වීසාවලින් ඩොලර් බිලියන 1.2ක් වංචා කළ අයට එරෙහිව අධිකරණය තීන්දුවක් ගැනීමට සමත් වු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් තොරව VFS ආයතනයට රටේ වීසා නිකුත් කිරීම ලබා දීම හේතුවෙන් ඩොලර් බිලියන 1.2ක් පාඩු වූ බවත්, මේ හොර මගඩිය හෙළිදරව් කළේ තමා බවත්, මේ හොර මගඩිය පිළිබඳ රවුෆ් හකීම්, සුමන්තිරන්, චම්පික රණවක, රංජිත් මද්දුම බණ්ඩාර, අශෝක් අබේසිංහ, සමගි ජන බලවේගයේ නීතිඥ කණ්ඩායම එකට එකතු වී මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීම හේතුවෙන් මේ මගඩිය තහනම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් ලබා දුන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
විපක්ෂ නායකවරයා මෙලෙස පැවසුවේ ගම්පහ පැවැති දසවැනි දිවිදෙන රණවිරු බලවේගයේ සමුළුව අමතමිනි.
සමගි ජන බලවේගය විපක්ෂයේ සිටම හොරු ඇල්ලු දෙවැනි අවස්ථාව මෙය බවත්, කයිය නායකයෝ මේ ගැන කතා නොකළ ද සමගි ජන බලවේගය ඒ වෙනුවෙන් පෙනී සිටි බවත්, ෆයිල් පෙන්වමින් කයිය ගහන කයිය නායකයෝ මෙහි දී කට පියාගෙන සිටි බවත්, මේ බොරුකාරයන්ට නොරැවටෙන ලෙසත්, සමගි ජන බලවේගය ළග බොරු වැඩ නොමැති බවත් ක්‍රියාවෙන් වැඩ පෙන්වන බවත් VFS ගනුදෙනු නිසා රටට අහිමි වූ මුදල්වලින් පාසල් සංවර්ධනය කරන්න හැකි බවත් විපක්ෂ නායකවරයා මෙහි දී වැඩි දුරටත් පැවසී ය.
එම උත්සවයේ දී විපක්ෂ නායකවරයා මෙසේද සඳහන් කළේය.
මානුෂීය මෙහෙයුමේ දෙවන පියවර
මානුෂීය මෙහෙයුමක් හරහා මෙරට ත්රස්තවාදීන්ගෙන් මුදවා ගත්තත් මේ වන විට රට මූල්‍ය ත්රස්තවාදීන්ගේ ග්‍රහණයට ලක්වෙලා. බංකොලොත් රටේ පාලකයෝ ජනතා දේපළ භාවිතා කරන්නෙ තමන්ගේ පෞද්ගලික දේපළ වගේ. හොරකම මැරකම දූෂණය නිසා රට මූල්‍ය ත්රස්තවාදීන්ගේ ග්‍රහණයට ලක්වෙලා. අපි මානුෂීය මෙහෙයුමේ දෙවැනි පියවර ආරම්භ කරලා, මූල්‍ය ත්රස්තවාදීන් නීතිය හමුවට ගෙනල්ලා, ඔවුන් සොරා කැ මුදල් නැවත රටට ලබා ගන්න ඕන.
මේ දෙවැනි මානුෂීය මෙහෙයුමෙන් පවුල් වාදී හොර පවුල්වල අය නීතිය හමුවට ගෙනල්ලා යුක්තිය සාධාරණත්වය ඉටු කරලා රටෙන් සොරා කෑ සම්පත් නැවත ලබා ගත යුතුයි. ඒ ඉලක්කය කරා යාමට අපිට ඔබගේ සහාය අවශ්‍ය යි. ඊට අදාළ පදනම අපි මේ වන විටත් තබාලා ඉවරයි.
අපි ළඟ දඩයම් දේශපාලනයක් නෑ
සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානයේ නීතිඥයෝ සහ විශේෂඥයන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් විනිසුරුවන් 1/4ක තීන්දුවක් ලබා ගෙන ගෝඨාභය, මහින්ද, බැසිල් ප්රමුඛ පිරිස රට බංකොලොත් කරපු බවට තීන්දුවත් ගත්තා. එතන දි මූලික අයිතිවාසිකම් කඩ කරපු බවට තහවුරු උණා. මේ වෙද්දි පවතින්නේ රටේ මූලික අයිතිවාසිකම් තීන්දු පවා අවලංගු තීන්දු ලෙස සලකන රාජ්‍ය පාලනයක්.
මොවුන් මෙවැනි ප්‍රකාශ කරන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලා උනත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු විවේචනය කරන සියලු දෙනාම ඒ තීන්දුවට අදාළ වරදේ හවුල්කාරයෝ. සමගි ජන බලවේගය දේශපාලන දඩයම් කරන්නෙ නෑ. අපි ළඟ දඩයම් දේශපාලනයක් නෑ. අපි නීතිය උත්තරීතර කරලා නීතිය නිවැරදිව ක්‍රියාත්මක කරනවා.
ආරක්ෂක අංශ ස්වාධීන කළ යුතුයි
අද ආරක්ෂක අංශ පවා දේශපාලනඥයන්ගේ ග්‍රහණයට ලක්වෙලා. ඒක මැර දේශපාලනයේ කොටසක් නිසා ඒ සංස්කෘතිය වෙනස් කළ යුතුයි. කුඩු ජාවාරම, මත්ද්‍රව්‍ය ජාවාරම් වගේ ම මිනිමැරුම්, දූෂණ, වංචා සොයා ගැනීම සඳහා නව තාක්ෂණය යොදා ගත යුතුයි. මේ සදහා අප රටේ පවතින්නේ ප්රමාදකාරී ක්‍රමවේදයක්. ඒ නිසා එමගින් යුත්තිය හා සාධාරණත්වය ඉටු නොවීමේ ගැටලුව අපි වහාම විසඳනවා.
(ජයසිරි අලවත්ත)