theleaderlk 01

පසුගිය මහ මැතිවරණයේදී 'පොහොට්ටුව' ලකුණින් තරඟකර රත්නපුර දිස්ත්‍රීක්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් අටදෙනා

(08) අතරින් පස්දෙනෙකුම (05) ඉදිරි ජනාධිපතිවරනයේදී, ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සහය පලකිරීමට තීරණය කර තිබේ.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) රත්නපුරේ ශ්‍රී රම්‍යා හෝටලයේ පැවැති සාකච්ඡාවකදී එබව අනාවරණය වී ඇත.

එම සාකච්ඡාව සඳහා රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 08න් හතර දෙනෙකු පැමිණ තිබේ. ඒ ජානක වක්කුඹුර, ප්‍රේමලාල් ජයසේකර, අකිල් එල්ලාවල සහ මුදිතා ප්‍රිශාන්ති මන්ත්‍රීවරියයි.

පොහොට්ටුවෙන් තේරී පත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ජෝන් සෙනෙවිරත්න දැනටමත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය පළ කරයි.

පොහොට්ටුව ලකුණ යටතේ තරඟ කළ ගාමිණි වලේබොඩ මන්ත්‍රීවරයා මේවනවිට සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා වෙත සහය පළකිරීමේ සුදානමක සිටියද , ආසන සංවිධායක ධූරයේ ගැටළුවක් නිසා එය ප්‍රමාද වී ඇති බව පැවසේ.

පසුගිය මහ මැතිවරණයට පොහොට්ටුව යටතේ තරඟකර ජයගත් වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා මේ වනවිට තරමක අසනීප තත්ත්වයකින් පසුවන හෙයින්, ඔහු නායකත්වය දැරෑ ප්‍රජාතන්ත්‍රවාදී වමාංශික පෙරමුණ නායකත්වයෙන් ඉවත්ව ක්‍රියාකාරී දේශපාලනයෙන්ද ඉවත්ව සිටියි.


රත්නපුරේ පොහොට්ටු දිස්ත්‍රික් නායිකාව වන පවිත්‍රා වන්නිආරච්චි ජනාධිපතිවරණයට සහයදෙන්නේ රනිල් වික්‍රමසිංහ ට ධම්මික පෙරේරා ට ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් පැහැදිලි තීන්දුවක් ගෙන නොමැත.


 කෙසේවුවද, පසුගිය දා ඇය සිය දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් පැල්මඩුල්ල නිවාස වෙත කැඳවා, පොහොට්ටුවෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් ගනුලැබූ තීන්දුව සම්බන්ධයෙන්  ඔවුන්ගේ අදහස් විමසා ඇත.  ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සහාය පල කරන ලෙස එහිදී ඇමැතිවරියට සිය දේශපාලන ක්‍රියාකාරීන් දැඩි බලපෑමක් එල්ල වී තිබිණ.

අනතුරුව එම රැස්වීමට සහභාගී වූ ක්‍රියාකාරීන්ගේ මතය දැනගැනීමට ඇමතිවරිය විසින් රහස් ඡන්දයක් පවත්වා ඇති අතර එහිදී සියයට 90 කට වැඩි පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පක්ෂව ඡන්ද ප්‍රකාශකර ඇතැයි වාර්තාවේ.


ඇමති ප්‍රසන්න රණතුංග ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පැවති රැස්වීමේදී අනාවරණය වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ පොහොට්ටු සංවිධායකවරු 08 දෙනාගෙන් 07 දෙනෙකුම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය පළ කරන බවයි.

 

පොඩි පොහොට්ටු මන්ත්‍රී 160න් 150ක්ම රනිල්ට
රත්නපුර දිස්ත්‍රික්කයේ පාලන ආයතන සංඛ්‍යාව 16කි. ඒ මහ නගර එකක්, නගර සභා දෙකක් සහ ප්‍රාදේශීය සභා 13ක්  ලෙසයි. රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන නියෝජනය කරන පොහොට්ටුවේ සාමාජිකයන් සහ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 160යි. ඉන් 150ක්ම ඊයේ පැවති සාකච්ඡාවට සහභාගී වී ඇත.

රත්නපුර දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ සාමාජිකයන් වන හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 06කි. ඔවුන් සියළු දෙනාම මෙම රැස්වීමට සහභාගී වී තිබේ.

''පොහොට්ටුව අත්හරින්නේ නෑ, විනය ක්‍රියාමාර්ග ගත්තොත් මුහුණ දෙනවා'' - ඇමති ප්‍රසන්න

මෙම සාකච්ඡාවේදී අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග පවසා ඇත්තේ, තමන් තවමත් පොහොට්ටු සාමාජිකයකු බවයි.

කිසිසේත් පොහොට්ටුව අත්නොහරින බවත් එක්සත් ජාතික පක්ෂයට නොයන බවත් පවසා ඇති ඇමතිවරයා, තමන් මෙය හෘද සාක්ෂියට එකඟව ගත් තීරණයක් නිසා පක්ෂය ගනු ලබන ඕනෑම ක්‍රියාමාර්ගයකට මුහුණ දීමට සුදානම් බවද සඳහන් කර තිබේ.

