දේශපාලනය ජනතාවට වගකියන වෘත්තියක් බවට පත් කළ හැක්කේ මාලිමාවට පමණක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර
දිසානායක (AKD) පැවසිය.
එදා මහින්ද රාජපක්ෂට අප්පච්චී යනුවෙනුවෙන් ඇමතූ එස්.එම්. චන්ද්‍රසේන, රෝහිත අබේගුණවර්ධන දැන් රනිල්ට අප්පච්චි කියන බවත්, රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන හිරේ දාන තුරු නින්ද යන්නේ නැතැයි පැවසූ මහින්දානන්ද අලුත්ගමගේ දැන් රනිල් වික්‍රමසිංහගේ ඔඩොක්කුවේ නිදියන බවත්, මහ බැංකුවේ මහ දවල් මහා බැංකු බැඳුම්කර කොල්ලය හෙළිදරව් කළා කියන බන්දුල ගුණවර්ධන සිටින්නේ ඒ හොරාගේ ම තැන බවත්, මේ කැත දේශපාලනය අපි අවසන් කළ යුතු බවත්, පුරවැසියන් පිළිබඳ, මාතෘ භූමිය පිළිබඳ වග නොකියන, මේ දේශපාලනය අපි අවසන් කළ යුතු බවත්, අපේ රටේ දේශපාලනය මාතෘ භූමියට සහ ජනතාවට වගකියන වෘත්තියක් බවට පත් කළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණක් බවත් ඔහු කියා සිටියි.
අනුර කුමාර දිසානායක එලෙස පැවසුවේ ඊයේ (04) මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේ පැවති විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ජාතික සමුළුව අමතමිනි.
වේදිකාවේ සිටින සියලු දෙනා පසුගිය කාලයේ දරන ලද උත්සාහයේ ප්‍රතිඵල ලැබී තිබෙන බවත්, හිටපු නාවික හමුදාපති රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මේ අවස්ථාවට සහභාගි වීම අපට විශාල ශක්තියක් බවත් එහි දී අනුර කුමාර දිසානායක පැවසී ය.
අනුර කුමාර දිසානායක එහිදී මෙසේද පැවසිය.
කෝපාවිෂ්ට ගර්ජන වැඩිකරන සමුළුවක්
‘‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර විශාල අපරාධ සංඛ්‍යාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම නිසා දඩයමට ලක්වී තිබෙනවා. ඔහු සම්බන්ධයෙන් සාධාරණය ඉටුකිරීම වගේම මේ සියලු දෙනාටම සාධාරණය ඉටුකිරීම අපගේ වගකීමක්.
සාමාන්‍යයෙන් හමුදා බැටෑලියන් එකක හයසීයක් හත්සීයක් විතර පිරිසක් ඉන්නවා. එහෙම බැලුවොත් මෙතන බැටෑලියන් තිහක හතළිහක විතර පිරිසක් එකතු වී සිටිනවා. ඕනෑම අභියෝගයකට මුහුණ දී ජයග්‍රහණය ලබා හැකි පිරිසක් මෙතනට එකතු වී සිටිනවා. මේක සමහර මාධ්‍යවල විරුද්ධවාදී හැසිරීම, දේශපාලන අධිකාරීන්ගේ කෝපාවිෂ්ට ගර්ජනයන් තවදුරටත් ඉදිරියේ දී වැඩිකරන සමුළුවක්.
මෑතක දී බුද්ධි අංශ ඉදිරිපත් කළ වාර්තාවක ප්‍රධාන කරුණු දෙකක් ඉදිරිපත් කර තිබුණා. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මහත් උනන්දුවෙන් ජාතික ජන බලවේගය වටා එක්වීමත් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ජාතික ජන බලවේගයට අනුබද්ධව ප්‍රබල ලෙස සංවිධාන ගතවීමත් නිසා ජාතික ජන බලවේගය ජයග්‍රාහී ලෙස ඉදිරියට යමින් සිටින බව දක්වා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස දන්වා තිබුණා. මේ නැගීගෙන එන බලවේගය සැප්තැම්බර් 21දා නියත ජයග්‍රහණය කරා ඉදිරියට යාම වැළැක්වීමට කිසිදු ජගතෙකුටවත් බැහැ.
