theleaderlk 01

සැප්තැම්බර් විසිඑක්වන දින තවත් අරගලයක් තිබෙන බවත්, එදිනට: පක්ෂ, පාට, ජාති බේද, ආගම් බේද, කුල-මල බේදයකින් තොරව

මේ රට මෙතැනින් ඉදිරියට නැගිටවන්න නම් අපි හැමෝම එකට එකතු විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පැවසීය.

දුමින්ද දිසානායක මෙලෙස ප්‍රකාශ කළේ අනුරාධපුර තිරප්පනය, පුලියන්කුළම ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය

ලොතරැයි හූරනවා සේ සූර සූරා බැලිය නොහැකි බවත්, අත්හදා බලමින් සිටිය නොහැකි බවත්, අපි කටයුතු කළ යුත්තේ, නිවැරැදි පුද්ගලයෙක් නිවැරැදි නායකත්වයක් සහ රට ඉදිරියට රැගෙන යා හැකි පුද්ගලයෙක් සමග බවත්, අතීතයේ මෙන් වරදවා නොගෙන ඉදිරියට ගමන් කළ හැකි වන්නේ එසේ කළහොත් පමණක් බවත්, එබැවින් ඉදිරියේදී රට වෙනුවෙන් රට ගොඩනගන අලුත් අරගලය වෙනුවෙන් ඔබතුමන්ලා සියලු දෙනාම එකතු විය යුතු බවත් දිසානායක මෙහි දී පැවසී ය.

මතු දැක්වෙන්නේ එම ජන හමුවේ දී දුමින්ද දිසානායක කළ අදහස් දැක්වීම යි.


අපි පුළුවන් උපරිමයෙන් කළා

‘‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුවලින් තමයි මේ රටේ වැඩි හරියක් සංවර්ධන කටයුතු සිදු කරලා තියෙන්නේ. එතන දි කියන්න තියෙන්නේ අපි කාගේ හරි නමක් තමයි. වැව හැදුවා, ඇළ හැදුවා, පාර හැදුවා, පාසල හැදුවා, මේ හැම දේම අපි ඔබතුමන්ලා වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම විදියට කරලා තියෙනවා.

මං හිතන්නේ මගේ පියා බර්ටි දිසානායක මැතිතුමා අවුරුදු 12ක් තිස්සේ පළාත් සභාව මට්ටමින් මේ පළාතේ කරන්න පුළුවන් සියලුම සංවර්ධන වැඩකටයුතු කරලා තියෙනවා. හැබැයි තාමත් ඉවර වෙලා නෑ. මේ ප්‍රශ්න ඉවරයක් වෙන්නේ නෑ. සංසාරේ වගේ තමයි. කවදාවත් ඉවරයක් වෙන්නේ නෑ. හැමදාමත් ප්‍රශ්න ටික තියෙනවා. ඔබතුමන්ලා ප්‍රශ්නවලට උත්තර බලාපොරොත්තු වෙනවා. අපි සූදානම් වෙලා ඉන්නවා ඒවාට අවශ්‍යය කරන උත්තර ටික සපයලා ඒ ප්‍රශ්න ටික විසඳලා දෙන්න.

රටක් විදියට දැන් අපිට ආඩම්බරයි

පහුගිය කාළයේ ආණ්ඩුවට රජයේ සේවකයින්ගේ පඩි ගෙවාගන්නත් බැරිවයි හිටියේ ලයිට් නෑ, තෙල් නෑ, ගෑස් නෑ. ඔබතුමන්ලා පත්තරයක් බැලුවම, එහෙම නැත්නම් රෑට රූපවාහිනය බැලුවම අපි දකින්නේ මුහුදේ තෙල් නැව තියෙනවා, තෙල් ටික බාගන්න සල්ලි නෑ කියනවා. රාජ්‍යය සේවකයින්ට පඩි දෙන දිනයට පඩි ටික ගෙවාගන්න විදිහක් නෑ. පෙන්ෂන් අයට එකවුන්ට් එකට සල්ලි ටික වැටෙන් නෑ. සමෘද්ධිය ගෙවා ගන්න බැරිව හිටියා. අපි ආර්ථික වශයෙන් බංකොලොත් වෙලා හිටියේ.

