කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයෙකු සොයා ගැනීම හේතුවෙන් කලූබෝවිල ශික්ෂණ රෝහලේ 05 වන වාට්ටුව ඊයේ (30) දිනයේ සිට

වසා දමා, එහි සිටි රෝගීන් 15 දෙනෙකු සහ වෛද්‍යවරුන් ඇතුලූ සෞඛ්‍ය කාර්යය මණ්ඩල සාමාජිකයන් 20 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කළ බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසිය.

අදාල රෝගීන් 15 දෙනා හෝමාගම මූළික රෝහලට මාරු කර යවා ඇති අතර රෝහල් කාර්යය මණ්ඩලය කලූබෝවිල ශික්ෂණ රෝහලේ විශේෂිත ගොඩනැගිල්ලක නිරෝධායනය සඳහා රදවා ඇති බව ද රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

එම රෝහලේදී හදුනා ගත් කොරෝනා ආසාදිතයා දෙහිවල නැදිමාල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 60 ක් පමණ පුද්ගලයෙකි. ඔහු ඊයේ (30) පස්වරුවේ IDH රෝහලට ඇතුළත් කර තිබේ.

 මෙම පුද්ගලයා රෝගය පිළිබඳ තොරතුරු වසන් කිරීමට උත්සාහ දැරූ අයෙකු බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

 

මියගිය පුද්ගලයාත් තොරතුරු වසන් කළ අයෙක් !

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී ඊයේ දිනයේ ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා ද සෞඛ්‍ය අංශ වෙත තොරතුරු වසන් කිරීමට උත්සාහ දැරූ අයෙක් බව සෞඛ්‍ය අංශ පවසයි

ඔහුගේ පවුලේ සාමාජිකයින් දෙදෙනෙකු ඉන්දියාවේ සිට මෑතකදී මෙරටට පැමිණ ඇති බව ද වාර්තා වේ.

මෙම පුද්ගලයා මාර්තු 11 වැනිදා යාපනය ප්‍රදේශයේ ද සංචාරය කර ඇති අතර පෙරේදා (29) දිනයේ මීගමුව ප්‍රදේශයේ පුද්ගලික රෝහලකට ඇතුලත්ව ප්‍රතිකාර ලබා ගෙන ඇති බවත් එහිදී වෛද්‍යවරුන්ට සැබෑ තොරතුරු ලබා දී නොමැති බවත් සෞඛ්‍ය අංශ පැවසිය.

අදාල පෞද්ගලික රෝහලේ වෛද්‍යවරුන්ට ඇති වූ සැකයක් මත එම පුද්ගලයා මීගමුව මහ රෝහලට  ඇතුළත් කර ඇති අතර එහිදී ශ්වසන ආබාධවලින් පෙලෙන රෝගියෙකු ලෙස දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා ඇති බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් අනාවරණ කළේය.

මීගමුව මහ රෝහලේ කාර්යය මණ්ඩලයේ 50 දෙනෙකු පමණ එම පුද්ගලයාට නිරාවරණය වී ඇත.  මේ හේතුවෙන් මීගමුව මූලික රෝහලේ 20 වන වාට්ටුව සම්පූර්ණයෙන් වසා දමා ඇති අතර එම වාට්ටුවේ රාජකාරි කළ වෛද්‍යවරුන් ඇතුළු කාර්යය මණ්ඩලය සහ එහි සිටි රෝගීන් නිරෝධායනයට යොමු කර තිබේ.

 

ආදාහන කටයුතු මීගමුව කොච්චිකඬේ !

මේ අතර, මියගිය එම පුද්ගලයාගේ ආදාහන කටයුතු මීගමුව කොච්චිකඬේ ප්‍රදේශයේ මයියොක්කාහේන පොදු සුසාන භූමියේදී ඊයේ රාත්‍රී 12.00 ට පමණ සිදු කෙරුණු බව කොච්චිකඬේ පොලිසිය පවසයි.

මෙම අවස්ථාව සඳහා මීගමුව දිස්ත්‍රික් මහා රෝහලේ ප්‍රධානීන්, මීගමුව කොච්චකඩේ පොලිස් ස්ථානයේ නිලධාරින් සහ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු එක්ව සිට තිබේ.

නිරෝධායන පනතට අනුව ඥාතීන් දෙදෙනෙකුට පමණක් අවසන් කටයුතු සඳහා සහභාගි විය හැකි අතර එහෙත් ඔහුගේ සිදුකරන අවස්ථාවට කිසිදු ඥාතියෙකු පැමිණ නොසිටි බව වාර්තා වෙයි.

ඊයේ පස්වරුවේ එලෙස මියගියේ කොච්චිකඩේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙකි.

එසේ මියගිය පුද්ගලයාගේ නිවසේ සිටි කුඩා ළමුන් ඇතුළු පවුලේ සාමාජිකයින් 13 දෙනෙකු වහාම නිරෝධායනයට යොමුකර තිබේ.

 

තොරතුරු සඟවන පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර !

මේ අතර, කොරෝනා වෛරසය ආසාදිතව තොරතුරු සඟවන පුද්ගලයින්ට එරෙහිව නිරෝධායන නීති යටතේ දැඩි පියවර ගැනීමට පොලිසිය සූදානම් වේ.

 මාර්තු 16 වැනිදායින් පසු විදෙස් රටවල සිට පැමිණ ලියාපදිංචි නොවූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

 

සිංගප්පුරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වසයි

  මේ අතර සිංගප්පුරුවේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සති දෙකක කාලයක් සඳහා ඊයේ  (30) සිට වසා තැබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

ඒ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලේ සිටි පුද්ගලයෙකු කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට කරුණු අනාවරණය වීමත් සමගය.

ඒ අනුව මෙම කාල සීමාව තුලදී හදිසි සේවා කටයුතු සඳහා පහත සඳහන් දුරකථන අංකයන් ඔස්සේ සම්බන්ධ විය හැකි බව සිංගප්පුරුවේ පිහිටි මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර සිටියි.

(Consular Emergencies) +65 87414011/ +65 86546759/ email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(Migrant Workers, including FDWs) + 65 84981785/ 91810257 email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම් - nethnews.lk)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්