ෆීල්ඩ් මාර්ෂල් එළියෙ; ගොඩහේවා ඇතුළෙ
පොදු ජනයාගේ ඛේදවාචකය පිළිබඳ වේදනාව අපට ඉතා හොඳින් දැනෙනවා. හදවතේ තෙතමනයක් තිබෙනවා නම්, අපේ මාතෘභූමියට අත්කර දී තිබෙන ඛේදවාචකය ගැන කම්පනයක් තිබෙනවා. අවුරුදු හැත්තෑ පහක ඉතිහාසය පැත්තකින් තබා මේ සති දෙකක කාලය තුළ සිදුවීම් ගත්තත් ඛේදවාචකයේ තරම තේරුම් ගන්න පුළුවන්. මේ තරම් අප්‍රසන්න දේශපාලන සිදුවීම් තවත් දකින්න පුළුවන්ද?
ප්‍රසන්න රණතුංග කප්පම් ගැනීම සහ මහින්දානන්ද මූල්‍ය අපරාධ සිදුකිරීම පිළිබඳ චෝදනා ගොනු කරන විට රනිල් වික්‍රමසිංහ අගමැති. රත්වත්තේලා බන්ධනාගාරවලට පැනලා සිරකරුවන්ට පිස්තෝලය එල්ල කළ බව ඔවුන් දන්නවා. අනික් පැත්තෙන් ස.ජ.බ. ගොඩනගන විට සභාපති ලෙස තෝරා ගත්. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා දැන් එළියේ. පොහොට්ටුවේ සභාපති ජී.ඇල්. පීරිස් ඇතුළේ. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වන්දි ගැනීමට බාධා කළ නාලක ගොඩහේවා, සජිත් ප්‍රේමදාසගේ දකුණු අත. මේක මොනතරම් කැත පන්නයේ දේශපාලනයක් ද?
ශ්‍රේෂ්ඨාධිකරණය කථානායක එක්ක සාකච්ඡා නොකරාට ස්තුතියි...!
හමුදාවේ සොල්දාදුවන් හැටියට ඔබ දිවුරුම් දී ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම වෙනුවෙන් ජීවිතය පවා කැපකරනවා. රටේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඔබ ආසන්නයේම සිටි සගයා මියගොස් සිටියදී, සදාකාලික ආබාධිතයන් බවට පත්ව සිටියෙදී, දිවුරුම අත්හැරියේ නැහැ. ඔබේ ශරීරය තුළ මූනිස්සම් වැදී, ඇස් අන්ධ වී, අතපය අහිමි වී, අනන්ත අප්‍රමාණ කැපකිරීම් කළත් පාලකයා හැකි හැම අවස්ථාවකදීම ව්‍යවස්ථාව කඩනවා.
චන්ද්‍රිකා තමන්ගේ හිතවතුන්ට ජනාධිපති සමයේදී ඉඩම් ලබාදීම සම්බන්ධයෙන් වැරදිකාරියක් උණා. ආර්ථිකය කඩා වැට්ටවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මහින්ද රාජපක්ෂව වැරදිකරුවෙකු කරා. මෛත්‍රීපාල සිරිසේන හඳපානේ දේශපාලන කුමන්ත්‍රයක් දියත් කිරීම, පාර්ලිමේන්තු විසුරුවා හැරීම, පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම, රෝයල් පාර්ක් එකේ තරුණිය ඝාතනය කළ අපරාධකරු ජනාධිපති බලතල යටතේ නිදහස් කිරීම වැනි ව්‍යවස්ථා උල්ලංඝනය කිරීම් රැසකට වැරදිකරු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරා. ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව පැවැති නඩු ගණනාවක් ජනාධිපති වූ වහාම මුක්තියට යටත් කරලා ඉල්ලා අස්කර ගත්තා. ආර්ථිකය කඩා වැටීම පිළිබඳවත් ඔහු වැරදිකරුවෙකු බවටත් පත් කරා.
මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වීම නිසා, පොලිස්පති ලෙස පත් කරපු දේශබන්දු තෙන්නකෝන්ගේ වැඩ අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරා. අගමැති දිනේෂ් ගුණවර්ධන ඒ නියෝගයට අභියෝග කරන අතර, රනිල් වික්‍රමසිංහ කිව්වෙ මොකක් ද...? කථානායකත් අගවිනිසුරුවරයාත් සාකච්ඡා කර ප්රශ්නය විසඳා ගන්න කියල. චූදිතයෙකුත්, අධිකරණ විනිසුරුවරයෙකුත් සාකච්ඡා කරලා නඩු තීන්දු දෙන්නේ ලෝකයේ කොයි රටේ ද? තවමත් ශ්‍රේෂ්ඨාධිකරණය කථානායක සමග සාකච්ඡා නොකිරීම පිළිබඳ අපි ස්තුතිවන්ත වෙනවා.
නඩු තීන්දුව පිළිගන්නේ නැතිනම්, පොලිස්පති හැටියට එක අත්සනක් ගහන ලෙස දේශබන්දු තෙන්නකෝන්ට අපි අභියෝග කරනවා. පොලීසියට පැවරී තිබෙන කාර්යභාරය ඉටුකිරීම සඳහා දේශබන්දුම ඕන ද? එහෙම නම් ඒ ආයතනවලින් වැඩක් නැහැ. පොලීසියට ඕනෑ වැඩකරන්න නම්, ඊළඟ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වැඩ බලන පොලිස්පති ලෙස පත්කරන්න පුළුවන්. නමුත් රනිල් වික්‍රමසිංහට ඕනෑ වැඩකර ගන්න නම්, දේශබන්දු තෙන්නකෝන් ම ඕනෑ. මහ දවල් අධිකරණයත් එක්ක ජනාධිපති ගැටෙනවා නම්, මහ දවල් ජනාධිපති නීතිය කඩනවා නම්, ඔබගේ වෘත්තියෙන් කරන ලද ඓතිහාසික කාර්යභාරයේ ප්‍රතිඵලයක් තියෙනව ද? එහෙම නම් නීතියේ විධානය, ආධිපත්‍යය සුරක්ෂිත කරන රටක් නිර්මාණය කරන්න බාධා කරන පාලක කණ්ඩායම් පලවා හැරිය යුතුයි. ඒ වෙනුවෙන් ඔබට අත්හැරිය නොහැකි අයිතියක් සහ යුතුකමක් තිබෙන බව අපි විශ්වාස කරනවා.
ලංකාව පාලනය කරන්නෙ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද...?
ඔබ අපේ මව්බිම ස්වාධීනත්වය, ස්වෛරීත්වය, ආරක්ෂා කරන්න කොපමණ කැපකිරීම් කරත් ආර්ථික වශයෙන් කඩා වැටුණු රටක ඒක කරන්න බෑ. අපේ රටේ මූල්‍ය බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට. අයවැය හදන්නේ ආණ්ඩු කියලා අපි හිතනවා. අපේ රටේ බදු තීරණය කරන්නේ, අයවැය ලේඛනය හදන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. ආර්ථිකය කඩා වැටුණු රටක ස්වාධිපත්‍යය, ස්වෛරීභාවය යනු හුදු මිරිඟුවක් විතරයි.
අදානි සමාගමට මන්නාරම් ද්‍රෝණියේ සුළං විදුලි බලාගාර ඉදිකිරීමට අවස්ථාව ලාදී විදුලි ඒකකයක් ඩොලර් ශත 8.22 බැගින් මෙගාවොට් 450ක උත්පාදනයට අවස්ථාව ලබාදී තිබෙනවා. ලංකාවේ දේශීය සමාගමක් මන්නාරම් ද්‍රෝණියේ විදුලි ඒකකයක් ලබාදෙන්නේ ඩොලර් ශත 4.8කට. අදානි සමාගම විසින් ම, ඉන්දියාවේ සුළං බල විදුලිය ලබාදෙන්නේ ඩොලර් ශත 3.5කට.
