theleaderlk 01

අධික වැසි සහිත කාලගුණය සමග ඇතිවු ආපදා හේතුවෙන් ගතවූ පැය 24ක කාලය තුලදී පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට

පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.

''ආපදාවකදී උපකාර අවශ්‍ය නම් 117 අංකයට කතා කරන්න''

නිරිත දිග මෝසම් වර්ෂාව සක්‍රීය වීමත් සමග දිවයිනේ බස්නාහිර, සබරගමුව පළාත් වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වෙත මේවන විටත් ධාරාණිපාත වැසි ලැබෙමින් පවතී.

පවතින තත්ත්වය මත ගංවතුර මෙන්ම නාය යාමේ අවදානම් පිළිබඳව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

මේ අතර පවතින තදවැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් හෙට (ජුනි මස 03 වෙනිදා) දිවයිනේ සියලුම රජයේ පාසල් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී සිටියි.

අධික වැසි සහිත කාලගුණය සමග ඇතිවු ආපදා හේතුවෙන් ගතවූ පැය 24ක කාලය තුලදී පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.

jhsdklfe43
ගතවූ පැය 24 තුළ ආපදා නිසා වාර්තා වූ පුද්ගල මරණ

අධික වැසි සහිත කාලගුණය සමග සීතාවක, පුවක්පිටිය ප්‍රදේශයේදී ගංවතුරට හසුවී එකම පවුලේ තිදෙනෙකු මියගොස් ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.

එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 29ක මවක්, ඇයගේ සත් හැවිරිදි දියණිය සහ 78 හැවිරිදි මුත්තනුවන්ය.

අද ( ජුනි මස 02 වෙනිදා) අලුයම් කාලයේ දී අදාළ නිවස ආසන්නයේ ඇති ඇළ මාර්ගයේ ගංවතුර තත්ත්වයක් ඇතිවීමෙන් නිවස ජලයෙන් යටවී ඔවුන් මියගොස් තිබේ.

මේ අතර අවිස්සාවේල්ල, හේවාහින්න ප්‍රදේශයේදී පස් කන්දකට යට වී 11 හැවිරිදි දැරියක් ද, දෙයියන්දර, පල්ලේවෙල ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටීමෙන් තරුණයින් දෙදෙනෙකු ද මියගොස් තිබේ.

මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ‍අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පැවසුවේ කළුතර, කොළඹ, මාතර සහ ගාල්ල දිස්ත්‍රික්ක ආශ්‍රිත ගංවතුර තත්ත්වය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවය.

jhsdgfuk4
"මේ වන විට බොහෝ ප්‍රදේශවලට මිලි මීටර් 400 ඉක්මවූ වැසි ලැබී ඇති බව වාර්තා වනවා."

"පවතින තත්ත්වය මත පවතින සුළු ගංවතුර මට්ටම මහා ගංවතුර මට්ටමක් දක්වා ඉහළ යමින් තිබෙනවා."

"ආපදා තත්ත්වයන් පිළිබඳ ලබා දෙන නිවේදන සම්බන්ධයෙන් ජනතාව අවධානයෙන් සිටින්න. එය ඉතා වැදගත්." ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ‍අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි පැවසීය.

 

මිලි මීටර් 150 ඉක්මවූ තද වැසි

නිරිත දිග මෝසම් වැසි තත්ත්වය සක්‍රීයව ඇති බැවින් ඉදිරි පැය 24ක කාලය තුළදී දිවයිනේ නිරිත දිග කොටසට තව දුරටත් වැසි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

ඒ අනුව දිවයිනේ බස්නාහිර, සබරගමුව පළාත් වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලි මීටර් 150 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන් වේ.

(ජුනි මස 01 වෙනිදා) සිට අද (ජුනි මස 02 වෙනිදා) දක්වා කාලය තුල රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහළියගොඩ ප්‍රදේශයට මිලි මීටර් 436.5, ඉංගිරිය හල්වතුර වත්ත මිලි මීටර් 348.5, අකුරැස්ස මිලි මීටර් 283.5, සාලාව මිලි මීටර් 280.5 සහ පාලින්දනුවර මිලි මීටර් 276.0 ක වර්ෂාපතනයක් ලැබී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

zdfgsrt


ප්‍රදේශ රැසකට ගංවතුර

පවතින වැසි තත්ත්වය සමග කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉදිරි පැය 48ක කාලය තුළ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව නිවේදනයක් නිකුත් කරමින් වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

ඒ අනුව බුලත්සිංහල, මදුරාවල හා පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල කුඩා ගඟ සහ මගුරු ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලට මහා ගංවතුර තත්ත්වයක් ඇතිවනු ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

"ගතවූ පැය 24ක කාලය තුල ලැබුණු වර්ෂාපතනයත් සමග කළු, කැළණි, ගිං සහ නිල්වලා ගංගා ගංවතුර මට්ටමකට පැමිණ තිබෙනවා."

"මේ වන විට නිල්වලා ගඟ ආශ්‍රිත පහත් බිම් වල ගංවතුර තත්ත්වය වර්ධනය වෙමින් පවතිනවා."

"විශේෂයෙන් කොටපොල, අකුරැස්ස, කඹුරුපිටිය, මුලටියන, මාලිම්බඩ, අතුරලිය, තිහගොඩ සහ මාතර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නිල්වලා ගඟ සහ එහි අතු ගංඟාවල ගංවතුර තත්ත්වය ඉහළ යමින් තිබෙනවා."

