පොලීසිය යම් පුද්ගලයකුගෙන් ප්‍රශ්න කරන විට “ගොළුවෙක් වගේ ඉන්නේ නැතිව කතා කරපං.” යැයි පවසන බවත්, එහි ගැබ්ව තිබෙන්නේ
කතා නොකිරීම පිළිබඳ ප්‍රශ්නයක් නොවන බවත්, එය අපහාසයට සහ තර්ජනයට ලක්කිරීමක් බවත්. තවත් විටෙක “බීරෙක් වගේ ඉන්න එපා” යැයි පවසන බවත්, එලෙස පවසන්නේ ද අනෙකාට රිදවීමට බවත්, අනෙකාට අපහාස කිරීම සදහා තව කෙනෙකුගේ විවිධ අංග උපයෝගී කර ගන්නා බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසී ය.
ඔහු මෙලෙස පවසා සිටියේ ඊයේ (03) කොළඹ පදනම් ආයතනයේ පැවති ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ ජාතික ජන බලවේගයේ ජාතික ප්‍රතිපත්තිය සහ වැඩපිළිවෙළ එළිදැක්වූ අවස්ථාවේ දී ය.
අපි කිසිවකු පස්මහ බැලුම් බලා ඉපදුණු අය නොවන බවත්, ඇතැම් ලක්ෂණ විසින් සමහර අසම්පූර්ණතා තිබෙන බවත්, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක මුඛ්‍ය පරමාර්ථය එබදු පුද්ගලයන් සහ අනෙක් පුද්ගලයන් වෙනුවෙන් ද සමානාත්මතා අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම බව ද අනුර කුමාර දිසානායක එහිදී පැවසී ය.
ඒ අවස්ථාවේ දී අනුර කුමාර දිසානායක සහ පක්ෂයේ තවත් අය පළ කළ අදහස් මතු දැක්වේ.
අපේ ප්‍රමාදයට සමාවෙන්න
විවිධ ක්ෂේත්‍රවල ආබාධයන්ට ලක්වූවන් තමන්ට බලපා ඇති තත්වයන් විවිධ ආකාරයෙන් අපට ඉදිරිපත් කළා. ඒ වගේම තමන්ගේ කුසලතාවන් හා හැකියාවන් මේ වේදිකාව තුළ ඉදිරිපත් කළා. ඒ සියලු දේ දකින කොට නිතැතින්ම සිහිවන්නේ අප කොතරම් අකාරුණික සමාජයක, කොතරම් අයුක්තිසහගත වටපිටාවක ජීවත් වෙනවාද කියන එකයි. මම එක සහතිකයක් දෙන්නම්. ඔබ අප කෙරෙහි තබන විශ්වාසය අබමල් රොණකින්වත් හානිවීමට ඉඩ තබන්නේ නැහැ. අපේ රට විශාල කඩා වැටීමකට මුහුණ දීමෙන් වැඩිම වින්දිතයන් බවට පත්වී සිටින්නේ ඔබ සියලුදෙනායි. මේ වේදිකාවේදි කියැවුණේ රට මේ තරම් කඩා වැටී තිබුණත් ඒ සම්බන්ධ කිසිදු චෝදනාවක් මෙතනට රැස්වී සිටින ඔබ සැමට නැති බවයි.
ඇස් පෙනෙන, කන් ඇසෙන, නිවැරදිව චලනයන් තිබෙන පිරිසක් තමයි දීර්ඝ කාලයක් අපේ රට පාලනය කළේ. එහි අනිටු පලවිපාක සමස්ත සමාජයම වෙළාගෙන තිබෙනවා. ඔබ දෙස බලනකොට, ඔබගේ කතාවලට සවන් දෙනකොට, ඔබගේ හැකියාවන් ප්‍රදර්ශනය වෙනකොට අපට හිතෙන්නේ අප මෙච්චර ප්‍රමාද වුණේ ඇයි කියලා. මේ අඳුරුභාවය අතීතයට බාරදීලා සුබ උදෑසනක් අපේ රටට නිර්මාණය කළ හැකියි කියන දැඩි විශ්වාසය අපට තිබෙනවා.
