පවතින කොරෝනා වසංගතය පහ වන තෙක් එක්සත් ජාතික පක්ෂය ද සම්බන්ධ කරගෙන ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා යෝජනාවක් විපක්ෂයෙන් ආණ්ඩු පාර්ශ්වයට ඉදිරිපත් වී ඇති බව ආණ්ඩුවට පක්ෂ පක්ෂපාති 'ලංකා සී නිව්ස්' වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
නමුත් ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයන්ගේ අදහස වී ඇත්තේ මේ අවස්ථාවේ දී ජාතික ආණ්ඩුවක් පිහිටුවීමෙන් නීතිමය හැකියාවක් නොමැති බවයි.
පවතින භාරකාර ආණ්ඩුව යටතේ මීළඟ මැතිවරණය තෙක් රට පාලනය කළ යුතු බවත් කොරෝනා අර්බුදයට ද පවතින ආණ්ඩුව විසින් මුහුණ දිය යුතු බවත් ඔවුන්ගේ අදහස වී ඇතැයි ද එම පුවත් වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වේ.
රජය ගෙන ඇති ක්‍රියාමාර්ග එජාපයේ ප්‍රසාදයට :
එසේ ජාතික ආණ්ඩුවක් සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පලවෙමින් තිබිය දී, රජය සහ එක්සත් ජාතික පක්ෂය අතර සාකච්ඡාවක් අද (01) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජය මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග හා ඉදිරියට සැලසුම් කර ඇති වැඩපිළිවෙළ ජනාධිපතිවරයා එහිදී දීර්ඝ වශයෙන් පැහැදිළි කර තිබේ.
මේ වන විට වෛරසය ආසාදිත පිරිසෙන් බහුතරය නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් අය හෝ මීට පෙර වෛරසය වැළඳුණු පුද්ගලයන් සමීපව ඇසුරු කළ අය අතුරින් හෝ හඳුනාගැනීමත් වෛරසය ව්‍යාප්තිය පාලනය කර ගැනීමට ඉමහත් පිටිවහලක් වූ බව ගෝඨාභය රාජපක්ෂ පෙන්වා දී ඇත.
පවුල් පනස් තුන් ලක්ෂයකට රුපියල් 5,000/- බැගින් :
ජන ජිවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍ය සේවාවන්, ආහාර ද්‍රව්‍ය, ඖෂධ බෙදාහැරීමේ යාන්ත්‍රනය සහ කාර්ය සාධක බලකාය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ පිළිබඳව එහි ප්‍රධානී සහ ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂ පැහැදිළි කර ඇත.
දිවයිනේ හඳුනාගත් පවුල් හැට පන් ලක්ෂයෙන්, පවුල් පනස් තුන් ලක්ෂයකට අප්‍රේල් මස 09 වන දිනට පෙර රුපියල් 5,000/- බැගින් ලබාදීමේ ක්‍රියාවලිය සිදු කෙරෙමින් පවතින බවත් බැසිල් රාජපක්ෂ එහිදී සඳහන් කර තිබේ.
වෛරසයේ ව්‍යාප්තිය මර්දනය සඳහා ගෙන යන වැඩපිළිවෙළ සාමාන්‍ය ජන ජිවිතයට ඇති විය හැකි බාධා අවම වන අයුරින් සිදු විය යුතුය යන්න දෙපාර්ශ්වයේම මතය විය.
වැඩපිළිවෙළ නිර්දේශපාලනික විය යුතු බවට දෙපාර්ශවයම එකඟ වූහ.
ආර්ථිකය බිඳ නොවැටි අඛණ්ඩව පවත්වාගන යාමට....
රටේ ආර්ථික ක්‍රියාවලිය බිඳ නොවැටි අඛණ්ඩව පවත්වාගන යාම මෙන්ම රාජ්‍ය සේවකයන්, ව්‍යාපාරිකයන් හා වැවිලි ක්ෂේත්රයේ ප්‍රජාව මෙන්ම දෛනිකව විවිධ රැකියාවල සහ ස්වයං රැකියාවල නිතර වු පිරිස් මුහුණ දී තිබෙන දුෂ්කරතා පිළිබඳවත්, ඒවාට දිය යුතු විසඳුම් පිළිබඳවත් දෙපාර්ශ්වයම අවධානය යොමු වී තිබේ.
වෛද්‍යවරු, හෙද ඇතුළු සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩල, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු සියලු ආරක්ෂක අංශවල කැපවීම ද දෙපාර්ශ්වයේම ඇගයීමට සහ ප්‍රසාදයට ලක් ව ඇත.
සාකච්ඡාවට එක් වූ කණ්ඩායම දිස්ත්‍රික් වශයෙන් සිය පක්ෂ නියෝජිතයන් දැනුවත් කිරීමට ද එකඟ වී ඇති අතර පැය දෙකකට අධික කාලයක් සිදු වූ සාකච්ඡාව ඉතා සුහදශීලිව සහ සාර්ථකව පැවැති බව ද වාර්තාවේ.
රජය නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන , නිමල් සිරිපාලද සිල්වා, විමල් වීරවංශ, බන්දුල ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරු ද එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් උප නායක රවී කරුණානායක, අර්ජුන රණතුංග, රුවන් විජේවර්ධන, දයා ගමගේ, පාලිත රංගේබණ්ඩාර, නවීන් දිසානායක, ලක්ෂ්මන් විජයමාන්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආටිගල සහ මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් යන මහත්වරු ද මීට එක්ව සිටියහ.