කොළඹ වරාය ආසන්නයෙන් වසරකට නැව් 36,000ක් ගමන් කරනවා. ලෝකයේ විසිහතරවන තැන කොළඹ වරායට හිමිවී තිබෙන අතර, ඉන්දියාවේ ජවහල්ලාල් නේරු වරායට හිමිවී තිබෙන්නේ තිස්හතරවන තැන. ඒ වරායේ එක ජැටියක් චීනයට දුන්නාම ඊළඟ ජැටිය ඉන්දියාවට දෙන්න වෙනවා. නොරොච්චෝලයේ බලාගාරය, හම්බන්තොට වරාය, රේල් පාරවල් ඉදිකිරීම වගේ ව්‍යාපෘතිවල දි ඉන්දියාවත්, චීනයත් අතර තරගයකට ගොදුරු කර තිබෙනවා.
ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ ජාතික ආරක්ෂාවත් ස්වාධිපත්‍යයත් ආරක්ෂා කෙරෙන වැඩපිළිවෙළක් වසර කිහිපයක් තුළ ක්‍රියාත්මක කරනවා. අපට වඩා කුඩා සිංගප්පූරුව රටේ ස්වාධිපත්‍යය ආරක්ෂා කර ගෙන තිබෙන්නේ ආර්ථික වශයෙන් බලවත් නිසයි. ඒ තත්වයට රට පරිවර්තනය කිරීමේ මූලික වගකීම අපි නිසි ලෙස ඉටුකරනවා.
රනිල්ට දේශබන්දු වැදගත් වන හේතුව
දීර්ඝ කාලයක් ජනතා විමුක්ති පෙරමුණ හැටියට රටේ තිබුණු ඇත්ත ප්‍රශ්න ගැන, ආර්ථික ප්‍රශ්න ගැන ජනතාවට කරුණු කිව්වා. නමුත් ඔවුන් නිර්මාණය කරපු ජාතිවාදී දේශපාලනය විසින් ඇත්ත ප්රශ්නය යට ගහමින් රටේම අවධානය යුද්ධය කෙරෙහි යොමු කර තිබුණා. 1948 වතු ජනතාවගේ පුරවැසිභාවය අහිමි කරා. 1956 භාෂා ප්‍රශ්නයක් පටලවා ගැනීම, 1958 ‘ශ්‍රී’ අකුරේ කළු තෙල් ගෑම, 1965 ‘ඩඩ්ලිගේ බඩේ මසල වඩේ’ කියලා පෙළපාලි යාම, 1972 දෙමළ එක්සත් පෙරමුණ බිහිකරගෙන 1976 දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ බවට පත්කරගෙන වඩුක්කොඩෙයි සම්මේලනයේ දී වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත්කිරීම දක්වා යෝජනා සම්මත කර ගත්තා.
1977 මැතිවරණයේ දී ඒ යෝජනාවට ජන වරමක් ලබාගැනීම සඳහා සූර්යයා ලකුණට ඡන්දය ඉල්ලා සිටියා. ජේ.ආර්. ජයවර්ධනගේ බල වියරුව තුළ 1981 සංවර්ධන සභා ඡන්ද කොල්ලයේ දී යාපනය පුස්තකාලය ගිනි තබා ඒ ජනතාවගේ අයිතිය කොල්ලකෑවා. යාපනයේ ජනතාවගේ අධ්‍යාත්මික බැඳීමක් තිබුණු පුස්තකාලය ගිනි තැබීමෙන් ඒ හදවත් පුපුරා යන්නේ නැද්ද? 1983 කළු ජූලිය නිර්මාණය කරා. 1982 පැවැත්වීමට නියමිතව තිබුණු මහ මැතිවරණය නියමිත පරිදි පැවැත්වූවා නම්, උතුරේ ජනතාවගේ හඬ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසෙනවා.
නමුත් ජේ.ආර්. ජයවර්ධන තමන්ගේ 5/6ක බලය ඒ ලෙසම පවත්වාගෙන යාමට ක්‍රියාකිරීම නිසා උතුරේ සන්නද්ධ ව්‍යාපාරයට ඉඩකඩ නිර්මාණය කරලා 1983 කළු ජූලියෙන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් නිර්මාණය කර ගැනීමේ අවස්ථාව සලසා දුන්නා. 1999 ජනාධිපතිවරණයේ දී චන්ද්‍රිකා දිනන්නේ ටවුන්හෝල් බෝම්බය නිසා. 2005 ජනාධිපතිවරණයේ මූලික වුණේ යුද්ධය. 2010 ජනාධිපතිවරණයේ මූලික වුණේ යුද්ධය අවසන් කිරීමේ ගෞරවය මහින්දට අත්කර ගැනීම. ෆොන්සේකා මහතා අපේක්ෂකයෙක් වෙන්නේත් යුද්ධයට නායකත්වය දුන්න නිසා. 2019 ගෝඨාභය අපේක්ෂකයෙක් බවට පත්කරන්නේ පාස්කු ප්‍රහාරයෙන් පසුව ඇති කළ යුද්ධ භීතිය.
