රට බිඳ වැටී තිබෙන තැන පිළිබඳව තැන් තැන්වල විවිධ විග්‍රහ තිබුණ ද රට ගොඩනැගිය හැක්කේ ජාතික ජන බලවේගය අතට බලය හුවමාරු කර ගැනීමෙන් පමණක්

බව පැහැදිලි කරගත යුතු බවත්, ඒ වෙනුවෙන් සැප්තැම්බර් 21 දා ජනාධිපතිවරණයේ දී පැහැදිලි ජයග්‍රහණයක්ලබා දෙතැයි බලාපොරොත්තු වන බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක (AKD) පැවසී ය.

අනුර කුමාර දිසානායක මෙලෙස පැවසුවේ ඊයේ (02) මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේ පැවති ලංකා ගුරු සේවා සංගමයේ ජාතික සමුළුව අමතමිනි.

මෑත කාලයේ දියුණු වූ හැම රටකම දියුණුවෙ ප්‍රධානතම කාර්යභාරය ඉටුකර තිබෙන්නේ අධ්‍යාපනයෙන් බවත්, නිදහස් අධ්‍යාපන පනත සම්මත කර ගත් අවස්ථාවේ කන්නන්ගර මැතිතුමා කළ කතාවක් අපගේ අවධානයට නැවත ගත යුතු බවත් අනුර කුමාර දිසානායක තව දුරටත් පැවසී ය.

මතු දැක්වෙන්නේ එහි දී අනුර කුමාර දිසානායක මහතා කළ සම්පූර්ණ කතාව ය.

වටිනාම සම්පත මිනිස් සම්පතයි

 “ගඩොලින් තනා තිබූ රෝමය කිරිගරුඬින් නිම කළ බව ශ්‍රේෂ්ඨ ඔගස්ටස් අධිරාජ්‍යයා ආඩම්බරයෙන් පැවසූවා. මිල අධිකව තිබූ අධ්‍යාපනය මිල අඩු කළ බවත්, වසා තිබූ පොතක් ලෙස අපට දිස්වූ අධ්‍යාපනය විවෘත ලියවිල්ලක් බවට පත්කළ බවත් ධනවත් අයට උරුමව තිබූ අධ්‍යාපනය දිළින්දන්ගේ උරුමයක්  බවට පත්කළ බවත් සාඩම්බරයෙන් පවසන්නට රාජ්‍ය මන්ත්‍රණ සභාවට හැකි වූයේ නම් එම ආත්ම වර්ණනාව ඔගස්ටස් අධිරාජ්‍යයාගේ ආත්ම වර්ණනාවට වඩා කොයිතරම් ශ්‍රේෂ්ඨ ද? එක් සමාජ කණ්ඩායමකට පමණක් විවෘත කර තිබූ රාජ්‍ය අධ්‍යාපනය සියලු දෙනාට විවෘත කිරීම රෝමය කිරිගරුඬින් නිර්මාණය කළා යැයි කීමට වඩා ශ්‍රේෂ්ඨ බව එතුමා දක්වා තිබෙනවා. 

 
මේ රට ඉදිරියට ගෙන යා හැකි වන්නේ අධ්‍යාපනය අවශ්‍ය මහා වෙනස්කම් කිරීමෙන් පමණයි. සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා එක් අවස්ථාවක ප්‍රකාශ කළේ, සිංගප්පූරුව සතු එකම සම්පත මිනිස් සම්පත බවයි. ඒ මිනිස් සම්පත දියුණු කිරීමකින් තොරව සිංගප්පූරුවට අනාගතයක් නැති බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

