හිතුවාටත් වඩා කලින් ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මිදීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ තන්තිරිමලයේ 'ලංකාදීප පොසොන් ආලෝක

පූජාව' විවෘත කරමින් ඊයේ (21) පැවසීය.

පහළ මල්වතු ඔය ජලාශයේ සියලු වැඩ කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා කඩිනමින් මුදල් ලබා දෙන බව එහිදී කී ජනාධිපතිවරයා, රට බංකොලොත් බවින් මුදා ගැනීමට මහා මෙහෙවරක් කළ ගොවි ජනතාව කිසිවිටක අමතක කරන්නේ නැති බව සඳහන් කළේය.

පොසොන් පුර පසළොස්වක පොහොය නිමිති කර ගනිමින් සීමාසහිත විජය පුවත්පත් සමාගම 21 වැනි වරටත් සංවිධානය කළ ඓතිහාසික තන්තිරිමලය රජමහා විහාරයේ විදුලි ආලෝක පූජාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් ඊයේ (21) පස්වරුවේ විවෘත කෙරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසිය.

 ''ලාංකිකයන් ලෙස බෞද්ධයන්ට වැදගත් උත්සව දෙකක් තිබෙනවා. පළමුවැන්න වෙසක් උත්සවයයි. වෙසක් පොහොය දිනය මුළු ලොවම සමරනවා. එය ලෝකයට අයත් ලෝකය විසින් ගරු කරන දිනයක්. ලාංකිකයන්ට විශේෂම පොහොය වන්නේ පොසොන් පොහොයයි. ලංකාවට මිහිඳු මහරහතන් වහන්සේ නොපැමිණියා නම් මහා විහාරය බිහිවන්නේ නැහැ. අපේ ත්‍රිපිටකය ආරක්ෂාවන්නේ නැහැ.එසේ නම් මෙහි ථෙරවාද බුද්ධාගම නැතිවෙනවා.ඒ නිසා අපට මේ උත්සවය විශිෂ්ටයි.


ථෙරවාද බුදු දහම ආරක්‍ෂා නොවුනා නම් මියන්මාරයට, තායිලන්තයට, කාන්බෝජයට,  ලාඕසයට, වියට්නාමයට, බුදුදහම ලබාගන්නට බැරිවෙනවා.

ඒ නිසා මේ උත්සව දෙකම අප ඉතා උසස් මට්ටමින් සිදු සිදුකරනවා. පළමු කාරණය තිබෙන්නේ අධ්‍යාත්මික අංශයයි. අපගේ අධ්‍යාත්මික වැඩ කටයුතු කළ යුතුයි. බුද්ධ ධර්මය කියන්නේ අපගේ උත්සව නොවේ. හැමදාම බුදුන් වහන්සේගේ ධර්මය අනුව අපගේ ජීවිත සකස් කර ගත්තා.  

ප්‍රධාන වශයෙන් දන්සල් හැම තැනම තිබෙන අයුරු අපට දැක ගන්න පුළුවන්. එමෙන්ම වෙසක් උත්සව සමයේත් විශාල දන්සල් ප්‍රමාණයක් තිබුණා. මේවා දුටු විට මේ රට බංකොලොත් වෙලා තිබුණාද කියලා අපට හිතන්නවත් බැහැ. සැතපුමෙන් සැතපුමට අපට දන්සල් දැකගන්න පුළුවන්. පොසොන් උත්සවයට පමණක් දන්සල් විසි දහසක් පැවැත්වෙන බව මාධ්‍ය වාර්තා කර තිබුණා. දන්සල් පැවැත්වීම හොඳ දෙයක්.  

 අපි පසුකර පැමිණියේ අමාරු යුගයක්. මම රට භාරගන්නා විට පොහොර ගේන්න මුදල් තිබුණේ නැහැ. බෙහෙත් ගන්න මුදල් තිබුණේ නැහැ. ඉන්ධන ගන්න මුදල් තිබුණේ නැහැ. තව ටික කලක් ගියා නම් සබන් ගන්නවත් මුදල් නැති වෙන්න තිබුණා.


