ආහාර ගනිමින් සිටින කුඩා දරුවෙකුට පහර දෙන වීඩියෝවක් කෙරෙහි පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍ය භාවිත කරන්නන් බොහෝ පිරිසකගේ අවධානයට ලක් විය.
ඒ අනුව, ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ පොලිසිය, අදාළ දරුවාට පහර දීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු සහ තවත් කාන්තාවන් දෙදෙනෙකු බදාදා (ජූනි 5) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ ය.
අත්අඩංගුවට ගත් සැකකරු 45 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, කාන්තාවන් දෙදෙනා 37 හැවිරිදි හා 46 හැවිරිදි වයස්වල පසු වන වැලිඔය, කල්‍යායාණපුර ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
මේ අතර, අදාළ වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග නිවසින් පළාගොස් සැඟවී සිටි සැකකරුට නවාතැන් දුන් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සහ කාන්තාවන් දෙදෙනා පදවිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජූනි 19 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.
ප්‍රහාරයට ලක්වූ වයස අවුරුදු 4 1/2ක ගැහැණු දරුවා ළමා පරිවාස දෙපාර්තමේන්තුව භාරයට පත්කර තිබේ.
'ශාරීරික දඬුවම් දීම අපරාධයක්'
ශ්‍රී ලංකාවේ දරුවන්ට ඕනෑ ම ආකාරයක ශාරීරික දඬුවම් ක්‍රියාත්මක කිරීම අපරාධයක් ලෙස අර්ථකථනය කරමින් දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීම සඳහා අප්‍රේල් 29 වන දා පැවති කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමි විය.
පසුදා එනම් අප්‍රේල් 30 වන දා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව ය.
ඒ අනුව, මෙරට ළමා අයිතිවාසිකම් ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා ආකාරයට සකස් කර, උසස් සදාචාර සම්පන්න සමාජයක තිබිය යුතු ප්‍රචණ්ඩත්වය පිටුදැකීම සඳහා සියලු ම ක්ෂේත්‍රවල ශාරීරික දඬුවම් පැමිණවීම තහනම් කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීමට නියමිත බව ඔහු සඳහන් කළේ ය.
මෑත කාලයේදී මාධ්‍ය ඔස්සේ ද බොහෝ විට පාසල් තුළදී දරුවන්ට අමානුෂික විවිධ පහර දීම් සහ හිංන සම්බන්ධව ප්‍රචාරය වීම් ද නිරන්තරයෙන් දක්නට ලැබුණු බවත්, දරුවන්ට මින්පසු කිසිදු ආකාරයක ශාරීරික හෝ මානසික දඬුවම් පැමිණවීම නතර කිරීමට අදාළව දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධි විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, වැඩිහිටියන් විසින්, ගුරු දෙගුරුන් විසින් ශාරීරිකව හෝ මානසිකව දඬුවම් දීම නීතිය අනුව වැරදිකරු වන ආකාරයට මෙම පනත සංශෝධනය කෙරෙන බව ය.
ශ්‍රී ලංකාවේ තත්ත්වය
ශ්‍රී ලංකා සංස්කෘතියේ අතීතයේ සිට පැවතියේ ශාරීරික දඬුවම් ලබා නොදී යහපත් දරුවන් බිහි නොවේ ය යන ආකල්පයකි.
"හැඳි නොගා හදන කිරි හොද්දකිනුත්, නොගහ හදන දරුවෙකුගෙනුත් ඵලක් නැහැ."
"මූව හදන්න නම් මග්ගොන යවන්න වෙනවා."
අතීතයේ සිට අප නිතර අසා ඇති ඉහත සඳහන් අදහස්වලින් ශ්‍රී ලංකා සංස්කෘතිය ශාරීරික දඬුවම් පිළිබඳව දැක්වූ ආකල්පය වටහා ගත හැකි ය.
2017 වසරේ ජනවාරි සිට මාර්තු දක්වා ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 6ක තෝරා ගත් පාසල් 32ක් මුල් කරගෙන ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය කරන ලද සංඛ්‍යාත්මක සමීක්ෂණයේ වාර්තාවට අනුව ඊට භාජනය වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් 80.4%ක් ආසන්න පිරිසක් මාස තුනක කාලයක් තුළදී කවර හෝ අන්දමේ කායික දණ්ඩනයකට ලක්වී තිබිණි.