රට ඉදිරියට ගෙන යාමේ ප්‍රධානතම මෙවලම

මේ රට ඉදිරියට ගෙන යා හැකි වන්නේ අධ්‍යාපනය තුළින් ඇති කරන මහා වෙනස්කම්වලින් පමණයි. සිංගප්පූරුවේ ශ්‍රම බලකායෙන් 41% උපාධිධාරීන්. එරට ශ්‍රම බලකායෙන් 21%ක් වෘත්තියමය ඩිප්ලෝමාධාරීන්. ලංකාවේ ශ්‍රම බලකායෙන් 15%යි වෘත්තිමය ශ්‍රමය තිබෙන්නේ. අධ්‍යාපනික වශයෙන් දියුණු මානව සම්පතක් ගොඩනගන්න අපි කැපවෙනවා ද යන්න මත මේ රට ඉදිරියට යාම තීරණය වෙනවා. 2017 වර්ෂයේ 9900ක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනකොට ඔවුන්ගෙන් 83%ක් ඉගෙනගෙන තිබෙන්නේ සාමාන්‍ය පෙළට අඩුවෙන්. 64%ක් අටේ පංතියට අඩුවෙන්. 
 
නූගත්කම අපරාධවලට හුරුවීමේ සහ අපරාධ කිරීමේ වැඩි ප්‍රවණතාවක් පවතිනවා. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගෙන් 74%ක් අටේ පංතියට පහළ අධ්‍යාපනයක් ලබාපු අය. දුප්පත්භාවයේ රේඛාව සහ නූගත්බවේ රේඛාව ගමන් කරන්නේ එකට. ඒ නිසා අපේ රට ඉදිරියට ගෙන යන වැදගත්ම මෙවලම අධ්‍යාපනය බව ජාතික ජන බලවේගයේ පිළිගැනීමයි. 
 
අපේ සැලසුම්වල අංක එක හිමිවෙන්නේ අධ්‍යාපනයට. අසල්වැසි ඉන්දියාව දැනුම උපයෝගී කර ගන්නා අයි.ටී. ක්ෂේත්‍රයේ පංගුව ඩොලර් බිලියන 253ක් කරගෙන තිබෙනවා. අපේ සමස්ත ආර්ථිකය ඩොලර් බිලියන 72යි. ඉන්දියාව ඩොලර් බිලියන 199ක් උපයා තියෙන්නෙ අයි.ටී. කර්මාන්තයේ අපනයන ආදායම විදියට යි. අපේ මුළු අපනයන ආදායම ඩොලර් බිලියන 12යි. සිංගප්පූරුවේ අයි.ටී. කර්මාන්තයේ ආර්ථිකය ඩොලර් බිලියන 47යි. දකුණු කොරියාවේ එම කර්මාන්තයේ ඩොලර් බිලියන 233යි. වියට්නාමයේ ඩොලර් බිලියන 137යි. මෙයින් කියැවෙන්නේ අධ්‍යාපනය අපේ රට ඉදිරියට ගෙන යාමේ ප්‍රධානතම මෙවලම බවයි.

මානව සම්පතට බෙදීම් නැහැ

අපේ රටට අධ්‍යාපනය සම්බන්ධයෙන් දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයත් එක්ක අවුරුදු 2000කට වඩා පැරණි සංවිධිත අධ්‍යාපනයක් තිබෙනවා. එනිසා අපට මුවහත් කරමින් ඉදිරියට ගෙන යා හැකි අධ්‍යාපනය ඓතිහාසික වශයෙනුත් අපට සම්බන්ධයි. දියුණු කළ හැකි, මුවහත් කළ හැකි අධ්‍යාපනයට අදාළ මානව සම්පතක් අපට තිබෙනවා. ඔබේ පාසලට පැමිණෙන දරුවා ලෝකයේ මහා දැනුමත් එක්ක සටන් කළ හැකි ආකාරයෙන් මුවහත් කළ හැකියි. ඈත ගම හෝ නගරය වැනි බෙදීමක් මේ මානව සම්පතට නැහැ. ඒ නිසයි අපි කියන්නේ අපේ ප්‍රමුඛතම කාර්යභාරය අධ්‍යාපනය කියලා. 
 