හැබැයි අද: ලයිට් නැතිව හිටපු අපිට, තෙල් ටික ගන්න සල්ලි නැතිව හිටපු අපිට, රජයේ සේවකයින්ට පඩි ටික ගෙවාගන්න බැරිව හිටිය අපිට, පෙන්ෂන් එක ගෙවාගන්න මුදල් ටික නැතිව හිටිය අපිට පඩිත් ගෙවලා, තෙලුත් අරගෙන, ගෑසුත් අරගෙන මේ හැම දේමත් කරලා, නවත්තලා තිබුණු සංවර්ධනයත් ආරම්භ කරන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා.

අපි බංකොලොත් වෙලා ඉඳලා, ණය ටික ගෙවාගන්න බැරිව ඉඳලා, රටේ ජනතාවට අවශ්‍යය කරන පහසුකම් ටික දී ගන්න බැරිව ඉඳලා, අවුරුදු 02 ක් වගේ කාලසීමාවක් තුළ මේ තැනට ආවේ කොහොමද කියන එක පිළිබඳව රටක් විදිහට අපි ආඩම්බර වෙන්න ඕන.

අපි, අපේ වගකීම ඉෂ්ට කරා

ජනාධිපති මැතිවරණය සැප්තැම්බර් මාසේ 21 වැනිදා තියෙනවා, මේ මැතිවරණයේදී අපි ඉන්න තත්වයෙන් තවත් ඉස්සරහට යන්න බලනවා ද? එහෙම නැත්නම් ආපස්සට හැරිලා ආපහු ගමනක් යන්න හදනවා ද? කියන කාරණය තමයි අපිට තීන්දු කරන්න තියෙන්නේ. දැන් රෑට රූපවාහිනිය බැලුවම, උදේට පත්තර කියවන එක ඇහුවම, ඒවායේ නම්  අරක කරන්නම්, මේක කරන්නම් කියන ගොඩක් අය ඉන්නවා. හැබැයි අපිට මතකයි පහුගිය කාළයේ රට වැටිච්ච වෙලාවේ උදව් කරන්න කවුරුත්ම හිටියේ නෑ. අපිටත් දොස් කිව්වානේ. දෙසිය විසිපහට ම බැන්නා; දෙසිය විසිපහට ම ගෙදර යන්න කිව්වා. කියන්න පුළුවන් හැමදේම කිව්වා.

ඒ වෙලාවේ ඔබට මතක ඇති අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාව මේ රටේ ජනාධිපති කළාට පස්සේ ඒකටත් බොහෝ කට්ටිය දොස් කිව්වා. ඡන්දෙන් පත් වෙච්ච ජනාධිපතිවරයෙක් නෙමෙයි, පාර්ලිමේන්තුවේ ඡන්දවලින් පත් වෙච්ච ඡනාධිපතිවරයෙක්, එහෙම මිනිහෙක් කොහොම ද ඡනාධිපති වෙන්නේ කියලා. හැබැයි එහෙම මිනිහව ජනාධිපති කරපු නිසා නේද දැන් මේ බංකොලොත්භාවයෙන් අපි බේරිලා තියෙන්නේ, තෙල් ටික අපිට ලැබිලා තියෙන්නේ, හැබැයි පාර්ලිමේන්තුවේ අපි ඒ යුතුකම කරේ නැත්නම්, අපි ඒ වගකීම ඉෂ්ට කකරේ නැත්නම් මේ රටට යන කලදසාව මොකක්ද?