ඒ ගොල්ලෝ යුද්ධ නිර්මාණය කරලා, දීර්ඝ කාලයක් ඔවුන්ගේ පැවැත්ම තහවුරු කර ගත්තත් දැන් රනිල්ලාට, මහින්දලාට යුද්ධ නැතිව පාළුයි. නැවත නැවත ආගමික ගැටුම් ඇතිකර ගැනීම සඳහා උතුරේත් දකුණේත් උත්සාහ කරන බව අපි දන්නනවා. ඒ අයට දේශබන්ධු ඕනෑ කරන්නේ ඒ නිසයි. ඔවුන් කවදාවත් යුද්ධයේ වින්දිතයන් නොවී තමන්ගේ දේශපාලන බලය වෙනුවෙන් එය යොදා ගත්තා.
ජනතාව බය කරන්නෙ අපි ද ආණ්ඩුව ද...?
යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවා ගැනීම වෙනුවෙන් එතෙක් පැවැති බඳවා ගැනීමේ අවම සුදුසුකම විශාල වශයෙන් පහත හෙළුවා. එතනින් නතර නොවී මහා බ්‍රිතාන්‍යයේ පාඨමාලා සඳහා මහජන ධනය රුපියල් එක්කෝටි 80 ලක්ෂයක් වැය කරා. ඊට පස්සේ යුක්රේනයේ පාඨමාලාවකට යවල රුපියල් 36 ලක්ෂයකට ආසන්න මුදලක් මහජන ධනයෙන් වැය කරා. ඊට පස්සෙ ජනාධිපති ආරක්ෂක සේවාවට අනුයුක්ත කරලා වාර 27ක් විදේශගත වීමට අවස්ථාව ලබාදීලා තිබුණා.
මේ රටේ සාමාන්‍ය අම්මා, තාත්තාගේ දරුවන් යුද්ධයේ වින්දිතයන් වෙද්දි ඔවුන්ගේ දරුවන් යුද්ධයේ ප්‍රතිලාභීන් බවට පත් වුණා. උතුරේත් අපේත් සාමාන්‍ය අම්මා තාත්තාගේ දරුවන් සම්බන්ධයෙන් ඒ අම්මලා තාත්තලා තවමත් වේදනාවෙන් ඉකිබිඳිනවා. යළි යුද්ධයක් ඇතිකර නොගන්නා රටක් අපි ගොඩනැගිය යුතු වෙනවා. හමුදාවල සේවයට එක්වී විනය සහ දැනුම වර්ධනය කර ගෙන, වෙනත් රැකියාවලට වඩා කලින් විශ්‍රාම යාමේ අවස්ථාව හිමිව තිබෙනවා. ඔවුන්ගේ ශ්‍රම සම්පත අපතේ යැමට ඉඩ නොදී විශේෂයෙන් ම පෞද්ගලික ආරක්ෂක සේවා සඳහා ගෞරවාන්විතව යෙදවීමට සැලසුම් සකස් කරනවා.
ආරක්ෂක හමුදාවල බඳවා ගැනීම්, උසස් කිරීම් සහ මාරු කිරීම් නියමිත ස්වාධීන ක්‍රියාපටිපාටියකට අනුව සිදුකිරීමේ ප්රස්ථා අපි නිර්මාණය කර දෙනවා. සතුරා මේ වන විට ඔවුන්ගේ ප්රචාරක සැලසුම් මුළුමනින්ම සකස් කර තිබෙන්නේ අප පිළිබඳව ජනතාව තුළ බියක් ඇති කරන්න. සමෘද්ධිලාභීන් හමුවීමට යන ඔවුන් ජාතික ජන බලවේගය යටතේ සහනාධාර කපා හරින බවට බියක් ඇති කරනවා. රැකබලා ගත යුතු ජනතාව රැකබලා ගැනීම ජාතික ජන බලවේගයේ ප්‍රමුඛතම කාර්යභාරයක්.