අද ලෝකය පාලනය කරන්නේ වැඩිම අවි බලය, මූල්‍ය බලය තිබෙන අය උනත් අනාගත ලෝකය පාලනය කරන්නේ වැඩිම තාක්ෂණික හිමිකාරිත්වය තියෙන අය යි. ඒ නිසා පැරණි විනාශකාරී මාර්ගයෙන් මිදෙන්න නම්, අධ්‍යාපනය නැවත නැවතත් මුල්තැන ලෙස ගෙන ජාතික ජන බලවේගය යටතේ ප්‍රමුඛතම රාජ්‍ය වගකීම ලෙස බාර ගන්නවා. ලෝකයේ තිබෙන අලුත් දැනුම ලංකාවට ගෙන එන එක රජයේ වගකීමක්.

පුද්ගලික අධ්‍යාපනය නියාමනය කරනවා

අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් සේ ගත යුතු බව සමහර අය කියනවා. අපි ඒකට එකඟ නැහැ, දැනුම වෙළඳ භාණ්ඩයක් නොවෙයි. අධ්‍යාපනය ලාභ උපයන මාධ්‍යයක් නොවෙයි. අපේ රටේ 68%කට හරිමහන් ආහාර වේලක් නැතිව තියෙද්දි සල්ලි දීලා අධ්‍යාපනය ගන්න කියන්න පුළුවන් ද? දරුවාට අධ්‍යාපනය ලබාගැනීමේ හැකියාව තිබෙන්නේ තාත්තාගේ ආර්ථික හැකියාව අනුව නම් එය කිසිසේත්ම යුක්තිසහගත සමාජයක් නොවෙයි. ජාතික ජන බලවේගය තව තවත් රාජ්‍ය අධ්‍යාපනය ශක්තිමත් කරමින් නිදහස් අධ්‍යාපනය රැක ගන්නවා. යම් කෙනෙකුට පෞද්ගලික අධ්‍යාපනය ලබාගත යුතු නම් රාජ්‍යය විසින් නියාමනය කරන ලද අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාව ලබාදෙනවා. විදේශවල තිබෙන නව දැනුම සපයා ගැනීමට කල්පනා කරනවා නම්, ඒ සඳහා ඉඩකඩ තිබිය යුතුයි. කුමන තත්වයක් යටතේ වුවත් අධ්‍යාපනයේ මූලික වගකීම රාජ්‍යය සතු විය යුත්තේ ඇයි කියන්න මූලික දත්ත කිහිපයක් ඉදිරිපත් කරන්නම්.

අධ්‍යාපනයට අවම මුදල වෙන්කරන රට ශ්‍රී ලංකාව

ඉතියෝපියාව දළ ජාතික නිෂ්පාදිතයෙන් 3.4%ක් අධ්‍යාපනයට වෙන්කරනවා. කෙන්යාවේ එය 4.6%යි. කිර්ගිස්තානයේ 6.21%යි. ශ්‍රී ලංකාවේ 1.2%යි. අපේ රටේ අධ්‍යාපනයට වෙන් කරන්නේ ඉතියෝපියාවටත් වඩා තුනෙන් පංගුවකටත් අඩුවෙනුයි. මේ කලාපයේ ඇෆ්ගනිස්ථානය දළ ජාතික නිෂ්පාදිතයෙන් 4.3% යි, පාකිස්ථානයේ 1.7% යි, ඉන්දියාව 4.9% යි. නේපාලය 3.6% යි. භූතානය 8.1% යි. බංග්ලාදේශය 2.1% යි. මාලදිවයින 7.6% යි. සාක් රටවල් අතරින් අධ්‍යාපනයට අවම මුදල වෙන්කරන රට ශ්‍රී ලංකාව බවට පත්වී තියෙනවා. 
 