දැන් රට යම් තරමකට ස්ථාවරයි

ඔබතුමන්ලා දන්නවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට හැට නව ලක්ෂයක් ඡන්දය දුන්න නේ... ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ අපිත් බෑ බෑ කිය කිය ඉඳලා දුන්නා. රටේ ජනතාව අරගලයක් කරලා හැට නව ලක්ෂයක් ඡන්දය දුන්න මනුස්සයාව එළවලා දැම්මා. ඒ අරගලය කරේ රටේ ජනාධිපතිවරයාව එළවන්න, පාර්ලිමේන්තුව වහන්න, දෙසිය විසිපහ එළවන්න. හැබැයි ඉතින් ඒ අරගලයේ ප්‍රතිඵලය මොකක්ද? ඒ අරගලයේ ප්‍රථිපලය ජනාධිපතිවරයෙක් ගෙදර ගිහින් අගමැතිවරයා ඉල්ලා අස්වෙලා, ආණ්ඩුව ඉල්ලා අස්වෙලා, පාර්ලිමේන්තුව ඇතුළෙන් අපි අලුත් ජනාධිපතිවරයෙක් පත් කර ගෙන, අලුත් කැබිනට් එකක් එක්ක අලුත් රජයක් පත්වීම.

අද වෙන කොට ඒ බංකොලොත් වෙලා තිබුණු රට යම් ස්ථාවර තැනකට ගේන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. හැබැයි දැන් අපිත්, ඔබතුමාලත්, අර ගෝල්ෆේස් ඒකේ අරගලය කරා වගේ, මේ සේරම එළවලා දැම්මා නම්, පාර්ලිමේන්තුවෙන් හරි  මේ ප්‍රශ්නයට විසඳුමක් ගෙන ආවේ නැත්නම් අද මේ රට තියෙන්නේ කොතනද?

සිස්ටම් චේන් වෙමින් පවතිනවා

හැබැයි එදා අපිට පොහොර ටික නැති වෙනකොට වෛරයක් තිබුණා; තරහක් තිබුණා. අපිට වගාව කර ගන්න පොහොර ටික නැති වෙන කොට, අපිට පහසුකම් ටික නැති වෙන කොට අපි පක්ෂ බේද බැලුවේ නෑ, අපේ අමාරුව වෙනුවෙන් අපේ දුක වෙනුවෙන් සමහර වෙලාවට පක්ෂ භේදයකින් තොරව ඔබතුමන්ලාත් බෝඩ් එකක් අල්ලාගෙන කුඹුරේ ඉන්න ඇති; පඹයෝ පුච්චන්න ඇති; පාරට එන්න ඇති; සමහරු අනුරාධපුරයට එන්න ඇති; සමහරු කොළඹට ගිහින් ගෝල් ෆේස් එකෙත් ඉන්න ඇති. හැබැයි ඒ අරගල උණාට, ඒ අමාරුකම් තිබුණට අපි ඒකට වෙන විදිහක උත්තරයක් තේරුවා නම්...  අද අපිට මෙහෙම කතා බහ කරන්න, මේ වගේ හිනා වෙන්න, මේ වගේ ඉන්න බැරි වෙනවා.

ඒ අරගලයේ ප්‍රතිඵලය එක පැත්තකින් හොඳයි. රටක් හදන්න ඕන කියන එක, රට වෙනස් කරන්න ඕන කියන එක, ඒ කාලෙ අපි ආසම, වැඩියෙන්ම ඇහුව වචනයනේ සිස්ටම් චේන්ජ්. අවුරුදු හැත්තැ පහක් මේ රට ගියපු විදිහ වෙනස් කරන්න ඕනකම අපිට තියෙනවා. මේ රටේ අධ්‍යාපනය වෙන්න පුළුවන්, සෞඛ්‍ය වෙන්න පුළුවන්, කෘෂිකර්මය වෙන්න පුළුවන් මේ හැමදේම වෙනස් කරන්න ඕන කියලා තමයි එදා ඒ අරගලය කරේ.

දැන් අපිට තවත් අරගලයක් තියෙනවා, සැප්තැම්බර් මාසේ විසිඑක්වෙනිදට පක්ෂ,පාට, ජාති බේද, ආගම් බේද, කුල-මළ බේදයකින් තොරව මේ රට මෙතැනින් එහාට නැගිට්ට වන්න නම් අපි හැමෝම එකට එකතු වෙන්න ඕනකම තියෙනවා. මේ වෙලාව අපිට ට්‍රයි කරලා බලන්න පුළුවන් වෙලාවක් නෙමෙයි. ලොතරැයි හූරනවා වගේ හූර හූර බලන්න බෑ, අපි හරි පුද්ගලයෙක්, නිවැරදි නායකත්වයක් මේ ටික ඉස්සරහට ගෙනියන්න පුළුවන් වැඩපිළිවෙළක් එක්ක තමයි අපි කටයුතු කරන්න ඕනකම තියෙන්නේ, එහෙම වුණොත් තමයි අතීතයේ වැරදුණා වගේ වරද්දා ගන්නේ නැතිව අපිට හරි ගමනක් යන්න පුලුවන්කම තියෙන්නේ.