එක්සත් ජාතීන් සම්මත කර ගත් යෝජනාව
අපිත් එක්ක විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්ත සොයුරන්, ඇසුරු කළ කණ්ඩායම් මෙතන ඉන්නවා. වරින්වර මුණ ගැසී තිබෙනවා. හමු වූ ඒ අවස්ථාවලට වඩා අද අපි හැමකෙනාගේ ම ඇස් විවර වුණා කියලා හිතෙනවා. අපි හැමදෙනා වෙනුවෙන් ම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටුවා ගනිමු කියා ආරාධනා කරනවා.
අප හමුවට එන ගැටලු දරාගැනීමට දේව කැමැත්ත හෝ කර්මය කියලා හිත හදා ගත්තා. ලෝකය ඉදිරියට එමින් කාර්මික විප්ලවය සිදුවීමේදී ඒ කාර්මික විප්ලවයට උකහා ගත නොහැකි පිරිස, ආබාධිතයන් ලෙස නම් කළා. ඒ අය හුදකලා භාවයට ලක් කළා. නමුත් සමාජයේ තවත් අදියරකදී ඔවුන්ව බලාගැනීම කාරුණික හැඟීමක් හෝ පුණ්‍ය කටයුත්තක් ලෙස අනෙකා කෙරෙහි මෛත්‍රීය පෙන්වීමක් වැනි හැඟීමකට ලක්කර සුබසාධනයන් සැපයූවා. නමුත් එක්සත් ජාතීන් සම්මත කර ගත් යෝජනා අනුව එම ජනතාවගේ අයිතීන් ලෙස මූලික කරුණු හඳුන්වාදී දිගු පියවරක් තැබුවා. සමහර රාජ්‍යයන් සමානත්වයෙන් මේ ප්‍රජාවට අයිතිවාසිකම් ලබාදී තිබෙනවා.
ප්‍රතිපත්ති ප්‍රකාශනය යනු කුමක් ද...?
ඡන්දයකදී ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශන සම්බන්ධයෙන් විවිධ අර්ථකථන තිබෙනවා. ඡන්ද කාලයේ කියන ප්‍රතිපත්ති ප්‍රකාශන බරපතළ ලෙස ගන්න එපා කියලා රූපවාහිනී සංවාදයක දි පාලකයන් කිවූ ආකාරය අපට මතකයි. නමුත් ප්‍රතිපත්ති ප්‍රකාශන කියන්නේ කවර හෝ දේශපාලන ව්‍යාපාරයක් බලයට පත්කිරීම සඳහා ඇතිකර ගන්නා එකඟතාවයයි. ඒ නිසා ප්‍රතිපත්ති ප්‍රකාශනය තමයි ඡන්දදායකයාත් පාලකයාත් අතර, ගොඩනැගෙන සම්මුතිය. මේ සම්මුතිය බිඳින්න, පසෙක තබන්න, නොසලකා හරින්න අපිට අයිතියක් නැහැ. අපි මෙම සම්මුතිය ක්‍රියාත්මක කිරීම සඳහා බැඳී සිටිනවා.