අපේ ආර්ථික උපායමාර්ගය තවත් කරුණු මෙන්ම අධ්‍යාපනය මත පදනම් වෙනවා නම්, නුපුහුණු ශ්‍රමය වෙනුවට වෘත්තිමය රැකියාවක් සඳහා විදේශ අවස්ථා සොයාගත යුතුයි. අපි ලෝකයෙන් අත්පත් කරගෙන තිබෙන්නේ ඉතාමත් ප්‍රාථමික ශ්‍රමයක්. ලෝකයේ දියුණු ශ්‍රම වෙළඳපොළේ මෘදුකාංග ඉංජිනේරුවන් මිලියන විසිහයක් ඉන්නවා. 2030 වෙනකොට මෘදුකාංග ඉංජිනේරුවන් මිලියන හතළිස් පහක් අවශ්‍ය වෙනවා. මේ නව ඉල්ලුමක් ලැබෙන මිලියන විස්සෙන් අපට කොච්චර අත්පත් කර ගන්න පුළුවන් ද කියන දේ එක්කයි අපේ රට ඉස්සරහට යන්නේ. අධ්‍යාපනයට වැය කරන මුදල ක්‍රමානුකූලව වැඩි කරමින් වසර කිහිපයක් තුළ දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.6% ඉක්මවන වැඩපිළිවෙලක් අපි සකස් කර තිබෙනවා. අපි ඉදිරිපත් කරන පළමු අයවැය ලේඛනයෙන්ම මෙතෙක් අධ්‍යාපනයට වෙන්කරන ලද වැඩිම ප්‍රමාණය වෙන්කරනවා.

ගුරුවර ගුරුවරියන්ගේ වගකීම

ඒ වගේම අධ්‍යාපනයේ විශාල ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි. අධ්‍යාපනයේ අලුත් පියවරක් ගන්න නම්, ප්‍රාථමික අධ්‍යාපනයේ සිට පූර්ණකාලීන පශ්චාත් උපාධි ආයතන දක්වා පුළුල් අවකාශයක් සලසනවා. ප්‍රාථමික උපාධියේ සිට තව තල ගණනාවකට ගුණාත්මක උපාධියක් ලබාදීමේ පියවර ජාතික ජන බලවේගය සැලසුම් කර තිබෙනවා. එහි විශාලතම කාර්යභාරය පැවරී තිබෙන්නේ ගුරුවර ගුරුවරියන් වන ඔබ සැමට. ඔබ ඉදිරියට එන සිසු දරුවා සමාජයට වැඩදායී කෙනෙක් බවට පත්කරනවාද, කියන වගකීම තිබෙන්නේ ඔබේ අතේ. මගේ පාසල් අධ්‍යාපනයෙ දි ඉතාම සමීපව ආදරය, සෙනෙහස දුන් ගුරුවරු නොවෙන්න මම අද මෙතන නැහැ. ඒ බව හොඳින් මතක තබා ගන්න. අදත් අප ගැන සතුටු වෙන ඒ ගැන සුබ පතන මගේ දෙකේ පන්තියේ ටීචර් ඉන්නවා. අපි හැදුණේ අධ්‍යාපනය සඳහා යෝග්‍ය පරිසරයක නොවෙයි. අපි ඉපදුණේ ඉතාමත් සීමාසහිත හැකියාවක් සහිත පරිසරයක. අපිව එයින් ගලවා ඔසවා තැබුවෙ අපේ ගුරු පරම්පරාව. 
 
