යුද්ධයේ අවසන් අදියරේදී ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක සේනාවලට යටත් වූ හෝ භාර වූ හෝ පසු අතුරුදහන් කරනු ලැබූ තම ඥාතීන්ට දේශීය
යාන්ත්‍රණයක් හරහා යුක්තිය ඉටු වෙතැයි කිසිදු විශ්වාසයක් නොමැති බව ශ්‍රී ලංකාවේ දීර්ඝතම අඛණ්ඩ අරගලයේ යෙදී සිටින මෑණිවරු යළිත් වරක් අවධාරණය කර තිබේ.
ඊශ්‍රායෙල් ප්‍රහාරයෙන් අනාථ භාවයට පත්ව සිටින පලස්තීන ගාසා තීරයේ ළමුන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් මහජන මුදල් එකතුකරන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් විඳවන දරු දැරියන් නොතකා සිටීම ගැනද දෙමළ මව්වරුන් එල්ල කර ඇත්තේ බරපතල විවේචනයකි.
බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ මන්නාරම දිස්ත්‍රික් සභාපතිනි මනුවෙල් උදයචන්ද්‍රා මාතාව පෙන්වා දෙන්නේ ආණ්ඩුව දේශිය යාන්ත්‍රණයක් යෝජනා කරන්නේ අපරාධ සිදු කළ රජයේ හමුදා ආරක්ෂා කරගැනීම වෙනුවෙන් විනා යුද වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් නොවන බවයි.
“දේශීය යාන්ත්‍රණයක් ගේනවා කියලා මෙයාලා කියනවා. අපිට මේ ගැන කිසි විශ්වාසයක් නැහැ. මොකද අපරාධ කරපු අය පිටරටින් ආපු අය නෙවෙයි, අපරාධ සිදු කළ අය රට ඇතුලෙම අය තමයි. ඉතින් දේශීය පරීක්‍ෂණයක් ගේනකොට එයාලගේ හමුදාව, නාවික හමුදාව, ජාතිය, ආරක්ෂා කරගන්න තමයි ගෙන්නන්නේ. අපි වෙනුවෙන් නෙමෙයි.”
බලහත්කාරයෙන් අතුරුදහන් කළ සිය සමීපතමයන්ට යුක්තිය ඉල්ලා 2017 පෙබරවාරි 20 වැනි දා වන්නියෙන් ආරම්භ කළ අඛණ්ඩ විරෝධතාවයට දින 2657 ක් සපිරුනු 2024 මැයි 30 වැනිදා මන්නාරම් නගරයේ දියත් කළ උද්ඝෝෂණයට සහභාගී වෙමින් මනුවෙල් උදයචන්ද්‍රා මාතාව තව දුරටත් සදහන් කළේ හත් අවුරුද්දක් තිස්සේ නොනිමි අරගලයක නිරතව සිටින්නේ රජයේ ආරක්ෂක අංශ වෙත සියතින්ම බාර දුන් සමීපතමයන්ට අත්වු ඉරණම හෙළි කරගැනීම වෙනුවෙන් බවයි.
“අපි මෙතන වේදනාව දරාගෙන ඉන්න අම්මලා, අතුරුදහන් කරවපු ඥාතීන්, අපේ ගෙදරට ඇවිල්ලා අල්ලගෙන ගිය අයව, සෙල්ලං කරනකොට අරන් ගිය ළමයි වෙනුවෙන්, අපි පනපිටින් දීපු ළමයි වෙනුවෙන් තමයි විරෝධතා කරන්නේ. මියගිය දරුවන් වෙනුවෙන් නෙමෙයි. ”
වසර ගණනාවක් තිස්සේ බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින සිය කුඩා දරුවන්ගේ ඡායාරූප ද අතැතිව දෙමළ මව්වරුන් කිලිනොච්චි ආනන්ද පුරම් හි පිහිටුවා ඇති සිය කාර්යාලය ඉදිරිපිට දී දියත් කළ විරෝධයට නායකත්වය දී තිබුනේ උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපතිනි යෝගරාසා කලාරන්ජනී මාතාවයි.