මෙම තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ ආයතන රැසක් ළමුන්ට එරෙහි ශාරීරික දඬුවම් අහෝසි කළ යුතු බවට වසර ගණනාවක් පුරා බලපෑම් කළේ ය.
කෙසේ වෙතත්, වැඩිහිටි පුද්ගලයින්ට පහර දීම් සම්බන්ධයෙන් තහනම් පැනවුණ ද, යහපත් චේතනාවකින් යුතුව ළමුන්ට ශාරීරික දඬුවම් පැනවීම නීතිමය වශයෙන් වරදක් නොවන බව ශ්‍රී ලංකාවේ පිළිගැනීම විය.
එය දරුවන්ට පහර දීම සඳහා නීත්‍යනුකූල අවසරයක් ලබා දීමක් බවට චෝදනා එල්ල විය.
අවසානයේදී ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විද්වතුන්ගේ උපදෙස් මත ශාරීරික දඬුවම් අහෝසි කිරීම සම්බන්ධයෙන් කමිටුවක් පත් කළේ ය.
එම කමිටුවේ නිර්දේශ මත "ළමුන්ට එරෙහි සියලු ආකාරයේ ශාරීරික දඬුවම් අහෝසි කිරීමට" යෝජනා විය.
ජනාධිපතිවරයාගේ සහ අධිකරණ අමාත්‍යවරයාගේ ඒකාබද්ධ යෝජනාවක් ලෙස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද්දේ, මෙම නිර්දේශ ඇතුළත් යෝජනා මාලාවකි.
'කැබිනට් අනුමැතිය දීලා විතරක් මදි'
සිය දියණිය මුහුණ දුන් සැබෑ සිද්ධියකින් පසු ශාරීරික දඬුවම්වලට එරෙහිව දේශීය මෙන් ම ජාත්‍යන්තර වශයෙන් දැවැන්ත හඬක් නැගූ 'ළමා හිංසනයට තිත පදනමේ' සභාපති සහ ළමා ආරක්ෂණ සන්ධානයේ සම කැඳවුම්කරු වෛද්‍ය තුෂ් වික්‍රමනායක බීබීසී සිංහල සේවයට පැවසුවේ, කැබිනට් අනුමැතිය ලබා දීම පමණක් ප්‍රමාණවත් නොවන බව ය.
"කැබිනට් අනුමැතිය ලැබුණු එක ගැන අපි සතුටු වෙනවා. ඒත්, ඒ සතුට අර්ථ ගැන්වෙන්නේ මේ පාර්ලිමේන්තුව විසුරුවන්න කලින් අදාළ පනත සංශෝධනය කළොත් විතරයි. මේක ඉක්මනින් කෙටුම්පත් කරලා නීතියක් බවට පත් කරන එක බලධාරීන්ගේ වගකීමක්."
"අපිට මෙතෙක් කල් පෙනී ගිහින් තියෙන ආකාරයට මේ සම්බන්ධයෙන් වගකිව යුතු ආයතනවලට කිසි ම උනන්දුවක් තියෙන බවක් පේන්නෙ නෑ. විශේෂයෙන් මේ කැබිනට් තීන්දුව ප්‍රකාශයට පත් කළාට පස්සේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කිසි ම අදහසක් පළ කරලා නැති බව පේනවා. ඒක ඉතා ම ආන්දෝලනාත්මක යි," වෛද්‍ය තුෂ් වික්‍රමනායක වැඩිදුරටත් පැවසීය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් ප්‍රකාශ කළේ, ශාරීරික දඬුවම් දීමෙන් මිස දරුවෙකු යහමගට යොමු කළ නොහැකි බවට ආකල්ප ඇති රටක ශාරීරික දඬුවම් අහෝසි කිරීම පහසු කටයුත්තක් නොවන බව ය.
"ඇතැම් ජනාධිපතිවරු කිව්වා ගුටි කාලා හැදුණ නිසා තමයි හොඳට හැදුණේ කියලා. මේ වගේ ආකල්ප තියෙන බලධාරීන් මේ තත්ත්වය වෙනස් කරන්න කැප වෙන්නෙ නෑ. ඒ නිසා මේක ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු යි."