එක යුගයකදී, තිබුණු සංකීර්ණ ප්‍රශ්න අද සංකීර්ණ ප්‍රශ්න නොවෙයි. කවර හෝ ආබාධ සහිත කෙනෙකුට සමාජයේ අනෙකුත් අය භුක්ති විඳින සියල්ල භුක්ති විඳීම අපහසු කාර්යයක් නොවෙයි. නොසලකා හැරීමයි සිදුකර තිබෙන්නේ. ආබාධ සහිත වූවන් කුමන මට්ටමක සිටියත් සෙලියුලර් පාවිච්චි කළ හැකි තත්වයට තාක්ෂණය දියුණු වී තිබෙනවා. අද පවතින බොහෝ ගැටලු වෛද්‍ය විද්‍යාවේ සහ තාක්ෂණයේ මෙන්ම සමාජ ආකල්පමය වශයෙන් දියුණු කිරීමෙන් විසඳිය හැකියි. මේ විසි එක්වන සියවසේ ඔබ තවදුරටත් සංවාදයට අදාළ නොවෙන පුරවැසියන් බවට පත්විය යුතු නැහැ. මිනිස් ප්‍රජාව විසින් අත්පත් කරගෙන තිබෙන මහා ජයග්‍රහණ ඉලක්ක සහගතව මෙහෙයවමින් ඔබ ඇතුළු සියලු දෙනාට මනුෂ්‍යත්වයෙන් පිරි සමාජයක් නිර්මාණය කළ හැකියි. ඒ නිසයි ජාතික ජන බලවේගයේ අපි “එක්ව අත් නොහැර” ආදර්ශ පාඨය ලබාදී තිබෙන්නේ.
ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් අපේ වැඩ පිළිවෙළ
විශේෂයෙන් අධ්‍යාපනය සම්බන්ධයෙන් තිබෙන බාධාවන් ඉවත් කරනවා වගේම රැකියා අවස්ථාවන් සම්බන්ධයෙන් සාධාරණ ප්‍රවේශයක් සියලුම දෙනාට ලබාදෙනවා. ආබාධ සහිත දරුවෙකු සිටින පවුලේ සියලු දෙනා වේදනාවට පත්වී, අපහසුතාවයට පත්වී, ආර්ථිකයට බරක් වී ඇති තත්වයෙන් මුදා ගත යුතු වෙනවා. ආර්ථිකයට යම් වටිනාකමක් අත්කර දීම සඳහා ඔවුන්ගේ හැකියාවන් යොදා ගැනීම ජාතික ජන බලවේගයේ ප්‍රධානම ක්‍රියාමාර්ගයක්. ආබාධ සහිත වූවන්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු වෙනවා. ඒ බව සැලකිල්ලට ගනිමින් ඔවුන්ගේ ආරක්ෂාව සහ යුක්තිය වෙනුවෙන් මූලික වගකීම රජය බාරගන්නවා. විශේෂයෙන්ම ආබාධ සහිත දැරියන් මුහුණ දෙන ඛේදවාචක මාධ්‍යවල වාර්තා වී තිබෙනවා.
ඉක්මනින්ම ආකල්පවල වෙනසක් සිදු විය යුතුයි. අනෙකා කෙරෙහි සහකම්පනය සහිත සමාජයක් ගොඩනැගීම අත්‍යවශ්‍යයි. ආරක්ෂාව ගොඩනැගෙන්නේ ඒ තුළයි. ආබාධ සහිත ප්‍රජාව සමාජයේ ක්‍රියාකාරී කොටස්කරුවන් බවට පත්කිරීම අපගේ මූලික අරමුණයි. අපේ මේ ප්‍රතිපත්තිවල ඵලදායීතාවය තිබෙන්නේ දත්ත ඇතුළෙ නොව, මනුෂ්‍යත්වය ඇතුළෙයි. අද තිබෙන්නේ මනුෂ්‍යත්වය සහ යුක්තිය පිළිබඳ ප්‍රශ්නයක්. ඔබ ද අප ද ඇතුළුව සියලු දෙනා ඉදිරියට ගෙන යන ක්‍රියාමාර්ග නියත වශයෙන්ම අප ක්‍රියාත්මක කරනනවා. අපි එක්ව අත් නොහැර ඉදිරියට යමු කියලා සියලු දෙනාට ආරාධනා කරනවා.’’
