'සර්වජන බලය' නමින් පිහිට වූ නව දේශපාලන සන්ධානය තුළ දිලිත් ජයවීර ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට කිසිඳු පාර්ශ්වයක
එකඟතාවක් නොමැති බව එම සන්ධානයේ පාර්ශ්වකරුවෙකු වන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ පැවසීය.
ඔහු මේ බව පැවසුවේ සර්වජන බලය සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර නම් කිරීමට ඇති සූදානම පිළිබඳව අප නැඟු ප්‍රශ්නයට පිළිතුරු වශයෙනි.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් ලෙස නම් කියවෙන රොෂාන් රණසිංහ, දයාසිරි ජයසේකර, ඩලස් අලහප්පෙරුම, විජයදාස රාජපක්ෂ, යන අය සර්ව ජන බලය සන්ධානයට එක් කර ගැනීම සඳහා මේ දිනවල සාකච්ඡා පැවැත්වෙන බවත් එම සාකච්ඡා සාර්ථක මට්ටමක තිබෙන බවත් මන්ත්‍රීවරයා පැවසීය.
එම නිසා ඒ සියලු පාර්ශ්වයන්ගේ එකඟතාව හිමිවන පුද්ගලයා ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට කටයුතු කරන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
සරත් අමුණුගම ඉවත්වේ
ව්‍යාපාරික දිලිත් ජයවීර නායකත්වය දරන මව්බිම ජනතා පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ආචාර්ය සරත් අමුණුගම එම සභාපති තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.
එම ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරමින් එසේ ඉල්ලා අස්වීමට හේතු ඔහු සඳහන් කර නැති අතර එම පක්ෂයේ නායක දිලිත් ජයවීරගේ කටයුතු සාර්ථක වේවායි සුභ පැතුම් එක්කර තිබේ.
එහෙත් මාධ්‍ය වාර්තා කරන්නේ දිලිත් ජයවීර ජාතිවාදීන් සමග සන්ධානගතවීම නිසා ඒ සම්බන්ධයෙන් විරෝධය දක්වමින් එම ඉල්ලා අස්වීම සිදුකර ඇති බවයි.
(anidda.lk - ඇන්තනී වෙරංග පුෂ්පික)