සෞඛ්‍ය අංශ, යුද්ධ හමුදාව, පොලීසිය සහ බුද්ධි අංශ ඒකාබද්ධව සිදුකරන ලද පරීක්ෂණවලදී මාර්තු මස 2 සිට 15 දින දක්වා
කාලය තුළ ශ්‍රී ලාංකිකයින් 15,000 ක් පමණ විදේශ රටවලින් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව තහවුරු වී ඇතැයි කොරෝනා මර්දන වැඩපිළිවෙලේ ප්‍රධානියා පවසයි.
‘කොවිඩ් - 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ’ දී ඉරිදා දිනයේ මාධ්‍යවේදීන් අමතමින් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර තිබුනේ රට පුරා නිරෝධායන මධ්‍යස්ථාන 45 ක රටවල් 17 කින් පැමිණි විදේශිකයින් 31 දෙනකු ඇතුළු පුද්ගලයන් 3506 දෙනකු මේ වන විට නිරෝධායන කටයුතු වෙනුවෙන් යොමු කර ඇති බවයි.
ඔවුන්ගේ ක්‍රියාකලාපය කෙරෙහි අවධානයෙන් පසුවිය යුතු අතර ඇතැමුන් මේ වන විටත් ස්වයං නිරෝධායන කටයුතු වල යෙදී සිටින බව හමුදාපතිවරයා වැඩි දුරටත් පෙන්වා දී තිබේ.
සෞඛ්‍ය අංශ පවසන පරිදි මේ වන විට දිවයින තුළ හඳුනාගෙන ඇති කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 91 කි.
මාසයකදී අයකුගෙන් 400 කට බෝවන අවදානම !
මාධ්‍ය හමුවට එක්වෙමින් රජයේ කොරෝනා මර්දන වැඩපිළිවෙළේ විශේෂඥ වෛද්‍යවරයකු අනතුරු අඟවා ඇති පරිදි කෝවිඩ් - 19 වෛරසය ආසාදිත රෝගියකුගෙන් මාසයක් තුළදී තවත් පුද්ගලයන් 406 දෙනකුට වෛරසය පැතිරීමේ හැකියාව පවතින බවට මේ වන විට අනාවරණය කරගෙන තිබේ.
එවැනි අවදානම් සහගත තත්වයක් තුළ රෝගය විශාල වශයෙන් පැතිර ගියහොත් රටේ පවතින සම්පත් අනුව ජීවිත ආරක්ෂාව සිදු කිරීමේ ඇති අමාරුකම ජනතාව තේරුම් ගත යුතු අතර තමන්ගේ ආරක්ෂාව ස්වයංව සලසා ගැනීමේ වගකීමත් ජනතාව තේරුම්ගත යුතු බව ළමා ස්නායු විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය පවසයි.