සමාජ ආකල්ප වෙනස් කරමු
'බුද්ධිමය ආබාධ සහිත දරුවන්ට දෙපයින් සිට ගැනීමට හැකිවන සමාජයක් නිර්මාණය කිරීමට එක්වෙමු' - බුද්ධි වර්ධන ඌණතා ප්‍රජාව පිළිබඳ සමාජ ක්‍රියාකාරී ඩී. එම්. තිලකරත්න
‘‘ආබාධ සහිත පුද්ගලයන්ට තමන්ට පවතින කවර හෝ ගැටලුවක් කුමන හෝ ආකාරයෙන් ඉදිරිපත් කළත් බුද්ධි වර්ධනය පිළිබඳව තිබෙන ගැටලු ඉදිරිපත් කිරීමේ හැකියාවක් නැහැ. සාමාන්‍ය පරිදි කටයුතු කරන්න නොහැකිවීමේ දුබලතාවය, ඒ දුබලතාවය නිසා ඇතිවන ගැටලු ආබාධිත තත්වයක් කියා හඳුන්වන්න පුළුවන්. බුද්ධිමය වර්ධනයක් නොවූ දරුවන් පිළිබඳව තේරුම් අරගෙන ඔවුන් සම්බන්ධයෙන් මෙතෙක් ඉදිරිපත් නොවීම නිසා මේ දක්වා සිදුවී තිබෙන්නේ බලවත් අසාධාරණයක්. මේ සියලු දරුවන් සම්බන්ධයෙන් සමාජය දක්වන ආකල්පය වැරදියි. මෙවැනි දරුවන් සිටින දෙමාපියන්ට තිබෙන බරපතළම ගැටලුව එවැනි දරුවන් සමාජයට බරක් ලෙස ඉතිරි කර මිය යන්නට සිදුවීමයි.
අධ්‍යාපන අමාත්‍යාංශය මෙයට වසර පනස් තුනකට පෙර විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සම්බන්ධයෙන් අවධානය යොමු කළත්, බස්නාහිර පළාතේ පාසල් තුළ මේ දරුවන් වෙනුවෙන් පවතින්නේ ඒකක 150ක් පමණයි. විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් රත්මලානේ පාසල ආරම්භ කරන්නේ 1912දී. නමුත් බස්නාහිර පළාත තුළ පාසල් 1310කින් විශේෂ අවශ්‍යතා ඒකක තිබෙන්නේ 150යි. මේ දරුවන්ගේ අයදුම්පත් පාසල්වලින් ප්‍රතික්ෂේප වෙනවා. බුද්ධිමය ආබාධ සහිත දරුවන් පිළිබඳව හඳුනාගැනීමක් වත් සිදුකරන්න අවස්ථාවක් නැහැ. ඒ නිසා ජාතික ජන බලවේගයේ රජයක් යටතේ බුද්ධිමය ආබාධ සහිත දරුවන්ට දෙපයින් සිට ගැනීමට හැකිවන සමාජයක් නිර්මාණය කිරීමට අපි සියලු දෙනා එක්වෙමු කියා ආරාධනා කරනවා.’’
''ජාතික ජන බලවේගය තබා තිබෙන්නේ ඉදිරි පියවරක්''
ආබාධ සහිත අය වෙනුවෙන් නිසි ක්‍රියාමාර්ග අනුගමනය කරන බවට අපට විශ්වාසයි - චලන ආබාධ සහිත ප්‍රජාව පිළිබඳ සමාජ ක්‍රියාකාරිනී සුභානි උදේශිකා
‘‘අද බොහොම සතුටුදායක දවසක්. ඕනෑම ආකාරයක ආබාධිතයන් සඳහා ජාතික ජන බලවේගය ඉදිරි පියවරක් තබා තිබෙනවා. මේ ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගන්න ප්‍රතිපත්ති ප්‍රකාශයක් එළිදැක්වීම අපේ රටේ විශේෂ අවස්ථාවක්.
