකුලව නියමිත දින වකවානුවල දී ජනාධිපතිවරණය පැවැත්වෙන බවට ජනාධිපතිවරයා සහතික වී ඇති බවයි.
එජාප මහා ලේකම්වරයාගේ ප්‍රකාශය ඔහු හැඳින්වුයේ 'පිස්සු කතාවක්' ලෙසයි.
සබැඳි පුවත් :
වසර දෙකකට ඡන්දෙ කල් දාන්න එජාපයෙන් යෝජනාවක්