theleaderlk 01

ශ්‍රී ලංකාවේදී මරා දමන ලද දෙමළ මාධ්‍යවේදීන් ප්‍රමුඛ සියලුම මාධ්‍යවේදීන්ගේ ඝාතන සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට නැගෙනහිර පළාතේ දෙමළ මාධ්‍යවේදීහු ඉල්ලා සිටිති.


මඩකලපුව මාධ්‍ය සමාජය එම ඉල්ලීම සිදු කර ඇත්තේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලන සමයේ රජයේ හමුදා මුරපොලක් අසලදී වෙඩි පහරින් බිම හෙලන ලද ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි අයියතුරෙයි නඩේසන් මරා දමා විසි අවුරුද්දක් ගතවීත් යුක්තිය ඉටු නොවීම නිමිති කොටගෙනය.

රාජ්‍ය අනුග්‍රහය ලැබු අතුරු සන්නද්ධ හමුදාවක් වන කරුණා කණ්ඩායමට අයත් බවට සැලකෙන තුවක්කු කරුවන් විසින් 2004 මැයි 31 වැනිදා  මඩකලපුව නගරයේ දී ඝාතනය කරන ලදුව මේතාක් යුක්තිය ඉටු නොවු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අයියතුරෙයි නඩේසන් අනුස්මරණය කිරීමට යාපනය මාධ්‍ය සමාජය, වව්නියාව මාධ්‍ය සමාජය හා මුලතිව් මාධ්‍ය සමාජය ද කටයුතු යොදා තිබුනි.

කොළඹින් පලකෙරෙන වීරකේසරී පුවත්පතේ ලියුම්කරුවකු මෙන්ම දෙමළ මාධ්‍ය සංසදයේ (TMA) හිටපු උප සභාපතිද වූ නඩේසන් සැමරීමට දකුණේ කිසිදු මාධ්‍ය සංවිධානයක් හෝ ආයතනයක් කටයුතු කළ බවක් දැනගන්නට නැත.

 

මඩකලපුව මාධ්‍ය සමාජය සිය නිවේදනය මගින් පෙන්වා දෙන්නේ හිටපු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධනගේ පාලන සමයේදී එක් මාධ්‍යවේදියකුද, රණසිංහ ප්‍රේමදාස පාලන සමයේදී මාධ්‍යවේදීන් දෙදෙනකුද, චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයේදී මාධ්‍යවේදීන් දහතුන් දෙනකු සහ මහින්ද රාජපක්ෂගේ පාලන සමයේදී මාධ්‍යවේදීන් විසි හය දෙනකු ඝාතනය කර තිබෙන බවයි.

 

මේ දක්වා ශ්‍රී ලංකාවේ වෙඩි තබා ඝාතනය කළ හා අතුරුදහන් කළ මාධ්‍යවේදීන්ගේ නම් සහ විස්තර රජය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ යුතු බව අවධාරණය කරන එම නිවේදනය ජාත්‍යන්තර සංවිධාන වලින් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන වක්‍රාකාර මාධ්‍ය මර්දනය නතර කර මාධ්‍ය නිදහස තහවුරු කරන ලෙස ශ්‍රී ලංකා රජයට බලපෑම් කළ යුතු බවයි.

මඩකලපුවේදී වෙඩි තබා ඝාතනය කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි අයියතුරෙයි නඩේසන්ගේ ඝාතන නඩුව නැවත ආරම්භ කරන ලෙසත් ඔවුන් වැඩි දුරටත් ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකාවේ ඝාතනයට ලක් වු මාධ්‍යවේදීන් අනුස්මරණය උදෙසා මඩකලපුව ගාන්ධි උද්‍යානය ඉදිරිපිට ස්ථාපිත ස්මාරකය ඉදිරිපිට දී  අයියතුරෙයි නඩේසන්ගේ ඡායාරූපයකට මල් මාලයක් පලඳා මලින්, පහනින් ඔහුට උපහාර දැක්වු මඩකලපුව දිස්ත්‍රික් දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමය, මඩකලපුව මාධ්‍ය සමාජය හා නැගෙනහිර පළාත් මාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකාවේ ඝාතනය වු සියළු මාධ්‍යවේදීන්ට යුක්තිය ඉල්ලා මැයි 31 වැනිදා  විරෝධතාවයක්ද දියත් කර ඇත.

අයියතුරෙයි නඩේසන්ගේ අනුස්මරණයට එක්ව සිටි දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. ශ්‍රී නේෂන් සදහන් කළේ දේශප්‍රේමි මාධ්‍යවේදියාට යුක්තිය ඉටු කිරීම සදහා ජාත්‍යන්තර ප්‍රජාව වාර්තාවන් නිකුත් කිරීමෙන් පමණක් නොනැවතී ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ද සිදු කළ යුතු බවයි.