"මීට අමතරව කළු ගඟ ආශ්‍රිතව රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, නිවිතිගල, කුරුවිට, අයගම, ඇළපාත කියන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලත් ඉංගිරිය, හොරණ, දොඩංගොඩ, මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලත් ගංවතුර තත්ත්වය වර්ධනය වෙන්න පුළුවන්."

"මේ අතර ගිං ගඟ ආශ්‍රිතව පහත් බිම්වල මේ වන විට ගංවතුර තත්ත්වයක් වාර්තා වෙමින් තිබෙනවා."

"නෙළුව, තවලම, නාගොඩ, බද්දේගම කියන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආශ්‍රිතව ගිං ගඟ සහ ඒවායේ අතු ගංඟාවන් වල ජල මට්ටම ඉහළ යමින් තිබෙන නිසා පහත් බිම් වල ගංවතුර තත්ත්වයක් වාර්තා වනවා."

"මේ අතර කැළණි ගඟ අවට පහත් බිම් වල සුළු ගංවතුර තත්ත්වයක් පවතිනවා. විශේෂයෙන් දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල කියන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පවතින සුළු ගංවතුර තත්ත්වයේ තවදුරටත් වර්ධනයක් පෙන්නුම් කරනු ලබනවා."

"මේ ප්‍රදේශවල ජීවත්වන පුද්ගලයින් සහ එම ප්‍රදේශ හරහා ගමන් කරන රථ වාහන රියැදුරන් දැඩි ලෙස අවධානයෙන් පසුවිය යුතුයි." යනුවෙන් වාරිමාර්ග අධ්‍යක්ෂක එස්.පී.සී. සුගීෂ්වර පැවසීය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අද ( ජුනි මස 02 වෙනිදා) නිකුත් කළ නිවේදනයකට අනුව නිල්වලා ගඟ පිටබැද්දර ප්‍රදේශයෙන් ද කුඩා ගඟ කළවැල්ලාව ප්‍රදේශයෙන් ද මහා ගංවතුර මට්ටමට ළඟාවී තිබේ.

 

දිස්ත්‍රික්ක 9 කට නායයාම් අනතුරු ඇඟවීම්

අධික වැසි සහිත කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 09 ක් සඳහා නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක සහ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 23ක් සඳහා නායයාම් අනතුරු ඇඟවීමේ රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එමෙන්ම මහනුවර, නුවරඑළිය, රත්නපුර, ගාල්ල, කෑගල්ල, හම්බන්තොට, මාතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 46ක් සඳහා එම නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

එම නායයාම් අනතුරු ඇඟවීම් අද (ජුනි මස 02) අලුයම 04 සිට හෙට (ජුනි මස 03 වෙනිදා) අලුයම 04 දක්වා බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්වේ.

 

ජීවිතාරක්ෂක කණ්ඩායම්

අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා යුද, ගුවන් සහ නාවික හමුදාවන් හි ජීවිතාරක්ෂක කණ්ඩායම් සුදානම් කර තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ බීබීසී සිංහල වෙත පැවසුවේ ආපදා මෙහෙයුම් වෙනුවෙන් යෙදවීම සඳහා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා 3ක් සහ ජීවිතාරක්ෂක කණ්ඩායම් මේ වන විටත් අනුයුක්ත කර ඇති බවය.

එමෙන්ම නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කැප්ටන් ගයාන් වික්‍රමසුරිය බීබීසී සිංහල වෙත පැවසුවේ කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා නාවික හමුදාවේ ජීවිතාරක්ෂක කණ්ඩායම් 10ක් යොදවා ඇති බවය.

එමෙන්ම ඕනෑම අවස්ථාවක ආපදා මෙහෙයුම් සඳහා යෙදවීමට තවත් කණ්ඩායම් 116ක් සුදානම් කර ඇති බව ද ඔහු පැවසීය.

මේ අතර යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ යුද හමුදා කණ්ඩායම් 07ක් මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා යොදවා ඇති අතර, සාලාව සහ මාලිම්බඩ ප්‍රදේශවල අවතැන් වූ ජනතාවට ආහාර ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු යොදා ඇති බවයි.

අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා යුද, ගුවන් සහ නාවික හමුදාවන් හි ජීවිතාරක්ෂක කණ්ඩායම් සුදානම් කර තිබේ.

dgsr45fඅකුරැස්ස නගරය


ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි කෙරේ
කාලගුණ තත්ත්වය හා ජලගැලීම් සැළකිල්ලට ගනිමින් ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුලක්ෂණ ජයවර්ධන බීබීසී සිංහල වෙත පැවසීය.

"ගාල්ල, කළුතර, රත්නපුර, කොළඹ සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ගංවතුර තත්ත්වය නිසා ඇතැම් ප්‍රදේශවල විදුලි සැපයුම් විසන්ධි කර තිබෙනවා. ඒ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්."

"ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ක සම්බන්ධවෙලා අපි මේ ප්‍රදේශවල විදුලි සැපයුම අත්හිටුවා තිබෙන්නේ."

"ගංවතුර තත්ත්වය පහව ගියාට පස්සේ අපි තත්ත්වය බලලා නැවත විදුලි සැපයුම යථා තත්ත්වය ලබා දීමට කටයුතු කරනවා." ලේකම්වරයා කියා සිටියේය.


(BBC සිංහල සේවය)

pe2024 2

worky sin

නවතම පුවත්