උතුරේ දී ප්‍රදර්ශනය කරනවිට පොලිස් ප්‍රශ්න කිරීම්වලට ලක්වූ පුෂ්පයක් දකුණේ මහා පරිමාන ව්‍යාපාරයක් විසින් වෙළෙඳාම් කටයුතු සඳහා රටපුරා
බාධාවකින් තොරව යොදාගැනීම ගැටළු මතුකර තිබේ.
දෙමළ ජාතික පුෂ්පය සේ ගැනෙන නියඟලා මලක රූපයක්, දිවයිනේ ‘අංක එකේ පාවහන්’ යනුවෙන් ප්රචාරක කටයුතු සිදුකරන දකුණේ සමාගමක් විසින් සෙරෙප්පුවල මුද්‍රණය කර තිබීම සම්බන්ධයෙන් උතුරේ දෙමළ ජනයා දැඩි කනස්සල්ලට පත්ව සිටී.
එම සෙරෙප්පු අලෙවිය අත් හිටවන්නේ නැතිනම්, වර්ජනයකට මග පෑදීමේ අවදානමක් පවතී.
දෙමළ දේශපාලන පක්ෂයක ප්‍රකාශක නීතිඥවරයකු එම පාවහන් නිෂ්පාදන සමාගමෙන් ඉල්ලා ඇත්තේ නියඟලා මල් මුද්‍රණය කළ එම සෙරෙප්පු වහාම වෙළෙඳ පොලින් ඉවත් කරගන්නා ලෙසයි.
“ඊළාම් දෙමළ ජනතාවගේ සිත් රිදවන අයුරින් නිකුත් කර ඇති කාර්තිකෙයි (නියඟලා) මල් සරසන ලද පාවහන් ආපසු කැදවන ලෙස නිෂ්පාදන සමාගමෙන් නිහතමානීව ඉල්ලා සිටිමු,” යි දෙමළ ජාතික ජනතා පෙරමුණේ නීතිඥ කනගරත්නම් සුගාස් සිය X ගිනුමේ සටහනක් තබමින් දෙමළ ජනතාවගෙන් ඉල්ලා තිබේ.
එසේ කිරීමට අදාල සමාගම සුදානම් නොමැතිනම් එම සමාගමේ නිෂ්පාදන සහ ඒවා අලෙවි කරන වෙළඳසැල් වර්ජනය කරන ලෙස නීතිඥවරයා දෙමළ ජනතාවගෙන් වැඩි දුරටත් ඉල්ලා ඇත.
“නැවත කැදවීමට අපොහොසත් වුවහොත්, එම සමාගමේ නිෂ්පාදන සහ ඒවා අලෙවි කරන වෙළඳසැල් වර්ජනය කරන ලෙස අපි අපගේ ඥාතීන්ගෙන් ඉල්ලා සිටිමු.”
උතුරු පළාත් සභාවේ හිටපු කෘෂිකර්ම අමාත්‍ය පොන්නුතුරෙයි අයින්ගරනේෂන් මැයි 28 වැනිදා යාපනයේ දී මාධ්‍ය හමුවක පවත්වමින් සදහන් කළේ නියඟලා මල පාවහන් තුළ මුද්‍රණය කිරීම තුල අර්ථ ගන්වා ඇත්තේ දෙමළ ජනතාව පෑගීම බවයි.
“දෙමළ ජනතාවගේ පූජනීය මලක් ලෙස ගෞරවාදරයට පාත්‍ර වන මෙම මල සෙරෙප්පු වල දමා ඇත්තේ ඔවුන් පාගනවා කියන අදහසින්.”
නියඟලා මලක රූපයක් මුද්‍රණය කරමින් නිර්මාණය කර ඇති පාවහන් දැක ගැනීමට ලැබී ඇත්තේ උතුරේ දෙමළ ජාතිකයන් වැඩි වශයෙන් ජීවත් වන වැල්ලවත්ත ප්‍රදේශයේ පාවහන් අලෙවිසැලකින් බව දෙමළ පුවත් වෙබ් අඩවි කිහිපයක්ම වාර්තා කර තිබේ.
