රුසියාවේ මිනිස් ජාවාරමේ මහ මොළකරු බවට සැක කෙරෙන චතුරංග නැමැත්තා ශ්‍රී ලංකාවෙන් පලා යන දිනවලම
පාහේ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ගේ ප්‍රධානත්වයෙන් යුත් දූත පිරිසක් රුසියාවේ සංචාරයක නිරතව සිටියා. සරත් වීරසේකර මන්ත්‍රීවරයාත් ඒ දූත පිරිසේ සාමාජිකයෙක්.
රුසියාවේ යුද්ධයෙන් පන බේරාගෙන මුලින්ම ලංකාවට පැන ආ විශ්‍රාමික සෙබල මනෝජ් වික්‍රමරත්න පවසන පරිදි, Zoom හමුවීම් මාර්ගයෙන් රුසියාවට හමුදා සෙබළුන් බඳවා ගනිද්දී චතුරංග තමන් හඳුන්වා දුන්නේ සරත් වීරසේකර මන්ත්‍රීවරයාගේ ලේකම්වරයෙක් ලෙසින්.
මිනිස් ජාවාරම සඳහා චතුරංග සමග කටයුතු කළ නිලියන් පිරිසක් ගැනත් පොලිසියේ අවධානය යොමුව තිබෙන බව The Leader මීට ඉහතදී හෙළි කළා.
රුසියාවෙන් මුලින්ම පලා ආ සොල්දාදුවා කියන කතාව
Sandeshaya by Saroj යූටියුබ් නාලිකාව සමග අදහස් දක්වමින් මනෝජ් වික්‍රමරත්න සඳහන් කළේ, විශේෂ බලකායේ කොමාන්ඩෝ භටයෙකු වූ තමන් විශ්‍රාම යාමෙන් පසුව රුසියානු හමුදාවට බැඳුණේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් බව.
විශේෂයෙන්ම ආර්ථික අර්බුදයෙන් පසුව දරුවන්ගේ අධ්‍යාපනය ඇතුළු කටයුතු වෙනුවෙන් වියදම් දරාගෙන ජීවිතය ගැට ගසා ගැනීමට විශ්‍රාම වැටුප කිසිසේත්ම ප්‍රමාණවත් නොවූ බවයි, සරෝජ් පතිරණ සමග අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.
ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව එල්ල වූ තර්ජන, ගර්ජනද නොතකා මනෝජ් වික්‍රමරත්න දුන් කට උත්තරය සහ මාධ්‍ය ඔස්සේ කළ හෙළිදරවු කිරීම් මත පදනම්ව රහස් පොලිසිය විසින් විශ්‍රාමික මේජර් ජනරාල්වරයෙකු ඇතුළු පිරිසක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
සිය ගමන් බලපත්‍රයද පවා නොමැතිව, භාෂාව ද නොදැන දනේත්ස්ක් නගරයේ සිට යුක්රේන දේශසීමාවත් තරණය කොට, දින හයක පමණ කාලයක් සැතපුම් දහස් ගණනක් ගෙවා මොස්කව් නුවරට පැමිණි අන්දමත් ඔහු "සරෝජ් සමග සංදේශය" නාලිකාවට හෙළි කළා.
(සරෝජ් පතිරණ)
BBC හිටපු මාධ්‍යවේදී