මේ අතර, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් අනෝමා සිරිවර්ධන බීබීසී සිංහල සේවය කළ විමසීමකදී පැවසුවේ, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සිය කාර්යභාරය මේ සම්බන්ධයෙන් ඉටු කර ඇති බව ය.
"අපි පත් කරපු කමිටුවකින් තමයි මේ නිර්දේශ ඉදිරිපත් කළේ. ඒකට කැබිනට් අනුමැතිය හම්බ වුණා. දැන් ඒ සම්බන්ධ කෙටුම්පත සකස් කරලා, පාර්ලිමේන්තුවේ අනුමැතිය අරගෙන ක්‍රියාත්මක කරන්න තියෙනවා. ඒක ටිකක් දීර්ඝ ක්‍රියාවලියක්. කොහොම වුණත් ඒක ඉක්මනින් සිද්ධ වෙයි," ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කළා ය.
එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය
'දරුවෙකු දෙමාපියන්ගේ හෝ නීත්‍යනුකූල භාරකරුවෙකුගේ හෝ රැකවරණයේ සිටින අතරවාරයේ කිසිදු ආකාරයක ශාරීරික හෝ මානසික හිංසනයකට හෝ පීඩාවකට ලක් නොවිය යුතුය,' යනුවෙන් ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ 19 වන වගන්තියේ සඳහන් වේ.
දරුවා කිසිදු ආකාරයක පරිභවයකට ලක් වීම, නොසලකා හැරීමට ලක් වීම මෙන් ම අයථා ලිංගික ක්‍රියාවකට පොළඹවා ගැනීමෙන් ආරක්ෂා කිරීම පිණිස රජය පියවර ගත යුතු බව ද එහි දැක්වේ.
ශාරීරික දඬුවම් හේතුවෙන් ළමුන්ට ශාරීරිකව මෙන් ම මානසිකව ද බලපෑම් එල්ල වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.
රන්ජන් රාමනායකගේ අත්දැකීම
ශාරීරික දඬුවම් නොදී දරුවන් යහමගට ගත හැකි බව වටහා ගත හැකි සුවිශේෂී අත්දැකීමක්, ජනප්‍රිය සම්මානනීය නළුවෙකු මෙන් ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද වූ රන්ජන් රාමනායකට තිබේ.
පසුගිය දා ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී මීගමුව, මාරිස් ස්ටෙලා විද්‍යාලයේ හිටපු විදුහල්පති ක්ලින්ටන් පෙරේරා දේවගැතිවරයා එම අත්දැකීම විස්තර කළේ ය.
"රන්ජන් (ඒ කාලේ) ඉගෙන ගන්නෙ නෑ. හුණු කෑල්ල කඩලා ගුරුවරුන්ට විදිනවා. එයා වෙනස් වුණේ, ජයසිංහ කියලා ටීචර් කෙනෙක් හිටියා, උසස් පෙළට. මේ මනුස්සයා අරයා උගන්වන අතරේ සර්ව ඇඳලා තිබුණා, ඒ සර් පුස්තකාලයාධිපති විදිහට වැඩ කළා. ඉතින් චිත්‍රයක් ඇඳලා තිබුණා, සර් පොත් ගොඩක් උස්සගෙන යනවා, සමහර ඒවා බිම වැටෙනවා. ඒකෙ ලියලා තිබුණා, 'ජයසිංහයා පුස්තකාලෙ පොත් හොරකම් කරනවා' කියලා. ඒ සර්ට තරහ යනවා හරියට. මා ගාවට (රන්ජන්ව) ගෙනාවා. ඒක දැකල මට හිනා ගියා. ඉතින් මම කිව්වා, ඔයාට මම ගහන්නෙ නෑ, ඔයාට දෙන දඬුවම තමයි, චිත්‍ර ප්‍රදර්ශනයක් කරන එක කියලා.