අද රට ගිලී තිබෙන ග්‍රාමීය දුප්පත්භාවය විශාල ඛේදවාචකයක්. අද තිබෙන්නේ සතුට නැති, කලහකාරී ග්‍රාමීය ජීවිතයක්. මේ ව්‍යසනයට ගොදුරු උන දරුවා එතනින් ඉදිරියට ගෙන එන්නේ කොහොමද? ඒ සඳහා තියෙන එකම මාර්ගය ඔබ අතේ තියෙන අධ්‍යාපනය විතරයි. ගුරු මාතාව, ගුරු පියාණන් වශයෙන් ගෞරව ආමන්ත්‍රණය ලබන එකම වෘත්තිය ගුරු වෘත්තිය විතරයි. එනිසා තමයි ඇය මව් වෙන්නේ. ඔහු පියාණන් බවට පත්වෙන්නේ. දරුවෙක් ඉහළින් සමත් උණාම සතුටු වෙනවා වගේම අසමත් වුණාම කොතරම් දුක් වෙනවා ද? වෘත්තියෙන් මනින්න බැරි, වැටුපෙන් මනින්න බැරි සෙනෙහසක් තිබෙනවා. ආදරය මිශ්‍ර බැඳීමක් තිබෙනවා.
 
 ඒ ගුරුවරුන්ට කඳුළු ගෑස් එල්ල කරන්න, පහර දෙන්න බැටන් පොලු මෙහෙයවන ආණ්ඩු මොන වගේ ආණ්ඩු ද, අනික් ගොඩක් වෘත්තීන් කල්පනා කරන්නෙ දරුවන්ව තමන්ට වඩා යටින් තියන්න. ගුරු වෘත්තියේ දි කල්පනා කරන්නේ දරුවන් තමන්ට වඩා ගෞරවයක් තිබෙන වෘත්තියක තියන්න. ගුරුවරු කියන්නෙ ඒ වෙනුවෙන් නිර්ලෝභීව මැදිහත් වෙන පිරිසක්.

අනාගතයේ දී ගුරු සභාවක්

දරුවන් මෙහෙයවීමෙ නියමු කාර්යභාරය තිබෙන්නේ ගෞරවණීය ගුරු වෘත්තිය තුළයි. ගුරුවර ගුරුවරියන් හටත් අනාගත බලාපොරොත්තු තියෙනවා. ලයිට් බිල් ගෙවන්න, වතුර බිල් ගෙවන්න, ඇඳුම පැලඳුම් ගන්න වගේ දෛනික  වියදම් රැසකුත් තියෙනවා. අපේ මූලික ප්‍රතිපත්තිය මේ රටේත් මුල් පෙළේ වෘත්තීන්ගෙන් එකක බවට ගුරු වෘත්තිය පත් කිරීමයි. නීති රීති, චක්‍රලේඛ හදලා තියෙන්නෙ ම හොරෙක් අල්ලන්න වගේ ගුරුවරයා දිහා බලන්නයි. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ගුරුවරුන් කෙරෙහි පනවා තිබෙන ‘චෙක් කිරීමේ සංස්කෘතිය’ වෙනුවට ‘අවංකව රට ගොඩනැගීමේ කොටස්කරුවන්ගේ සංස්කෘතියක්’ බවට පරිවර්තනය කරනවා. ඔබට පැවරී තිබෙන ප්‍රධාන වගකීම දරුවාගේ දැනුම වර්ධනය කිරීම උනත් කොතරම් බාහිර බර පටවලා තියෙනවා ද? අපි ක්‍රමානුකූලව ඒ අමතර බර අයින් කරනවා. අධ්‍යාපනයේ නියැළෙන සියලු ම ක්ෂේත්‍ර නියෝජනය වන පරිදි අපි ගුරු සභාවක් නිර්මාණය කරනවා. 
 
අධ්‍යාපනයේ ප්‍රමිතිය, මාවත, තීරණය කිරීම එයට පවරනවා. ඒ වගේම මේ යුගයේ විශේෂයෙන් සඳහන් කරන්න ඕනෑ, කිසිදු පාසලක් හෝ පාසල් දරුවන් දේශපාලන පක්ෂයක අවශ්‍යතා වෙනුවෙන් උපයෝගී කර ගන්න ඉඩ තබන්නේ නැහැ. වරාය, ලං.ග.ම., ඛනිජ තෙල්, දුම්රිය මේ හැම එකකම දේශපාලනය පටවා තිබීමේ තත්වයෙන් පාසලවත් වෙන් කරන්න ඕනෑ නැද්ද? 
 