ඇය එහිදී සදහන් කළේ යුක්තිය ලබා ගැනීම වෙනුවෙන් දියත් කරන පිවිතුරු අරගලය විනාශ කිරීමට විදේශගත ඇතැම් සංවිධාන දරන උත්සාහයන් හමුවේ පසුපට නොවී ජයග්‍රහනය තෙක් ගමන් කරන බවයි.
“නොයෙක් මාර්ග ඔස්සේ නොයෙක් සංවිධාන සහ ඩයස්පෝරාවේ ඇතැම් ඥාතීන් මේ උද්ඝෝෂණ දුර්වල කර පිවිතුරු අරගලය විනාශ කිරීමට උත්සාහ දරනවා. අපේ නෑදෑයන් අපේ අතට එනකං, අපිට යුක්තිය ලැබෙනකං, විපතට පත් මව්රුන් වන අපි පාරට බැහැලා අරගලය කරලා අපිට යුක්තිය ලබා ගන්නවා කියන එක ප්‍රකාශ කරනවා.”
යුද්ධය නිමා වී දහක එකහමාරක් ගතවනතුරුත්, බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද තම සමීපතමයන් සොයා දීමට අසමත් වු ආණ්ඩුවට දොස් පවරමින් සුපුරුදු පරිදිම වව්නියාව පැරණි බස් නැවතුම් පොළ ඉදිරිපිටදී දෙමළ මව්වරුන් දියත් කළ විරෝධතාවයට නායකත්වය ලබා දුන්නේ බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ වව්නියාව දිස්ත්‍රික් සභාපතිනි සිවානන්දන් ජෙනීටා මාතාවයි.
සිය රටේ යුද වින්දිතයන් සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නැති වත්මන් ජනාධිපතිවරයා ගාසාවේ ළමුන් වෙනුවෙන් අරමුදලක් පිහිටුවීම පසුපස දේශපාලන න්‍යාය පත්‍රයක් පවතින බවට ඇය එහිදී චෝදනා කළාය.
“ අපේ රටේ දරුවන්ව යුද්ධය අවසාන වෙනකොට අතටම බාර දුන්නා. ඒ වගේ ම අවසන් යුද්ධයේදී දෙමළ ළමයි කී දෙනෙක් මරලා තියෙනවද?, ඒ වෙලාවේ මේ වගේ අනුකම්පාව ආවේ නැද්ද? අම්මා මැරෙනකොට කිරි බිබී හිටපු ළමයි කී දෙනෙක්, ආබාධිතයන් වෙලා ඉන්නවාද?, ඒ වගේම රටේ දරුවන් කී දෙනෙක් අම්මලා තාත්තලා නැතිව ජීවත් වෙනවද? ඒවා එයාගේ ඇස් වලට පේන්නේ නෑ. ඔවුන් රට තුළ කළ යුද්ධයෙන් විපතට පත්වුවන් ගැන එයාගේ ඇස් වලට පේන්නේ නැ. මේ රටේ ජනාධිපතිවරයා ගාසා තීරයේ යුද්ධයෙන් විනාශ වූ දරුවන් වෙනුවෙන් ළමා අරමුදලක් පිහිටුවනවා නම් ඒ තුළ දේශපාලන න්‍යාය පත්‍රයක් තිබෙන බව පැහැදිලියි.”
ගාසාහි ළමා අරමුදල
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2024 මාර්තු 04 වන දින ආරම්භ කරන ලද ගාසාහි ළමා අරමුදලට ශ්‍රී ලාංකික පරිත්‍යාගශීලින් හා විවිධ ආයතන විසින් මේ දක්වා රුපියල් මිලියන 127ක මුදලක් පරිත්‍යාග කර තිබෙන අතර ඒ සමඟ අත්වැල් බැඳගත් සියලු දෙනා වෙත ජනාධිපතිවරයාගේ සහ ජනාධිපති කාර්යාලයේ ස්තූතිය මැයි 28 දා පළ කර තිබුනි.
ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කර තිබුනේ ගාසා තීරයේ පවත්නා යුදමය තත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ සිරවී සිටින මිලියනයකට ආසන්න ළමුන්ගේ දුක්ඛිත තත්වය විශේෂයෙන් ජලය, ආහාර හා වෛද්‍ය පහසුකම්වල හිඟය නිසා ඔවුන්ට මුහුණ දීමට සිදුව ඇති අනේකවිධ දුෂ්කරතා සැලකිල්ලට ගෙන එම අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහා මූල්‍යාධාර ලබා දීම පිණිස මානූෂීය මට්ටමින් අරමුදලක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වු බවයි.
ශ්‍රී ලංකාවේ ආණ්ඩුව මෙන්ම වර්ග සංහාර චෝදනා එල්ලවී ඇති ඊශ්‍රායෙල පාලනය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකරවා ගැනීම පිළිබඳ රනිල් වික්‍රමසිංහ පාලනය කිසිදු නිල ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත් කර නැත.
OMP
අතුරුදහන් කරනු ලැබුවන් සොයාගැනීමට අඛණ්ඩ අරගලයක යෙදී සිටින ඥාතීන්ට එකම සමීපතමයකු හෝ සොයා දීමට වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගමැති සමයේ 2018 පෙබරවාරි 28 දා පිහිටුවන ලද අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) මේ දක්වා සමත් වී නැත.
රජයේ අසමත්කම පිලිගනිමින්ම ශ්‍රී ලංකාවේ බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන් පිලිබඳ විශේෂ වාර්තාවක් එළිදක්වන එක්සත් ජාතීන්ගේ සංවිධානය මැයි මාසයේ දී ජාත්‍යන්තරයෙන් ඉල්ලා තිබුනේ OMP යට තව දුරටත් අනුග්‍රහය දක්වන ලෙසයි.
OMPය ඇතුළු රජයේ ආයතන හා කොමිසන් ගණනාවකට කිහිප වතාවක් තොරතුරු ලබා දී ඇති දෙමළ යුද පීඩිතයන් එමගින් සත්‍යය හෙළි කරගැනීමේ ඇති හැකියාව පිළිබඳව 2024 මැයි 30 වැනිදා මන්නාරම සහ වව්නියාවේ දියත් කළ විරෝධයන් තුලදී ද අවිශ්වාසය පළ කර තිබුනි.
යුද්ධයේ අවසාන දින වලදී ආරක්ෂක අංශ භාරයට පත් වීමෙන් පසුව හා යුද්ධයේ අවසන් මොහොතේ අතුරුදහන් වු තමන්ගේ ආදරණීයයන්ට අත්වූ ඉරණම හෙළි කරන ලෙස රජයට බල කරමින් 2017 වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවලදී වව්නියාව, කිලිනොච්චිය, යාපනය, මුලතිව්, ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්ක වල සත්‍යග්‍රහ ව්‍යාපාර ආරම්භ විය.
බලහත්කාරයෙන් අතුරුදහන්කරවූවන් වෙනුවෙන් යුක්තිය ලබා දෙන බව පවසමින් ආණ්ඩුව යෝජනා කර තිබෙන අතුරුදන්වූවන් සඳහා නිකුත් කරන සහතිකය ලබා ගැනීමත්, වන්දි මුදල් ලබා ගැනීමත් තම සමීපතමයන් අහිමිව සිටින යුද වින්දිත දෙමළ මව්වරුන් ප්‍රසිද්ධියේම ප්‍රතික්ෂේප කර තිබේ.
අතුරුදහන් කරන ලද සමීපතමයන්ගේ ඉරණම හෙළි කරගැනීම සඳහා රටතුල යුක්තියක් ඉටුවී නැති දෙමළ ජනතාව ඉකුත් පහළොස් වසරකට වැඩි කාලයක් තිස්සේ ඉල්ලා සිටින්නේ ජාත්‍යන්තර මැදිහත්වීමකි.