පැන්සලෙන් චිත්‍ර සීයක් විතර ඇඳලා මෙයා ඒක කෙරුවා හොඳට. අවට පාසල්වලිනුත් ආවා ප්‍රදර්ශනය බලන්න. ඊට පස්සෙ තමයි එයා වෙනස් වුණා කියලා කියන්නේ," ක්ලින්ටන් පෙරේරා දේවගැතිවරයා අතීතය ආවර්ජනය කළේ ය.
පසුකලෙක ජනප්‍රිය රංගන ශිල්පියෙකු, දේශපාලනඥයෙකු ලෙස ජනාදරයට පත් රන්ජන් රාමනායක නැවත උසස් පෙළ විභාගයට පෙනී සිට විවෘත විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ද හිමි කර ගත්තේ ය.
මේ අත්දැකීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායක බීබීසී සිංහල සේවයට අදහස් දැක්වීය.
"මම කරපු දේවල්වලට මම හැම දා ම ගුටි කෑවා. ගුටි කෑවා කියල මම හැදුණෙ නෑ. මට වෙනස් වෙන්නවත්, යහපත් විදිහට හැදිරෙන්නවත් ගුටි කෑම නිසා හිතුණෙ නෑ. මට ටික කාලයක් යද්දී ගුටි කෑමත් සාමාන්‍ය දෙයක් බවට පත් වුණා," රන්ජන් රාමනායක පැවසීය.
එහෙත්, ක්ලින්ටන් පෙරේරා දේවගැතිවරයා දුන් අපූරු දඬුවම, රන්ජන් රාමානායකගේ ජීවිතයට අතිශයින් බලපෑ වෙනස සිදු කිරීමට සමත් විය.
"චිත්‍ර ප්‍රදර්ශනය සාර්ථක වෙලා, අවට පාසල්වල ළමයි ඇවිත් ඒවා බැලුවා. ගොඩක් චිත්‍ර මිල දී ගත්තා සමහර අය. ප්‍රදර්ශනයෙන් ලොකු ආදායමකුත් ලැබුණා ඉස්කෝලෙට. ඒකෙන් ලැබුණ සල්ලිවලින් පාසල් පිට්ටනියේ ක්‍රීඩාගාරයක් හැදුවා. මේ සියලු ගෞරවයන් නිසා මගේ ජීවිතයට ලොකු ආලෝකයක් ලැබුණා. මට ලොකු ආත්ම විශ්වාසයක් ඇති වුණා. මට හිතුණා පිස්සු වැඩ නතර කරලා යහපත් විදිහට ඉන්න," රන්ජන් රාමනායක ආවර්ජනය කළේ ය.
"ළමයෙක්ව හදන්න ශාරීරික දඬුවම් දෙන්න අවශ්‍ය නෑ කියන එක මේ සිද්ධියෙන් ම වටහා ගන්න පුළුවන්. මම වාසනාවන්ත වුණා ඒ වගේ ළමා මානසිකත්වය තේරුම් ගත්ත ගුරුතුමෙකුගේ ඇසුර ලබන්න තරම්. ශාරීරික දඬුවම් නොදී දරුවන් නිර්මාණශීලී විදිහට ගොඩ නගන්න පුළුවන් ගුරුවරුන් බිහි කරන්න අවශ්‍ය යි. මේ නීති ගෙන ඒම හොඳ දෙයක්. නීති මගින් විතරක් මේක වෙනස් කරන්න බැරි වෙයි. ගුරුවරුන් සහ දෙමාපියනුත් මේ තත්ත්වය තේරුම් අරගෙන වැඩ කළොත් අපට නිර්මාණශීලී, පෞරුෂයකින් යුත් දරු පරපුරක් බිහි කරන්න පුළුවන් වෙයි," ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ අතර, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් සහ වෛද්‍ය තුෂ් වික්‍රමනායක ද පෙන්වා දුන්නේ, විද්‍යා පීඨ ඇතුළු ගුරුවරුන් පුහුණු කරන ආයතන හරහා ගුරුවරුන්ට ළමා මනෝවිද්‍යාව සම්බන්ධයෙන් නිසි අවබෝධයක් ලබා දිය යුතු බව ය.
(BBC සිංහල සේවය)
සබැඳි ලිපියක් :
දරුවන් මාධ්‍යයට නිරාවරණය නොකළ යුතුයි කියන Guidelines ගැන දැනුවත් වීමක් නැද්ද?