කඩා වැටුණු ආර්ථිකයක් සහිත රටක් නොබියව භාරගෙන ඉතා කෙටි කලකින් නැවත යථා තත්ත්වයට පත් කිරීමේ ගෞරවය
ජනපති රනිල් වික්‍රමසිංහ ට හිමිවිය යුතු බවත්, ඒ නිසා ඉදිරි ජනාධිපතිවරණයේදී මෙරට ජනාධිපතිවරයා ලෙසට රට පත් කරගත යුත්තේ එතුමාම බවත් එක්සත් ජාතික පක්ෂ තරුණ වෘත්තීයවේදීන්ගේ සංවිධානයේ සභාපති නීතිඥ සුමුදු කැකුලන්දල ප්‍රකාශ කළේය.
හෙටත් රට භාරගත යුතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යි යන මැයෙන් කොළඹ නිපෝන් හෝටලයේ අද (06) පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් සභාපතිවරයා එසේ කීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා මෙසේද කීය.
මීට වසර දෙකහමාරකට පෙර අපේ රටේ අරගලයක් තිබුණා. රට අරාජික වුණා. ඒ අවස්ථාවේ හිටපු ජනාධිපතිතුමා රට භාර ගැනීමට විපක්ෂයට ආරාධනා කළා. අද කතා කරන කිසිම නායකයෙක් එදා එය භාර ගත්තේ නැහැ.
වත්මන් ජනාධිපතිවරයා එම අභියෝගය භාර ගත්තා. ඒ වගේම භාරගත් අභියෝග ජය ගත්තා. තාමත් ඒ අභියෝග ඉවර නැහැ. ඉදිරියේදීත් ඒ අභියෝග භාරගත හැකි, ඒවා ජයගත හැකි එකම නායකයා ජනාධිපතිතුමයි.
එක්සත් ජාතික පක්ෂ තරුණ වෘත්තිවේදීන්ගේ සංවිධානයේ ව්‍යවසායක කවයේ ලේකම් සහ කැස්බෑව කලාප සංවිධායක රනිල් විල්ලඅද්දරගේ,
ලෝකයේ කිසිම රටක් ව්‍යවසායකත්වයකින් තොරව දියුණුවක් කරා ළඟා වී නැහැ. අපේ රටේ තරුණ ව්‍යසායකයින්ට යම් බලාපොරොත්තුවක් තිබේනම් ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ වැඩපිළිවෙළ පමණයි. ඒ තුළින් රට දියුණුව කරා ගමන් අරඹා තිබෙනවා. ඒ නැවත අතරමග කඩාකප්පල් කරලීමට කිසිවෙකුට ඉඩ දිය යුතු නැහැ. ඒ නිසාමයි එතුමා නැවත ජනපතිවරයා බවට පත් කළ යුත්තේ.
එක්සත් ජාතික පක්ෂ තරුණ වෘත්තිවේදීන්ගේ සංවිධානයේ භාණ්ඩාගාරික හේෂාන් සමරතුංග,
අප තරුණ වයසායකයෝ. කොන්ත්‍රාත් කටයුතුවල අපි නිරතව සිටිනවා. වැඩ අතරමග නතර කර තිබූ බොහෝ ව්‍යාපෘති දැන් පටන් අරන්. දැන් අපට යම් බලාපොරොත්තුවක් දැල්වී තිබෙනවා. මේ වැඩපිළවෙල තමයි ඉදිරියට යා යුත්තේ.
එක්සත් ජාතික පක්ෂ තරුණ වෘත්තිවේදීන්ගේ සංවිධානය ජාතික සංවිධායක කෝසල ජී. මුණසිංහ,
අපේ රට දැන් නිවැරදි මාවතකට පිවිසී තිබෙනවා. ඊට නායකත්වය දෙන්නේ වත්මන් ජනාධිපතිතුමායි. එතුමා වැඩක් කළ නායකයෙක්. මේ අවස්ථාවේ අප අත්හදා බැලීම් කළයුතු නැහැ. රටේ අනාගතය, ආර්ථිකය, ශක්තිමත් කිරීමට හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතායි. අපි එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙනවා.
එක්සත් ජාතික පක්ෂ තරුණ වෘත්තීයවේදීන්ගේ සංවිධානයේ මොහොමඩ් ෂියාඩ් මුස්නි ද මෙහිදී අදහස් දැක්වුවේය.
(ජේ. මුණසිංහ)