අපේ වැඩිහිටියන්ට ඉතිහාසය අමතක නෑ

සමහරු කියනවා ‘අවුරුදු හැත්තැ පහක් මේ රට කෑවා. ඒ නිසා අපිටත් දීලා බලන්න. අපි කෑවත් ඒත් පහයි නේ... හැත්තෑපහට පහක් එකතු වුණාම අසූවයිනේ... ප්‍රශ්නයක් නෑ නේ...’ කියනවා. මෙහෙම කියන දේශපාලන පක්ෂත් ඉන්නවා. හැබැයි ඒ අයට අමතක වෙච්ච දෙයක් තියෙනවා. ඒ අය එල්.ටී.ටී එකට වඩා මේ රට විනාශ කරන්න එදා දායක වුණා. වැඩිහිටියන්නට මතක ඇති එදා: ඉස්කෝල, ට්‍රාන්ස්ෆෝමර්, වී ගබඩා මේ සේරම ටික ගිනි තිබ්බා. මේවා නැවත හදන්න කොහෙන්ද සල්ලි? ඒ ගොල්ල දුන්නද? මේ රට ණය වෙන්න ඒ කරපු දේවලුත් හේතු උණා. ගිනි තිබ්බ ට්‍රාන්ස්ෆෝමර් ටික ආයේ ගන්න කවුරුත් නිකං සල්ලි දෙනවද? සල්ලි කොහෙන් ද පාවිච්චි වුණේ ගත්ත ණය ටික වෙන්න ඇති. ඔබතුමන්ලාගෙන් ගත්ත බදු ටිකෙන් තමයි මේවා  නැවත හැදුවේ.

බස් ටික, පාසල්, වී ගබඩා, ගොවිජන සේවා මධ්‍යස්ථාන මේවා විනාශ කරපු එක හදන්න ඒ කට්ටිය එක රුපියලක් දීලා තියෙනවාද? මං මේ කියන්නේ එකතු කර ගත්ත රත්තරන් ටික අරවා මේවා ඇර. ඒවා පුද්ගලිකවනේ පාඩු වුණේ. හැබැයි ඔය කියන දේශපාලන පක්ෂ රටේ තියෙන සම්පත් ප්‍රභාකරන්ට වඩා විනාශ කරලා තියෙනවා. දැන් ඒ දේශපාලන පක්ෂ වලට තමන්ගේ නම කියා ගන්න බෑ. මොකද තමන්ගේ නම කිව්වාම අපේ වැඩිහිටියන්ට ඉතිහාසය  මතක් වෙනවා. ඒ නිසා තමයි අලුත් ලාංජනයක් දාගෙන, අලුත් නමකින්, අලුත් මුහුණුවරකින් ඇවිල්ලා මහා සුදනෝ වගේ කතා කරන්නෙ. හැබැයි මේ මොනදේ කතා කරත් රට ගැන ඒ අයගේ දැක්ම හා වැඩපිළිවෙල මොකක්ද කියලා අපි දන්නවා.

මරණාධාර සමිතියක හරි සභාපතිවරයෙක් පත් කර ගන්න කොට ඒ මරණාධාර සමිතිය ගෙනියන්න පුළුවන්, නායකත්වය දෙන්න පුලුවන්, අත්දැකීමක් තියෙන පුද්ගලයෙක් නේද ඔබතුමන්ලා පත් කර ගන්නේ...? එහෙම නැතිව කිසිම අත්දැකීමක් නැති පුද්ගලයෙක් මරණාධාර සමිතියේ සභාපතිවරයා බවට පත් කර ගත්තාම මළ ගෙදරක ගිහින් කථාවක්වත් කර ගන්න පුළුවන්ද? ඒ වගේම තමයි රටටත් දැන් අවශ්‍යය කරන්නේ වැටිච්ච රට ඉස්සරහට ගෙනියන්න පුළුවන්, මේ වැඩපිළිවෙලත් එක්ක ඉස්සරහට යන්න පුළුවන්, ලෝකයත් එක්ක ගණුදෙනු කරන්න පුළුවන් එවැනි වැඩපිළිවෙලක්; එවැනි කණ්ඩායමක්.

