අනුර කුමාර දිසානායක තව දින හතළිස් අටකින් රටේ නායකයා ලෙස පත්කර ගැනීමේ අවස්ථාව එළඹෙන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
ඇය මෙලෙස පැවසුවේ ඊයේ (06) ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක වෙනුවෙන් 2024 ජනාධිපතිවරණය සඳහා මැතිවරණ මහලේකම් කාර්යාලයේ දී ඇප මුදල් තැන්පත් කිරීමේ අවස්ථාවේ දී ය...
මෙම ඓතිහාසික අවස්ථාවේ කොටස්කරුවන් වශයෙන් නියෝජනය වීමට ලැබීම විශාල සතුටක් බවත් ඇය එහිදී පැවසුවාය.
ශ්‍රී ලංකාවට සමාජ සාධාරණත්වයක් උදාකරන, පැහැදිලි දැක්මක් තිබෙන, ශිෂ්ට සම්පන්න නායකයෙක් තෝරා ගැනීමට අවස්ථාව එන තුරු විශාල කාලයක් බලාගන සිටි බවත්, ඓතිහාසික පරිවර්තනයක් සිදුකරමින් අපේ රට ශිෂ්ට සම්පන්න තත්වයකට ඔසවා තැබිය හැකි නායකයෙක් පත්කර ගැනීමේ අවස්ථාව දිනෙන් දින ළං වී තිබෙන බව ද හරිනි අමරසූරිය වැඩි දුරටත් පැවසුවා ය.
'අනුරට රට භාරදීමට ජනතාව බලා සිටිනවා' - විජිත හේරත්
ප්‍රපාතයෙන් රට බේරාගැනීම සඳහා නිවැරදි දැක්මක්, වැඩපිළිවෙළක් ඇති ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ට රට භාරදීමට ජනතාව සූදානමින් පසුවන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මෙහිදී පැවසිය.
ඔහු තවදුරටත් මෙසේද සඳහන් කළේය.
‘‘ජනාධිපතිවරණය වෙනුවෙන් අපේ පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා වෙනුවෙන් අපි සියලු දෙනා පැමිණ ඇප මුදල් තැන්පත් කළා. පහළෙස්වන දා නාම යෝජනා බාරදෙන්න සියලු කටයුතු සූදානම් කරගෙන යනවා.
අපේ රට ආර්ථික වශයෙන් කඩා වට්ටලා දූෂිත, මජර, කැත දේශපාලනයක් ගෙන ගිය යුගය නිමාකර, රට ගොඩනැගීමේ වැඩපිළිවෙළක් සහිත දේශපාලනය ජයග්‍රහණය කරවන්න සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. රටේ බහුතර ජනතාවත් මේ දිනය පැමිණෙන තුරු පුල පුලා බලාගෙන ඉන්නවා. පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා, රට ප්‍රපාතයෙන් ගොඩගැනීමේ වැඩපිළිවෙළක් තිබෙන අනුරට රට බාරදෙන්න සූදානමින් ඉන්නවා. ජාතික ජන බලවේගය රටේ ජනතාවගේ ඡන්දයෙන් අනුරට බාරදෙන්න සූදානම්. මේ පණිවිඩය රටේ සියලුම ජනතාවට අපි මේ අවස්ථාවේ ලබාදෙනවා.’’
එළඹෙන සැප්තැම්බර් 21 දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගයේ අපේක්ෂක ලෙස ඉදිරිපත් වන අනුර කුමාර දිසානායක වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම ඊයේ (06) පෙරවරුවේ රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී සිදුකෙරිණි.
ජාතික ජන බලවේගය වෙනුවෙන් මේ අවස්ථාව සඳහා මහ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ, ජාතික විධායක සභික විජිත හේරත්, ජාතික විධායක සභික හරිනි අමරසූරිය, ජාතික විධායක සභික මවුලවි මුනීර් මුලෆ්ෆර්, ජාතික විධායක සභික හිනිදුම සුනිල් සෙනෙවි, ජාතික විධායක සභික මහින්ද රත්නායක, ජාතික විධායක සභික ව්‍රායි කැලී බල්තසාර්, ජාතික විධායක සභික එරංග ගුණසේකර, ජනාධිපති නිතිඥ උපුල් කුමරප්පෙරුම, නිතීඥ සුනිල් වටගල ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
(ජයසිරි අලවත්ත)