බංකොලොත් භාවයට පත් කරන ලද ජනතාවගේ දුක නිවන ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ වැඩපිළිවෙළ පදනම් කරගනිමින්,
ඒ සඳහා එකඟ වන පාර්ශවයන් සමග එක්ව නව ජනාධිපතිවරයෙක්, නව පාර්ලිමේන්තුවක් නව ජනරජයක් සඳහා තමන් සුදානම් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක ප්‍රකාශ කරයි.
රටේ මේ වන විට පවත්වන දේශපාලන සමීක්ෂණ විද්‍යාත්මක නොවන බවත් නිහඬ බහුතරයේ හඬ නියෝජනය කළ හැකි දේශපාලන ව්‍යාපාරයකට ඉඩක් පවතින බවයි එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අවධාරණය කරන්නේ.
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මේ බව කියා සිටියේ ජුනි 01 වැනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති එක්සත් ජනරජ පෙරමුණේ ජාතික මහා සමුළුව අමතමිනි.
“දැන් පවත්වන ගොඩාක් සමීක්ෂණ අවිද්යාත්මකයි. නිහඬ බහුතරයේ හඬ නියෝජනය කළ හැකි දේශපාලන ව්‍යාපාරයක් සඳහා අපි දූෂණයට හසු නොවූ, බංකොළොත් බවට වගකිය යුතු නැති අයට අපි ආරාධනා කරනවා.”
බංකොලොත් රටවල දේශපාලනය ආදර්ශයට ගෙන සංකීර්ණ ප්‍රශ්නවලට සරළ විසඳුම් ලබාදෙන ලාබ ජනකාන්තවාදීන් ලංකාවේ බලය ඉල්ලමින් සිටින බව කී මන්ත්‍රීවරයා ටෙස්ට් කරමින් බලය අත්හදා බැලීම්වලට ඉඩක් නැතැයි පවසයි.
ආර්ථික ස්වෛරීත්වය ස්ථාපිත කිරීම සඳහා ස්ථාවර දේශපාලන තීරණයක් ගත යුතු බවත් ඊළඟට එන ජනාධිපති කවරෙක් වුවත්, කුමන ආණ්ඩුව වුවත්, ණය ආපසු ගෙවීම සඳහා ස්ථාවර, තිරසර වැඩපිළිවෙළකට යා යුතු බව ද චම්පික රණවක පෙන්වා දෙයි.
පවුලේ වියදම වැඩි කරන, රටේ ආදායම වැඩි කරන රටේ වියදම අඩු කරන වැඩපිළිවෙළ සඳහා සියලු දේශපාලන හා සමාජ ක්රියාකාරිකයන්ට එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ආරාධනා කර සිටි.
(චතුරංග මේදිස්)