පාසල් ළමයින් අහන ප්‍රශ්න

මම දැන් එන ගමන් පාසල් ළමයි ඇවිත් දේශපාලඥයින්ගේ ප්‍රශ්න අහන රූපවාහිනි වැඩසටහන් නරඹමින් ආවා,  ඒ පාසලේ ළමයෙක් සමගි ජනබලවේගයේ මරික්කාර් මන්ත්‍රීතුමන්ගෙන් අහනවා, ‘ඔබතුමන්ලාගේ නායකයා ඉස්කෝලවලට ගිහින් ළමයි එක්ක තමයි දේශපාලනය කරන්නේ, හැබැයි අපිට තේරෙන්නේ නෑ එතුමා කොහොමද රටක නායකයෙක් වෙලා, රටේ ප්‍රශ්න විසඳන්නේ කොහොම ද කියලා...?’ මෙහම නායකයෝ කොහොමද රටක් කරන්නේ...? රටක අභියෝගවලට, ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ කොහොමද කියන කාරණය පාසල් දරුවන්ට පවා දැන් තේරිලා තියෙනවා. එයා ඒ කථා බහ කරාට අපිට අවශ්‍යය කරන්නේ රට හදන්න පුළුවන්, අත්දැකීමක් තියෙන, වැඩපිළිවෙලක් තියෙන පුද්ගලයෙක්. 

 

රට වෙනස් කරන විට එන ප්‍රශ්න

අපි හැමෝම දැන් පක්ෂ භේද අමතක කරන්න ඕන. දැන් ඇවිත් තියෙන්නේ අපි හැමෝම රටක් විදිහට තීන්දුවක් ගත යුතු යුගයක්. අපි හැමෝම එකට එකතු වෙලා මේ රට අපේ දරුවන්ට සුභවාදී රටක් බවට පත් කරන්න ඕන. අපි මේ රට වෙනස් කරන්න ඕනකම තියෙනවා. මේ රට වෙනස් කරන කොට අපි හැමෝටම පොඩි පොඩි ප්‍රශ්නත් එනවා. හැමෝටම ටැක්ස් ෆයිල් එකක් අරින්න ඕන කියලා කියන කොට මේ රටේ බොහෝ දෙනක් විරුද්ධ වුණා. හැබැයි අපි කියනවා ‘මේ රටේ ගොඩක් හොරු ඉන්නවා. ව්‍යාපාරිකයෝ ටැක්ස් ගෙවන්නේ නෑ මෙවුන් අල්ලන්න ඕන. හිරේ දාන්න ඕන’ කියලා කියනවා.

හැබැයි එක පක්ෂයකටවත්, එක ආණ්ඩුවකටවත් ඒකට වැඩපිළිවෙළක් ගේන්න පුළුවන්කම ලැබුණ ද? ඒඋනාට අපි මොකක්ද කරන්නේ...? ටී.වී එකේ දැක්කම, රේඩියෝ එකේ ඇහුණම අපිත් කඩ පිළේ ගිහින් කියවනවා ‘මාර වැඩේ නේ...? දහඅටට වැඩි වුණාම හැමෝම ටැක්ස් ෆයිල් අරින්න එපැයි. අපෙනුත් ටැක්ස් ගන්නවානේ...’ කියලා නොදන්න දේවලුත් කියනවා. හැබැයි මේ ක්‍රමවේදය හැදුනම හැමෝම ඒ ඒ මට්ටම්වලට ගියපුවම තමයි ඒක ගෙවන්න වෙන්නේ. අපි හැමෝටම ෆයිල් එකක් ඇරුණම මොකද වෙන්නේ...? සිස්ටම් එක හැදෙනවා, ක්‍රමවේදය හැදෙනවා, ඉදිරියේදී අපිට පුළුවන්කම තියෙනවා ආයේ අඩුපාඩු කිය කිය ඉන්නේ නැතිව පිළිවෙලකට වැඩ කරන්න.

