theleaderlk 01

යුද පීඩිත වන්නියේ දෙමළ ධීවරයන්ගේ ජීවනෝපායට මරු පහරක් එල්ල කරමින් වැලි ගොඩ දැමීම සදහා අක්කර සිය ගණනක වෙරළ තීරයක්

අත්පත්කර ගැනීම සඳහා පැමිණි රාජ්‍ය නිලධාරීන් සමූහයක් ප්‍රදේශවාසීන් කිහිප දෙනකු සමග එකතුව පසු බස්වන්නට වන්නියේ ප්‍රාදේශිය දෙමළ ජනතා නියෝජිතයෙක් සමත්ව තිබේ. 

මුලතිව් දිස්ත්‍රික්කයේ මුහුදුබඩපත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වෙරළ තීරයක් ඛනිජ වැලි ගොඩදැමීම සඳහා පරීක්ෂණ කටයුතු සිදු කිරීමට ජුලි 31 වැනිදා රාජ්‍ය ආයතන කිහිපයකම නිලධාරීන් අලම්පිල් වෙරළ තීරයට පැමිණි බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ. 

එම පිරිසගේ උත්සාහය නවතාලීමට සමත් වු උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන්ට අනුව, නිලධාරීන් පැමිණ ඇත්තේ ප්‍රදේශයේ  කිසිදු ධීවරයකුට සිය රැකියාව කර ගැනීමට නොහැකි වන පරිදි,  වෙරලේ අක්කර 750කට ආසන්න භූමියක වැලි ගොඩ දැමීම වෙනුවෙන් සැලසුම් සකස් කිරීමටයි.  

"ඔවුන් පැමිණියේ අලම්පිල් සිට තීර්ථකරෙයි දක්වා ඛනිජ වැලි ගොඩදැමීම සඳහා පර්යේෂණ කටයුතු වලට. වෙරළේ සිට මීටර් 300ක දුරක් දක්වා වැලි ගොඩ දැමීම ඔවුන්ගේ සැලසුමයි." 

එම ඉඩම් මහජනයා සතු බැවින් රජයේ නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් කිසිදු තීන්දුවක් ගත නොහැකි බව දිස්ත්‍රික් ලේකම්ගේ අවසරයෙන් තමන් පැමිණි බව පවසන නිලධාරියකුට හිටපු පළාත් සභිකයා අවධාරණය කරනු වීඩියෝ ගතව තිබේ. 

“අපි බලන්නයි ආවේ,” යි එම නිලධාරියා ප්‍රකාශ කළ විට, “අපේ ඉඩම් බලන්නවත් ඕනේ නෑ,” යි රවිහරන් සමග ප්‍රදේශවාසීන්ද එක හඬින් කියනු ඇසේ. 

“අපිට එන්න බැරිදැ,” යි තවත් නිලධාරියකු ඇසූ කල “මම ජනතා නියෝජිතයකු ලෙස කියන්නේ බෑ කියලයි,” යනුවෙන් ලැබුණු පිළිතුරෙන් අනතුරුව ඔවුන් පසුබසිනු දැකගත හැකිය. 

සිංහලෙන් කරුණු දක්වන්නට ගිය එක නිලධාරියකුගෙන් උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේ දෙමළෙන් කතා කරන ලෙසයි. 

“දෙමළ බැරිනම්, බාසාව දන්නා අය එක්කරගෙන එන්න,” යි තුරෙයිරාසා රවිහරන් කියා සිටියේය. 

 

උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දෙන පරිදි පළාත් සභාව ක්‍රියාත්මක වූ කාලය තුළ පුද්ගලයන් 16 දෙනකුට අයත්  අක්කර 44 ක භුමියක ඛනිජ වැලි ගොඩ දැමීමේ කටයුතු නතර කර ගැනීමට හැකිවු නමුත් පළාත් සභාවේ කාලය අවසන් වීමත් සමග ඔවුන් එම භුමියේ වැලි ගොඩ දැමීම ආරම්භ කර තිබේ. 

 

"පළාත් සභාව තිබුන කාලය තුළ අපි කෝකිලායි ප්‍රදේශයේ අක්කර 44 ක ඉඩමක් ආරක්ෂා කළා. නමුත් පළාත් සභා කාලය අවසන් වූ පසු වැලි ගොඩ දැමීම සිදු වන්නේ වැට ගැසීමෙන් පසුවයි. 16 දෙනකුට අයත් පෞද්ගලික ඉඩම් ඒ තුළ තිබෙනවා. ඒ මිනිස්සු දැන් ඉඩම් නැති මිනිස්සු." 

