theleaderlk 01

ඉදිරි මැතිවරණ සමයේ ආණ්ඩු පක්ෂයේ දේශපාලන පක්ෂවලට වාසි සහගත වන ආකාරයේ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා

අනුමැතිය නොදෙන ලෙසත් මෙම කරුණට අදාළව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙන ලිපියට අනුකූලව කටයුතු කරන ලෙසත් ජනාධිපති ලේකම් ඇතුළු පිරිසකට නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා ජාතික ජන බලවේගයේ කඩුවෙල හිටපු නාගරික මන්ත්‍රී අසිත නිරෝෂන් විසින් අද (28) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

එහි වග උත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, ජනාධිපති ලේකම්වරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් 2024 අයවැය යෝජනා යනුවෙන් චක්‍ර ලේඛනයක් නිකුත් කර ඇති අතර මේ යටතේ ග්‍රාමීය ප්‍රදේශවල සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරු ඊට අමතරව "කඳුකර දශකය" නමින් තවත් චක්‍ර ලේඛයක් නිකුත් කරමින් ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා මූල්‍ය පහසුකම් ලබා දීමට යෝජනා කර ඇති බවත් සඳහන් කර සිටියේය.

මෙම ව්‍යාපෘති දෙක මෙම වසරේ ජූලි මස 31 වන දින විට අවසන් කළ යුතු බවට නිවේදනය කර ඇති බවත් මෙම ව්‍යාපෘතී ඉටු කිරීම සඳහා ප්‍රජා කමිටුවලට මිලියන 10 බැගින් මුදල් වෙන් කිරීමට තීරණය කර තිබෙන බවත් පෙත්සමේ සඳහන් වේ.

 

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාර දුන් අපේක්ෂකයින් මෙම ප්‍රජා කමිටුවල කටයුතු කරන අතර මෙම ව්‍යාපෘති හරහා ඔවුන්ට දේශපාලනික වශයෙන් වාසි ලබා ගැනීමට අවස්ථාව ලැබෙන බවත් පෙත්සමේ පෙන්වා දී තිබේ.

එබැවින් මෙවැනි අපේක්ෂකයින්ට රාජ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට පියවර නොගන්නා ලෙස රාජ්‍ය ආයතන සහ ඒවායේ ප්‍රධානීන් දැනුවත් කරන්නැයි දන්වා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයා වෙත ඉකුත්දා ලිපියක් යොමු කර තිබෙන බවත් පෙත්සම්කරු සඳහන් කර තිබේ.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී හා පළාත් පාලන ඡන්ද විමසීමේදී දේශපාලන වාසියක් ලබා ගැනීමේ අරමුණින් එම ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන බවත් මේ තුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වීමක් සිදුවන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

(aruna.lk - කේ.එස්.උදයකුමාර)

pe2024 2

worky sin

නවතම පුවත්