ටියුෂන් නැතුව ම බැරි ද...?

අධ්‍යාපන ක්‍රමයත් වෙනස් වෙන්න ඕන කියලා හැමෝම කියනවා. ළඟදී උතුරු මැද පළාතේ චක්‍රලේඛණයක් ගැහුවා පාසල් ගුරුවරුන්ට තමන්ගේ පාසලේ දරුවන්ට ටියුෂන් දෙන්න බෑ කියලා. දැන් දෙමාපියන්ට තියෙන ලොකුම ප්‍රශ්නය මොකක්ද? තමන්ගේ දරුවාව තමන්ගේ පන්ති භාර ගුරුවරයාගේ ටියුෂන් එකට යැව්වේ නැත්නම් ළමයාට යම් යම් අඩුපාඩුකම් වෙනවා. හැබැයි මේක කියන්නේ නෑනේ. ඔබතුමන්ලා, කිව්වොත් එහෙම ළමයාට හානියක් වෙනවා. වැරැද්ද දන්නවා, වැරැද්ද තේරෙනවා, හැබැයි කියන්නේ නෑ. දේශපාලඥයෙක්ට බනින එක නම් ඔබතුමන්ලා උඩදාගෙන කරනවා. මොකද ඒ බැන්නට ඒ මිනිහා පළිගන්නෙත් නෑ, ඒ මිනිහා තරහා වෙන්නෙත් නෑ, අවුරුදු පහකට සැරයක් ඒ මිනිහා ඡන්දය ඉල්ලන්න එන නිසා කවුරුත් දේශපාලඥයාට කට ඇරලා බනිනවා. නාන තොටුපළේ වෙන්න පුළුවන්, කඩපිළේ වෙන්න පුළුවන්, පන්සලේ-මළගෙදර වෙන්න පුළුවන්... දේශපාලඥයාට දොස් කියනවා.

පාසලේ තියෙන අඩුව දැක දැකත්, තමන්ගේ දරුවාට වෙන අසාධාරණය දැක දැකත් ඒ ගැන කථා කරන්නේ නෑ. මොකද ඒ ගැන කතා කරොත්, ඒකට චෝදනාවක් එල්ල කරොත් ළමයාට ඉස්කෝලේ යන්න හම්බ වෙන්නේ නෑ. ඒ නිසා ඔබතුමන්ලා රකිනවා.  මේ පාසල් අධ්‍යාපනය ගත්තම ආණ්ඩුවෙන් පඩි ගෙවනවා, ආණ්ඩුවෙන් පොත් ටික දෙනවා, ආණ්ඩුවෙන් ඉතුරු පහසුකම් සියල්ල දෙනවා, මේ සියලු දේ දීලත් අපේ ළමයින්ව ටියුෂන් යැව්වෙ නැත්නම් විභාග පාස් කරගන්න බෑ කියලා ඔළුවල හැදිලා තියෙනවා. එහෙම නම් මේවා වෙනස් වෙන්න ඕනකම තියෙනවා.

අරගලයේ හොඳ දේවල් කතා කරා

සෞඛ්‍ය පැත්තෙන් ගත්තම; අපි රෝහලට ගිහින් නේවාසිකව ප්‍රතිකාර ගන්නවා නම්  ඉස්සරලා චැනල් සෙන්ටර් එකට ගිහින් ඩොක්ටර්ව හම්බෙලා තමයි  රෝහලට ඇඩ්මිට් වෙන්නේ. එහෙම වුණොත් තමයි වාට්ටුවට ඇවිත් ලොකු දොස්තර මහත්තයා බලන්නේ. දොස්තරලට: ආණ්ඩුවෙන් පඩි ගෙවනවා, ආණ්ඩුවෙන් බෙහෙත් ටික දෙනවා, ආණ්ඩුවෙන් අනෙක් සියලු ම දේවල් ටික කරනවා. හැබැයි චැනල් එක දැම්මේ නැත්නම් ලොකු දොස්තර මහත්තයා එයාගේ වාට්ටුවේ ඇඩිමිට් කර ගන්නෙත් නෑ; ඇඩ්මිට් වුණත් ඇවිත් බලන්නෙත් නෑ; පොඩි දොස්තර මහත්තයෙක් තමයි එවන්නේ. මෙ සේරම වෙනස් වෙලා තියෙනවා. මේවා හදන්න තමයි අරගලය හොඳයි කිව්වේ.