අපේ දැඩි ස්ථාවරය පාසලත් පාසල් දරුවනුත් දේශපාලන මධ්‍යස්ථානය නොකර ගන්නයි. ගුරුවරු මාරු කිරීම, උසස් කිරීම ඇතුළු කටයුතු දේශපාලනයෙන් ඉවත් කරනවා. මැති ඇමතිවරුන් සමග එකට හිටගත හැකි සම වගකීම් සහිත තත්වයට ලංකාවේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා. මන්ත්‍රීලා, ඇමතිලා ඔය සඳලුතලවලින් බිමට බස්සන්න ඕනෑ. පුම්බාගත්, ආරූඪකර ගත් පුරවැසියාට වඩා ඉහළින් ඉන්නවාය කියන ජීවිත පුරවැසියාට සමාන තත්වයට පත්කරනවා. 
 
ඒ සියල්ල වෙනුවෙන් මේ සැප්තැම්බර් 21දා ජයග්‍රහණය කරවීම වෙනුවෙන් ක්‍රියාකාරීව මැදිහත් විය හැකි සමූහයන් අතර, ප්‍රධානම වී තිබෙන්නේ ගුරුවරුන්. පුනරුද යුගයක් බිහි කිරීමේ මූලික ජයග්‍රහණය වෙනුවෙන් වෙහෙස නොබලා වැඩකරමු කියා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.''




අද ප්‍රතිගාමී බලවේග ඔක්කොම බයවෙලා  - කේ. ඩි. ලාල්කාන්ත


WhatsApp Image 2024 08 03 at 08.05.36‘පුනරුද යුගයට’ අත්තිවාරම සලසා දෙන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. - කේ. ඩි. ලාල්කාන්ත

ගෝඨාභය රාජපක්‍ෂව ගෙදර යැවීමේ අරගලය ආරම්භ කළ කට්ටි තමයි අපේ රටේ ගුරුවරු. ගෝඨාභයගේ පාලනයට එරෙහිව ගුරුවර, ගුරුවරියෝ, විදුහල්පතිවරු ආරම්භ සටන කළ බව පහුගිය කාලයේ දේශපාලන විචාරකයෝ ලියලා තිබුණා. ඒ වගේ ම අවුරුදු හැත්තෑහයක දුෂ්ට පාලනය අවසන් කිරීමේ ප්‍රමුඛතම කාර්යභාරය ඉෂ්ට කරන්නේත් ගුරුවරු සහ ගුරුවරියන් කියන එක අපට විශ්වාසයි. අද මේ සමුළුවට ඇවිත් ඔබ මේ රටේ දේශපාලනඥයන් ගොඩක් දෙනකුව  බය කරා. ඉස්සෙල්ලාම බය වුණේ සජිත් ප්‍රේමදාස. ඊළඟට රනිල්ව බය කරා. ප්‍රගතිශීලී බලවේග සියලු දෙනාම අද සතුටට පත් වෙනවා. සැප්තැම්බර් 21 ජයග්‍රහණය ඔබෙන් සහතික කරා.

මෙච්චර කලක් ජයග්‍රහණය නොකරපු ප්‍රගතිශීලීන්ගේ සහ පීඩිතයන්ගේ ජයග්‍රහණය තහවුරු කරේ මේ ගුරු සමුළුවෙන් බව සහතිකයි. ගුරු වැටුප් සහ වෙනත් ප්‍රශ්න සම්බන්ධයෙන් පසුගිය කාලයේ අපි අරගල ගොඩක් කරා. මීට කලින් අපට මැතිවරණය නමැති සටන් භූමියට එන්න ඊනියා ප්‍රභූවරුන් ඉඩ දුන්නේ නැහැ. සමහර වාමාංශික බලවේගවලට පොඩි පොඩි දේවල් දීලා මෙල්ල කර ගත්තා. මෙල්ල කර ගන්න බැරි වුණු නායකයන් ඝාතනය කරා.  