සජිත්ගෙ පස්සෙන් යන මාධ්‍ය සියල්ලට ඉහළින්
මේ වෙද්දි විදේශ ආයෝජනයන්ට නිසි පරිදි ගලා ඒමට ඉඩ නොදෙන ජනතාවගේ සතුරන් පෞද්ගලික ආයෝජන සම්බන්ධයෙන් විවිධ අවලාද අසත්‍ය ප්‍රචාර ගෙනයනවා. සියල්ලන්ට ඉහළින් බව කියන මාධ්‍යය සජිත්ගේ පිටුපසින් සිට ගෙනයන ප්‍රචාර ගැන අප දන්නවා. සියලු කළු ධනය අපට එරෙහිව මේ ඡන්දයට යොදවනවා. සියලුම අනීතික ක්‍රියාවන් ඉහළින්ම යොදා ගැනීමට උත්සාහ කරන ඡන්දය මේක. ඒ ඕනෑම දෙයකට ඉහළින්ම මුහුණ දිය හැකි මහා ජන බලකායක් අප වටා එකතු වී සිටිනවා. සතුරා ඉදිරියේ පලා නොගිය, සතුරා ඉදිරියේ දණින් නොවැටුණු, දුෂ්කරතා නොතකා ජයග්‍රහණය වෙනුවෙන් ඉදිරියට ගිය ඔබගේ ධෛර්යය හෝ විශ්වාසය කුඩා සෙප්පඩ විජ්ජාවලින් බිඳ වට්ටන්න බැහැ.
රනිල් වික්‍රමසිංහලා, රාජපක්ෂලා, සජිත් ප්‍රේමදාසලා පොම්ප කරන්නේ කළු ධනය, මාධ්‍ය බලය නම්, ඒ සියල්ල අභිභවා යා හැකි විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ සාමූහිකය ජාතික ජන බලවේගය වටා පෙළගැසී සිටිනවා. තමන්ට ලැබෙන කුඩා සොච්චම් විශ්‍රාම වැටුප යොදවමින් ඈත ප්‍රදේශවල සිට මේ පැමිණ සිටින්නේ නිශ්චිත එක් අරමුණක් වෙනුවෙන්. කිසිදු කෝප ගැනීමකට හසු නොවී, උපරිම ප්රජාතන්ත්රවාදයෙන්, උපරිම සාමකාමිත්වයෙන්, කිසිදු කඩාකප්පල්කාරී ක්‍රියාවකට හසු නොවී, වගකීමකින් යුතුව ජාතික ජන බලවේගය ජයග්‍රහණය කිරීමට කැපවීම අවශ්‍යයි.
මෙතනට පැමිණ සිටින හැමදෙනා ම ගමට ගොස් නගන හඬ, පච රූපවාහිනී නාලිකාවලට යට කරන්න බැහැ. මේ එකතු වී ඉන්නේ ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් උපරිම විශ්වාසයෙන් කැපවීමෙන් ක්‍රියාකරන කණ්ඩායමයි. ආහාර වේලක් නැති, වහල වහගන්න තහඩුවක් නැති, සිමෙන්ති කොට්ටයක් නැති ගමේ ඉන්න අහිංසකම ජනතාව සතුරාගේ කුමන්ත්‍රණ මගින් යළි යළිත් රැවටීමට භාජනය කරන්න පුළුවන්. ඔවුන් ඒ රැවටීමෙන් මුදා ගැනීමේ කාර්යභාරය අධිෂ්ඨානශීලීව, ශක්තිමත්ව ඔබ ඉටුකරන්න. ඔබ හමුදාවල දි ඉටුකරේ යුද්ධයේ කාර්යභාරයක්. දැන් ඉතිරිව තිබෙන්නේ ඡන්දයේ කාර්යභාරය ඉටුකරන්න. එය ඉතා හොඳින් ඉටුකළ හැකි බව ඒකාන්තයි.’’