“මියගිය දේශප්‍රේමි නඩේසන්ට සහ ඔහුගේ පවුලේ අයට තවමත් යුක්තිය ඉටුවෙලා නැහැ. එම යුක්තිය ඉටු කිරීමට නම් ජාත්‍යන්තර ප්‍රජාව වාර්තාවන් නිකුත් කිරීමෙන් පමණක් නොනැවතී පරීක්ෂණයක් කළ යුතුයි. මේ ආණ්ඩුවෙන් යුක්තිය ඉටු නොවන බවට උදාහරණ ඕනෑ තරම් තියනවා. ඒ නිසා ඔහුගේ ආත්මය සමාදානයේ සැතපීමට නම් ඔහුට යුක්තිය ඉටුවිය යුතුයි.”

 

මඩකලපුව ගාන්ධි උද්‍යානය ඉදිරිපිට දී  දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. අරියනේන්ද්‍රන් මැයි 31 වැනිදා අවධාරණය කළේ ඝාතනයට ලක්වු සියළු  සිංහල, දෙමළ, මුස්ලිම් මාධ්‍යවේදීන්ගේ ඝාතන වලට මෙන්ම දෙමළ සමූල ඝාතනයටත් මේ දක්වාම යුක්තිය ඉටු වී නොමැති බවයි.

 

“46 දෙනකුට විතර වෙඩි තියලා තියනවා. ඔවුන් අතර දෙමළ ජාතිකයන් 36 දෙනෙක්, සිංහල 8 දෙනෙක් සහ මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකුට වෙඩි තියලා තියනවා. මේ දක්වා ඔවුන්ට යුක්තිය ඉටු කරලා නැහැ. දෙමළ සමූල ඝාතනයටත්, මාධ්‍යවේදීන්ගේ ඝාතන වලටත් තවමත් යුක්තිය ඉටු වෙලා නැ.”

යාපනය, මුලතිව්, වව්නියා

අයියතුරෙයි නඩේසන්ගේ 20 වැනි අනුස්මරණය, යාපනය මාධ්‍ය සමාජය, යාපනය විශ්වවිද්‍යාලයේ මාධ්‍ය අංශයේ උපාධි අපේක්ෂකයන්ගේද සහභාගීත්වයෙන් සිදු කර තිබුනේ යාපනයේ ස්ථාපිත කර තිබෙන  "දිවිපිදූ මාධ්‍යවේදීන්ගේ ස්මාරකය" අභියසදීය.

මුලතිව් හා වව්නියා මාධ්‍යවේදීන්, සිය මාධ්‍ය සමාජ කාර්යාල තුලදී අයියතුරෙයි නඩේසන් සිහි කරමින් ඔහුගේ ඡායාරූපයකට මලින්, පහනින් උපහාර දැක්වීමට කටයුතු කර තිබුනි.

2004 මැයි 31

‘නෙල්ලෙයි නඩේසන්’ නමින් ප්‍රකටව සිටි අයියතුරෛ නඩේසන් මාධ්‍යවේදියා වෙඩිතබා ඝාතනය කර තිබුනේ 2004 මැයි 31 වනදා උදෑසන මඩකලපුවේ පිහිටි සිය කාර්යාලය වෙත යමින් සිටියදීය.

 

ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් වන හියුමන් රයිට්ස් වොච් (HRW) ඒ සම්බන්ධයෙන් චෝදනා කර තිබුනේ පසු කලෙක මහින්ද රාජපක්ෂ පාලනයේ අමාත්‍ය ධුරයක්ද දැරූ විනයාගමුර්ති මුරලිදරන්ගේ නායකත්වයෙන් යුත් කරුණා පාර්ශවයටයි.

 

දමිල මාධ්‍ය සංසදයේ උප සභාපති නඩේසන් ගේ ඝාතනයෙන් පසු නැගෙනහිර පළාතේ දෙමළ මාධ්‍යවේදීන් ගණනාවකටම ජීවිතාරක්ෂාව පතා ප්‍රදේශය හැර යාමට හෝ විදේශ ගතවීමට බල කෙරිනි.

ඝාතනයට ලක්වන විට පනස් වියේ පසුවු දෙදරු පියෙක් වු අයියතුරෛ නඩේෂන් වීරකේසරි පුවත් පත, IBC තමිල් ඇතුළු කැනඩාවේ මාධ්‍ය ආයතන කිහිපයක් සඳහාද වාර්තා සැපයු අයෙකි.

mulathivu 2Jaffna 02

 

pe2024 2

worky sin

නවතම පුවත්