පක්ෂය යනු පාක්ෂිකයන් බවත් පාක්ෂික මතයට කන් නොදී පුද්ගලික මතයන්ට ඉඩ දි කටයුතු කළහොත් එවැනි පක්ෂවලට පැවැත්මක් නැති බව සඳහන් කර ඇති ඇමතිවරයා, පක්ෂය දැන්වත් පාක්ෂිකයන්ගේ හඩට කන්දිය යුතු බව අවධාරණය කර ඇත.

 

“මම රනිල්ගේ ගොට්ටෙක් නෙමෙයි. මම තවමත් හදවතින් පොහොට්ටුවේ. මහින්ද මහත්තයා තවමත් මගේ පරමාදර්ශී නායකයා. පක්ෂය දෙකඩ වුනොත් වාසිය කාටද කියලා මම හොඳට දන්නවා. එහෙමයි කියලා මැයි 09 වැනිදා වෙච්ච දේ ආයෙත් අපේ පාක්ෂිකයන්ට වෙන්න දෙන්න බෑ.” යැයිද ඇමතිවරයා මෙහිදී සඳහන් කර ඇත.


''දේශපාලන අත්දැකීමක් නැති අයෙකුට ජනාධිපති අපේක්ෂකත්වය දෙනවට අපි විරුද්දයි'' -රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර

රැස්වීම ඇමතූ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, මෙම රැස්වීමට කැඳවුයේ පොහොට්ටුවේ පක්ෂ සාමාජිකත්වය දරණ මහජන නියෝජිතයන් පමණක් බව සඳහන් කර තිබේ.

දේශපාලන අත්දැකීමක් නැති අයෙකුට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීමට තමන් දැඩි ලෙස විරුද්ධ බව අවධාරණය කර ඇති රාජ්‍ය අමාත්‍යවරයා,  රට බේරාගත් නායකයාට තමන්ගේ තිබෙන ආදරයේ වෙනසක් නොමැති වුවත් මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ ට සහාය පළ කිරීම හැර පොහොට්ටු පාක්ෂිකයන් රැකීමට වෙනත් වැඩපිළිවෙලක් නොමැති බව සඳහන් කර තිබේ.


“ඔබේ මතය අපේ මතය ජනතාවගේ මතය රනිල්ට. 29 වැනිදා වෙනකන් පක්ෂයේ බහුතර මතය තිබුණේ ඉදිරි වසර පහත් මේ රට පාලනය කරන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට දෙන්නයි. නමුත් 29 වැනිදා දේශපාලන මණ්ඩලය කියලා අපි නොදන්නා මිනිස්සුන් ගෙනල්ලා ඒ තීන්දුව වෙනස් කළා. අපි අපේ තීන්දුව ගත්තේ අපේ නායකයා වන මහින්ද රාජපක්ෂ ජනාධිපතුමාව දැනුවත් කරලයි. එතුමා හිටියෙත් අපේ මතයේ. අපේ දිස්ත්‍රික් නායිකාව පවිත්‍රා ඇමතිතුමිය ගතින් එතැන සිටියත් හිතින් අපේ ළඟයි.

 

''පළාත් සභා මැතිවරණය පරණ ක්‍රමයට තියන්න අපි තීරණය කරලා තියෙනවා. ජනාධිපතිවරණයෙන් පස්සේ අපි ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නවා. පළාත් පාලන මැතිවරණය ඉක්මනින් තියලා ඔබේ ප්‍රශ්න විසඳනවා.” යයි ද රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර වැඩිදුරටත් පවසා ඇත.

''පක්ෂය මොන තීන්දුව ගත්තත් මම රනිල්ට'' - රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර

මෙහිදී අදහස් දැක්වූ ප්‍රේමලාල් ජයසේකර රාජ්‍ය ඇමතිවරයා සඳහන් කර ඇත්තේ, පක්ෂය කුමන තීන්දුවක් ගත්තද තමන් රනිල් වික්‍රමසිංහ ට සහාය පළ කරන බවයි.

ගෙවි ගිය වසර දෙක තුළ රට වෙනුවෙන් ජනාධිපතිවරයා කළ සේවය අගයමින්, කාලගුණ සැලකීමක් ලෙස එම තීන්දුව ගත්බව  රාජ්‍ය ඇමතිවරයා කියා තිබේ.

''පොහොට්ටුවේ සියයට 95ක් රනිල්ට '' - අකිල එල්ලාවල

රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල ද මෙහිදී පවසා ඇත්තේ,  කවුරු කුමක් කීවද රත්නපුර පොහොට්ටුව රනිල් වික්‍රමසිංහ ට සහාය පළ කරන බවයි.

මේ වනවිට පොහොට්ටුවේ සියයට 95ක් රනිල් වික්‍රමසිංහ සමඟ බවත් ඉතිරි සියයට 05ද හෙට අනිද්දාම රනිල්ට වික්‍රමසිංහ ට සහාය පල කිරීමට එක්වෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් මන්ත්‍රීවරයා පවසා ඇත.

රැස්ව සිටි රත්නපුර දිස්ත්‍රික්කයේ සියළුම පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන පොහොට්ටු මහජන නියෝජිතයන් අත ඔසවා ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ට සහාය පළ කරන බවට ප්‍රතිඥා දී ඇත.

(ප්‍රදීප්)
xzdfgw45fg

 

pe2024 2

worky sin