අරගලයෙන් දැන ගෙන හෝ නොදැනගෙන කතා කරා සිස්ටම් චේන්ජ් එකක් ගැන, අද ඒවා වෙනස් වෙමින් යනවා. මේක තමයි අපි ඉස්සරහට ශක්තිමත් කරන්න ඕන වැඩපිළිවෙල, මගේ ගේ ගිනි තිබ්බත්, මම අරගලයට ආදරෙයි... මොකද අරගලයේ හොඳ දේවල් කතා කරා. අරගලය අන්තිමට දේශපාලනීකරණය වෙච්ච එක වැරදියි. අරගලය ඇතුළෙ දැන හෝ නොදැන කතා කරේ හොඳ දේවල්. පක්ෂ භේදය නැති වුණා, ආගම් භේදය නැති වුණා.

 අපි හැම ඡන්දයක දී ම කටයුතු කරේ ජාතිය යි, ආගම යි ඉස්සරහට කරගෙන අනෙක් මිනිස්සුන්ට රිද්දන ගමන්. අපි  එදා ගෝල්ෆේස් අරගලයේ වෙසක් සැමරුවා, පොසොන් සැමරුවා, නත්තල් සැමරුවා, මුස්ලිම් අවුරුද්ද සැමරුවා, මේ හැම දේම කරා, ජාති, ආගම්, කුල -මල භේදයකින් තොරව රට වෙනස් කරන්න ඕන, රට හදන්න ඕන කියලා කථා කරා. එහෙම නම් දැන් අපිට සැප්තැම්බර් මාසේ විසිඑක්වැනිදාත් තියෙන්නේ එවැනිම අරගලයක්, රට ගොඩනගන, රට නැගිට්ටවන අරගලය, ඒ අරගලයටත් අපි පක්ෂ -පාට, ජාති ආගම්, කුළ-මළ භේදයකින් තොරව එකා වගේ එකතු වෙන්න ඕනමක තියෙනවා. අපි එකතු වුණොත් තමයි අපිට මේ අභියෝග ජයගන්න පුළුවන්කම තියෙන්නේ.

අලුත් අරගලයේ කොටස්කාරයො වෙන්න

සමහර උදවිය කියනවා උන්ටත් දුන්නා, මුන්ටත් දුන්නා මුන් ටිකට නම් තාම දීලා නෑ, මුන්ටත් දීලා බලන්න ඕන කියලා. මේ වෙලාවේ පක්ෂ, පාට, ජාති, ආගම්, කුල -මල භේදයකින් තොරව ඔබතුමන්ලා හැමෝම එකා වගේ එකතු වෙලා මේ රට ගොඩනගන අරගලයේ දී ඔබතුමන්ලා කොටස්කාරයෙක් පංගුකාරයෙක් වුණොත් තමයි එදා ලයිට් නැතිව ඉඳලා, අද ලයිට් තියෙනවා වගේ ම, එදා පඩි ගෙවාගන්න බැරිව ඉඳලා -අද පඩි ගෙවන්න සල්ලි තියෙනවා වගේ ම, එදා පාර හදන්න සල්ලි නැතිව තිබිලා, අද පාර හදන්න සල්ලි ලැබෙනවා වගේ ම ඉදිරියේදීත් මේ සංවර්ධන වැඩකටයුතු සිදු වෙන්න නම් අපි හැමෝම මේ ක්‍රමවේදය ආරක්ෂා කරලා ශක්තිමත්ව අපි හැමෝම එකට එකතු වෙන්න ඕන. ඉදිරියේදී රට වෙනුවෙන් රට ගොඩනගන අලුත් අරගලය වෙනුවෙන් ඔබතුමන්ලා සියලු දෙනාම එකතු වෙන්න ඕන.’’

 

 

 

pe2024 2

worky sin

නවතම පුවත්