මම නියෝජනය කරන්නේ ශාරීරික ආබාධිත සහිත දරුවන් සම්බන්ධයෙනුයි. ආබාධ සහිත වූවන්ගෙන් 57%ක් ශාරීරික ආබාධිත සහිත කාන්තාවන්. මේ අය සමාජයේ අන්තර්කරණයට ලක්වෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දී, අධ්‍යාපනයේ දී, භෞතික ප්‍රවේශයේ දී, ගර්භණී කාන්තාවක් වූ විට අතිශයින්ම බරපතළ වෙනවා. රෝහල්වල පවා ප්‍රවේශ පහසුකම් නොමැතිවීම බරපතළ ගැටලුවක්. ශාරීරික ආබාධවලදීත්, සුෂුම්නාවේ ආබාධ සහිත වූවන්ට අවශ්‍ය උපකරණ මත අධික බදු පටවා තිබීම, නිසි ප්‍රමිතියක් නොමැතිවීම බරපතළ ගැටලුවක්. සාමාන්‍ය හොඳ තත්වයේ පාද රුපියල් ලක්ෂයකට වැඩිවෙනවා. හොඳ ප්‍රමිතියෙන් තොර පාද පාවිච්චි කිරීමෙන් වෙනත් ආබාධවලට ලක්වෙන්න සිදුවෙනවා. රෝද පුටුවක් ගත්තත් එහෙමයි. ජාතික ජන බලවේගය රජයක් යටතේ ආබාධ සහිත අය වෙනුවෙන් නිසි ක්‍රියාමාර්ග අනුගමනය කරන බවට අපට විශ්වාසයි.’’
''ගගනගාමිනියක් වෙන්න අපිටත් පුළුවන්''
මේ රට සංවර්ධනය කරන්න අපටත් දෙයක් කළ හැකියි - ශ්‍රවණාබාධිත ප්‍රජාව නියෝජනය කරන සාහිත්‍යවේදිනී තක්ෂිලා වික්‍රමාරච්චි
‘‘ඔබ සියලු දෙනා අද මෙතනට සහභාගි වී ඉන්නේ මිනිසුන් රැසක් එක්ක. අපි කිසිවෙකු හෝ පහත් මිනිසුන් නොවෙයි. අපේ හදවත ගැහෙන්නේ එකම රිද්මයකට. ඒත් අපි මේ රටට ස්වාධීනත්වය අහිමි වූවන් පිරිසක්. අනෙකාගේ ආර්ථික, දේශපාලන, සංස්කෘතික වුවමනාවන්ට නිකරුනේ පාවිච්චි කළ මිනිසුන්.
අපි වෙනුවෙන් ඉදිරිපත් වෙන්න අපි උත්සාහ කළොත් චෝදනා කරන්නේ ආබාධිත බව විකුණාගෙන කන්න ලැහැස්ති වෙනවා කියලා. මගේ රාජකාරි ජීවිතයේ මේ දක්වා අපිට කිසිම රජයකින් පහසුකම් සලසලා නැහැ. මගේ රාජකාරි ජීවිතය ආශ්‍රයෙන් පොදුවේ ඉල්ලන්න තිබෙන්නේ ඒවා තේරුම් ගන්න සහ වැඩිපුර ආදරය දෙන්න කියලයි.
මේ රට සංවර්ධනය කරන්න අපටත් දෙයක් කළ හැකියි. ඇමෙරිකාවේ ශ්‍රවණාබාධිත තරුණියක් වූ ජූලියා ගගනගාමිනියක් වෙන්න පුහුණුවීම් ලබනවා. අපටත් එහෙම කරන්න පුළුවන්.’’