එම ඉඩම් අහිමි වු ජනයා 2022 වසරේ පෙබරවාරි 12 වැනිදා කෝකිලායි රජයේ දෙමළ මිශ්‍ර පාසල ඉදිරිපිටින් විරෝධතා පෙළපාලියක්  ආරම්භ කර ඒ  වන විටත් ඉඩම් අක්කර 44 ක් අත්පත් කර ගනිමින් ආණ්ඩුව  ඛනිජ වැලි ගොඩ ගසා තිබෙන මෝය කට දක්වා පැමිණ එහිදී  විරෝධතාවය දියත් කළේය. 

"කර්මාන්ත අමාත්‍යාංශය. ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ්. කෝකිලායි " යනුවෙන් සදහන් පුවරුවක් එම ස්ථානයට පිටු පසින් සවිකර තිබෙන අයුරු එදින මාධ්‍යවේදීන් සිය  කැමරා කාචයට හසුකරගෙන තිබුනි. 

ධීවරයන් වෙරළෙන් ඉවත් කිරීම ආණ්ඩුවේ සහ රජයේ අරමුණ වී ඇති  බවට චෝදනා කරන  උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී රවිහරන් පෙන්වා දෙන්නේ රාජ්‍ය නිලධාරීන් මෙම කටයුතු සිදු කරන්නේ අවම වශයෙන්  ප්‍රදේශයේ ජනතාව සමග කිසිදු සාකච්ඡාවක් හෝ පැවැත්වීමකින් තොරව බවයි. 

"කොකිලායි සිට අලම්පිල් දක්වාත්, අලම්පිල් සිට තීර්ථකරෙයි දක්වාත් වැලි ගොඩදැමීම මෙහි අරමුණයි. මෙහෙම වුණොත් මේ ජනතාව කොහේ යන්නද? ආණ්ඩුවේ සහ රජය යටතේ ඇති දෙපාර්තමේන්තුවල ක්‍රියාකාරකම්වල අරමුණ වන්නේ ජනතාව වෙරළෙන් ඉවත් කිරීමයි. මේ අය එතනට කැඳවා නියෝජිතයන් හෝ සංගම් නායකයන් සියලු දෙනා කැඳවා තීරණය කළ යුතුව තිබුනා. දිසාපතිතුමා සහ ප්‍රාදේශිය ලේකම් සමඟ සාකච්ඡා කරලා ඔවුන්ම තීරණය ගන්නවා." 

 

රජයේ දෙපාර්තමේන්තු නිලධාරීන් වන්නි ධීවරයන්ගේ රැකියාව අහිමි කිරීමට ක්‍රියා කළහොත් දහස් සංඛ්‍යාත ජනතාවක් ඒකරාශි කරමින් එයට එරෙහිව විරෝධතා දියත් කරන බවට උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන් එහිදී අනතුරු අඟවා තිබේ.

 

"මිනිස්සු මුහුදු වෙරළේ රැකියා කරනවා. ඔවුන්ගේ රැකියා නතර කිරීම අරමුණයි. මේ දෙපාර්තමේන්තු අපේ ජීවනෝපායට අත තිබ්බොත් අපි ඒකට ඉඩ තියන්නේ නැ. දස දහස් ගණන් ජනතාව ඒකරාශී වී උද්ඝෝෂණය කරන්න වෙනවා." 

එම ස්ථානයට පැමිණ සිටි වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව, ලංකා ඛනිජ වැලි සමාගම, වනජීවි දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, වේළි ආරක්ෂණ හා ජල සම්පත් සැලසුම්කරණ ව්‍යාපෘතිය (DSWRPP), භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය, මුහුදුබඩ පත්තු ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ඉඩම් නිලධාරි සහ ග්‍රාම නිලධාරි එල්ල වු විරෝධය හමුවේ එම ස්ථානයෙන් පිටව ගිය බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති. 

වැලි හැරීම සඳහා ඉඩම් බලන්නට ගිය නිලධාරී පිරිස පිටව යාමට පෙර වෙරල තීරයේ ඡායාරුප ගන්න ආකාරයද වීඩියෝ ගතව තිබේ. 


wanni 34

wanni 35

  

 

pe2024 2

worky sin

නවතම පුවත්