අද මේ සමුළුව පවත්වන්නේ ලංකාවේ පළමුවැනි වතාවට මැතිවරණ සටන් භූමියට පීඩිත සහ ප්‍රගතිශීලී බලවේග එක්ක ‘මාලිමාව’ ඇතුළු වෙලා ඒ සටන් භූමියේ කොඩිය ඔසවලා ජයකෙහෙළි නංවමින් ඉන්න වෙලාවක. මැතිවරණ සටන් භූමිය වෙනුවෙන් තමන්ගේ ගමේ තිබෙන සංවිධානවලට සම්බන්ධ වෙලා ඡන්ද පෙට්ටියේ තුනෙන් දෙකක් මාලිමාවෙන් පුරවන්න. ඒ ඡන්ද භූමියෙදි ඉදිරියෙන් ම ජයග්‍රහණය කර ‘පුනරුද යුගයට’ අත්තිවාරම සලසා දෙන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.
 
ලිපේ ගිනි ඇවිළෙනවට වඩා හදවතේ ගිනි ඇවිළෙනවා - විශාකා අබේරත්න


WhatsApp Image 2024 08 03 at 08.06.02නව පුනරුදයක් වෙනුවෙන් තවත් ධෛර්යයෙන් රොද බඳිමු - විශාකා අබේරත්න

අද සමාජය පත්වී තිබෙන තත්ත්වය පිළිබඳව පොදුවේ අප කාටත් අවබෝධයක් තියෙනවා. ගුරු වෘත්තිය තුළ බහුතර පිරිසක් ඉන්නේ ආදරණීය ගුරු සහෝදරියෝ. ඔවුන් මේ රටේ ජීවත් වන මව්වරු. ගුරුවරුන් ලෙසත් මව්වරුන් ලෙසත් රටේ තිබෙන ප්‍රශ්නය අපට වැඩියෙන් දැනෙනවා. අපි ඒ ප්‍රශ්න ගැන වැඩිපුර සංවේදියි. කුස්සියෙදි ලිපේ ගිනි ඇවිළෙනවට වඩා හදවතේ ගිනි ඇවිළෙන බව අපි දන්නවා. ඇස් දෙකෙන් කඳුළු නොහෙළා පාසලට ගියාම දෙවන මවක් ලෙස ඉටුකළ යුතු තවත් භූමිකාවක් තිබෙනවා.

පංති කාමරයේදී අපි දකින්නේ දුක කියා ගන්නවත් බැරිව සිටින දරුවන්. සමාජ මාධ්‍යවල පසුගිය කාලයේ මේ දරුවන්ගේ කෑම වේල් පිළිබඳව තොරතුරු හෙළිකර තිබුණා. දරුවන් දෙතුන් දෙනෙක් ඉන්න පවුලක අධ්‍යාපනය ලබා දෙන්නේ කුමන දරුවාට ද යන ප්‍රශ්නය මතුවී තිබෙනවා. පාසල් යා යුතු වයසේ දරුවන් 40%කට පාසල් යන්න බැරි වෙලා තියෙනවා. වෙනත් කෙනෙකුගෙන් ඉල්ලා ගෙන ඇඳුම් අඳින 20%ක් ඉන්නවා. කොළඹ විතරක් නොවෙයි, ඈත එපිට ප්‍රදේශවලදී පවා මේ පීඩා විඳින ගුරුවරියන් තමන්ගේ දරුවාට මවක් වෙනවාට වඩා පාසලේදී ඒ දරුවන්ට මවක් වෙනවා. රටේ දරුවන්ගේ අනාගතය ගොඩනැගිය යුතු බවට ඒකායන බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ බලාපොරොත්තුව පොදි බැඳගෙන මෙතනට පැමිණ නව පුනරුදයක් වෙනුවෙන් තවත් ධෛර්යයෙන් රොද බඳිමු කියා ඉල්ලා සිටිනවා.