''අධ්‍යාපනය කියන්නේ විකුණන භාණ්ඩයක් නොවෙයි''
'අපි දුක්වින්දා ඇති. මේ තත්වය වෙනස් කරගන්න ඕනෑ' - ශ්‍රවණ ඌණතා ළමුන්ගේ ශික්ෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා ගරු ග්‍රේටා නාවලබැද්ද සොයුරිය
‘‘ශ්‍රවණාබාධ කියා කියන්නේ සම්පූර්ණයෙන්ම ඇසීම නැති අය නොවෙයි. අද තිබෙන තාක්ෂණයත් එක්ක මේ තත්වයට හොඳින්ම පිළියම් යොදන්න පුළුවන්. ඇහෙන්නේ නැති අයට මේ ලෝකයේ කරන්න බැරි දෙයක් නැහැ. වෛද්‍යවරුන් වෙන්න, සංගීත අධ්‍යක්ෂකවරුන් වෙන්න, හැකියාව තිබෙන අය ඔවුන් අතර ඉන්නවා. මැන්චෙස්ටර් යුනිවර්සිටි එකේ මට සංගීතය ඉගැන්නුවේ සම්පූර්ණයෙන්ම ඇහෙන්නේ නැති ආචාර්යවරයෙක්. ඒ අය බහ තෝරන වයසෙන්ම හඳුනාගෙන ඔවුන්ට අධ්‍යාපනය ලබාදීමේ මානව අයිතිවාසිකම ලබාදෙන්න ඕනෑ.
මේ දක්වා ප්‍රාථමික පාසලක් පටන් ගන්න ඒ වගේම වෙනත් අවශ්‍යතා සම්පූර්ණ කර ගන්න නිසි ක්‍රියාමාර්ග කිසිම ඇමතිවරයෙක් ගත්තේ නැහැ. අපි දුක්වින්දා ඇති. මේ තත්වය වෙනස් කරගන්න ඕනෑ. අධ්‍යාපනය කියන්නේ විකුණන භාණ්ඩයක් නොවෙයි. අපි හැමදෙනාම එක්වී ඒ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් ක්‍රියාකරන රජයක් පිහිටුවා ගන්න ඕනෑ.’’
''අපේ ශ්‍රමය අලෙවි කරන්න අපි සූදානම්''
''මේ රටේ ආබාධ සහිත ලක්ෂ දහසයෙන් කිසිම කෙනෙක් මේ බංකොලොත්භාවයට වගකියන්න ඕන නැ'' - සමාජ ක්‍රියාකාරී සුගත් වසන්ත ද සිල්වා,
‘‘එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් මේ වන විට විශාල පිරිසක් ඇප තැන්පත් කර තිබුණත් සංවේදීතාවය සහිත ජනාධිපති ධුරයට පත්වෙන පුද්ගලයෙක් හැටියට ඉන්නේ අනුර කුමාර දිසානායක පමණයි.
අපේ රට බංකොලොත්භවයට පත්වුණා කියන්නේ ඉබේ සිදුවූ දෙයක් නොවෙයි. මෙතෙක් සිටි පාලකයන් ජනිත කළ දෙයක්. ඒ අතරම මම විශේෂයෙන් අවධාරණය කරන්නේ මේ රටේ ආබාධ සහිත ලක්ෂ දහසයෙන් කිසිම කෙනෙක් මේ බංකොලොත්භාවයට වගකියන්න ඕන නැති බවයි. නමුත් ආර්ථික කඩා වැටීමෙන් හුස්ම ගන්න බැරි තරමට පහළ වැටුණේ ආබාධ සහිත සියලු දෙනායි. අපේ ශ්‍රමය අලෙවි කරන්න අපි සූදානම්. ඒ වෙනුවෙන් අවස්ථාව සලසා දීම රජයක වගකීමක්.
ආබාධ සහිත වූවන් ඒ ආබාධ ජය ගනිමින් සමාජගත වෙන්න සූදානම්. මේ දක්වා ස්වයං රැකියා කරගෙන සිටි ආබාධිතයින් හට තිබුණු ඉඩ ප්‍රස්ථා සියල්ල කඩා වැටිලා. අඩුම ගානෙ හඳුන්කූරක්වත් හදලා විකුණන්න බැහැ. මේ තත්වය වෙනස් කර ගන්න අද එළිදක්වන ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරාවි කියන දැඩි විශ්වාසය අපට තිබෙනවා.’’
(ජයසිරි අලවත්ත)