මේ රටේ නිෂ්පාදනය වැඩි කරන්න තිබූ එකම මාර්ගය කෘෂිකර්මයයි. ඒ පිහිටෙන් 2022- 2023 වසර වල යල කන්නය සාර්ථක කරගන්නට හැකි වුණා. එමෙන්ම 2023 වසරේ හොඳ මහකන්නයක් තිබුණා. එමෙන්ම 2024 වසරේත් හොඳ මහ කන්නයක් ලබාගන්නට හැකි වුණා. ඒ අනුව රටේ ආර්ථිකය නංවන්නට හැකි වුණා. සංචාරකයන් එන්නට පෙර අපේ ගොවි මහතුන් ඒ වැඩකටයුත්ත කරලා දුන්නා. අප එය අමතක කරන්නේ නැහැ. ඒ පිහිටෙන් මේ වසරේ අවසානයට හොඳ යල කන්නේකුත් ලබාගන්න හැකිවේවි.

ඒ නිසා අප ගොවි මහතුන්ට හැකි පමණින් උදව් කරනවා.  ඉඩම් සංවර්ධන පනතේ බලපත්‍ර යටතේ ඉඩම් ලබා දී තිබෙනවා නම් ඒ සියල්ලම සින්නක්කර ඔප්පු බවට පත් කරනවා. බලපත්‍ර ලබා දී තිබෙන ඉඩම් මනින්නට සිදුවෙනවා මිනින්දෝරුවන් සීමා සහිතයි. එකම ප්‍රශ්නය එයයි. තමන්ට අයිති ඉඩම වගා කරන්නට ජනතාව කටයුතු කළ යුතුයි. ඒ සඳහා අප කෘෂි නවීකරණ වැඩසටහන් හඳුන්වා දෙනවා. හැම ගොවිජන සේවා මධ්‍යස්ථානයකම අප කෘෂි නවීකරණ වැඩසටහන් අරඹනවා. එදා මේ රට ගොඩගන්නට ගොවි මහතුන් කළ සේවය මා කිසිවිටක අමතක කර නැහැ.

 

 එමෙන්ම අපේ ආගමික වැඩ කටයුතු ඉදිරියට ගෙනයාම සඳහා සියලුම උපකාර කරනවා. අප හිතුවාට වඩා වේගයෙන් ශ්‍රී ලංකාව බංකොලොත් භාවයෙන් පිට වෙන්නට උත්සාහ කරමින් සිටිනවා. ඊට වැඩි කල් නැහැ. ඒ වෙනුවෙන් පහළ මල්වතු ඔය ජලාශයේ සියලු වැඩ කටයුතු කඩිනමින් අවසන් කරනවා. ඒ සඳහා කඩිනමින් මුදල් ලබා දෙන්නම්. සිංහල ශිෂ්ටාචාරය ආරම්භ වූයේ මල්වතු ඔය ආශ්‍රිතවයි. ඒ නිසා මේ ප්‍රදේශය දියුණු කිරීම අපේ යුතුකමක්යැයි ජනාධිපතිවරයා කීය.


ඊයේ පස්වරුවේ තන්තිරිමලය රජමහා විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක තන්තිරිමලය රජමහා විහාරාධිපති පූජ්‍ය තන්තිරිමලේ චන්දරතන නා හිමිපාණන් වහන්සේ බැහැ දැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.

අනතුරුව විහාර මන්දිරය වෙත පැමිණි ජනාධිපතිවරයා ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.

ඉන් අනතුරුව විදුලි පහන් ආලෝකය දල්වා තන්තිරිමලය ආලෝක පූජාව විවෘත කිරීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

පළාතේ මහා සංඝරත්නය ද, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන, හිටපු අමාත්‍ය පී. හැරිසන් සහ පළාතේ දේශපාලන නියෝජිතයන් ද විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන ඇතුළු සාමාජිකයන් සහ සැදැහැවත් ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

ranil

 

ranil1

 

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්