මේක සියලු ගුරුවරුන් නියෝජනය කරන ජාතික මහා සමුළුවක් - මහින්ද ජයසිංහ


WhatsApp Image 2024 08 03 at 08.05.37පාසල් මට්ටමින් පාසල් සභා ගොඩනගා පුනරුද යුගයට ආරම්භය දෙමු - මහින්ද ජයසිංහ

ගුරුවරයා පීඩාවට පත්කරල නැත්තේ කොතන ද? පසුගිය කාලය පුරාම මුළු ජනතාව වගේ ම ගුරුවරයාත් පීඩාවට පත්කිරීමට එරෙහිව එක රෑනකට එකතු වෙලා අරගල කරමින් එනවා. ඒ සමගිය බිඳ වට්ටන්න වත්මන් ආණ්ඩුවත් විපක්ෂයත් විවිධ කුමන්ත්‍රණ දියත් කරා. ඒ සියලු කුමන්ත්‍රණ පරාජය කරල ඇති බව තමයි මේ මහා ජාතික සමුළුවෙන් තහවුරු වී තියෙන්නේ. විදුහල්පතිවරුන්ගේ, ගුරුවරුන්ගේ එකම හිස් ගොඩක් බවට මේ පිටිය පරිවර්තනය වී තිබෙන්නේ ඒ ජයග්‍රාහී පණිවිඩය නිසා. මේ මහා ජාතික සමුළුව පවත්වන්නේ සකල විධ පීඩාවන්ගෙන් එළියට එන්න මාර්ගයක් සොයමින් ඉන්න ගුරු පරපුරට නිවැරදි මග කියන්නයි.

ලංකා ගුරු සේවා සංගමයේ ජාතික සමුළුව ලෙස මෙය පැවැත්වූවත් මෙය සියලු ගුරුවරුන් නියෝජනය කරන ජාතික මහා සමුළුවක්. පාලකයන් ඉදිරියේ දණින් නොවැටී, පාලකයන් ඉදිරියේ අතරමැද සමාදානවලින් තොරව, පාලකයන් දෙන දෙයක් අරගෙන නිහඬ වෙනවා වෙනුවට අභියෝග කරමින් පසුගිය කාලය පුරාම අපේ අරමුණු කරා පැමිණ තියෙනවා. ඉතිහාසය පුරා වෘත්තිය අරගල කරත් අපි කාටත් රට හමුවේ යෝධ වගකීමක් පැවරී තිබෙනවා.

ලෝකයේ හයවැනි තැනට මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සිටින රටක වෘත්තිය අරගලවලට පමණක් සටන් සීමා කරන්න අපට අයිතියක් නැහැ. හැම පැත්තකින්ම බිඳ වට්ටවා තිබෙන රටක අධ්‍යාපනය පමණක් වෙන්කර ගන්න බැහැ. රට සමස්තයක් ලෙස ගොඩනැගීමේ එක පංගුවක් අධ්‍යාපනයට පැවරී තිබෙනවා. අපේ රටේ සමස්ත ගුරු බළ ඇණිය සාධාරණ වැටුපක් ඉල්ලා වීදි පුරා සටන් කළ යුගය අවසන් කර, ගෞරවණීය ගුරු සේවයක් තහවුරු කර ගැනීම වෙනුවෙන් සියලු දෙනාම පෙළගැසෙමු; පාසල් මට්ටමින් පාසල් සභා ගොඩනගා පුනරුද යුගයට ආරම්භය ලබාදෙන සැප්තැම්බර් විසි එක්වෙනිදා ජයග්‍රහණය වෙනුවෙන් අපි සියලු දෙනාම කැපවෙමු.

teachers campaing

worky sin

නවතම පුවත්