මෙම පාවහන් ‘දේශීය හා විදේශීය පාවහන් සන්නාම විශාල ප්‍රමාණයක් මෙරට අලෙවි කරන විශාලතම පාවහන් වෙළෙඳ ජාලය’ ලෙසින් හැඳින්වෙන DSI නමින් වෙළෙඳාමේ යෙදෙන ඩී සැම්සන් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගමේ නිෂ්පාදනයකි.
නියඟලා මල එක් ජාතියකට අවමාන කෙරෙන පරිද්දෙන් ප්‍රසිද්ධියේ යොදාගැනීමට දකුණේ පාවහන් සමාගමකට බාධකයක් නැතත්, එම පුෂ්පයම ගෞරවයෙන් යුතුව භාවිත කෙරෙන විට ආරක්ෂක අංශ විසින් ඊට එරෙහිව ක්‍රියාත්මක වූ අවස්ථා බොහොමයකි.
යාපනය තෙල්ලිපලෙයි යුනියන් විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය සඳහා පසුගිය අප්‍රේල් මාසයේ දී සිසුන් සිය නිවාස නිර්මාණය කිරීමේදී යුද ටැංකියක ආකෘතියක් සහිත කුටියක් සහ තවත් නිවාසයක් ඉදිරියේ නියඟලා මලක ආකෘතියක් නිර්මාණය කර තිබීම යුද හමුදාවේ සහ පොලීසියේ ප්‍රශ්න කිරීමට තුඩුදී තිබුණි.
පළාත් බද වාර්තාකරුවන් සදහන් කර තිබුනේ එම නිර්මාණයන් සම්බන්ධයෙන් තෙල්ලිපලෙයි පොලිසිය විසින් විදුහල්පතිවරයා, ගුරුවරුන් ඇතුළු සිසුන් පොලීසියට කැඳවා ප්‍රශ්න කර තිබු බවයි.
යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිපත් කරන විවිධ අවස්ථාවලදී සැරසිල්ලක් ලෙස නියඟලා පුෂ්පය යොදා ගත් අවස්ථා ගණනාවකදීම පොලිසිය එම සැරසිලි කඩා බිඳ දමා ඇති අතර මුහුණු පොතේ නියඟලා මල් බෙදාහදාගත් ඇතැමකුට පොලිසියට උත්තර බන්දින්නටත් සිදුවී තිබේ.
උතුරු පළාත් සභාවේ හිටපු කෘෂිකර්ම අමාත්‍ය පොන්නුතුරෙයි අයින්ගරනේෂන් මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අවධාරණය කලේ දෙමළ ජාතික පුෂ්පය සේ ගැනෙන නියඟලා මලක රූපයක්, උතුරේ දෙමළ පාසල් සිසුන් භාවිතයට ගන්නා අවස්ථාවේ පොලීසිය හරහා සිසුන් මර්දනය කරන ආණ්ඩුව එම මල පාවහන් සදහා යොදා ගැනීමට දකුණේ ඉඩ හැරීම තුලින් ආණ්ඩුවේ මානසික තත්වය තේරුම් ගත හැකි බවයි.
“උතුරේ කාර්තිකෙයි මල ශිෂ්‍යයන් නිවාසාන්තර ක්‍රීඩාවලදී නිවාස අලංකාරයට පාවිච්චි කරනවා නම්, පොලිසියේ යකඩ හස්තයකින් එය මර්දනය කරන ආණ්ඩුව දකුණු ලංකාවේ යටි පතුලට පෑගෙන විදිහට මේ කාර්තිකෙයි මල් මුද්‍රණය කළ සෙරෙප්පුවලට අනුමැතිය දෙනවා කියන එකෙන් මේ වර්ගොත්තමවාදී ආණ්ඩුවේ මානසික තත්වය අපි තේරුම් ගත යුතුයි. ඩී.එස්. අයි සමාගම විසින් පාවහන් විකිනීම ආපසු කැදවන තෙක්, කණගාටුව ප්‍රකාශ කරන තෙක්, සමාගමේ නිශ්පාදන වර්ජනය කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා.”