ලංකාවේ මහ ජාතියට සාපේක්ෂව සංඛ්‍යාවෙන් සුළු වූ ජන කොටස් වල අයිතීන් දිනා දීම වෙනුවෙන් සිය දේශපාලන දිවිය පුරා සටන් කිරීම නිසා දකුණේ දී මහත් පීඩාවට පත්වූ වාමාංශික නායකයකු උතුරේදී අනුස්මරණය කර තිබේ.
ජුලි මස 25 වැනිදා දිවි අරගලය නිම කළ නව සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න වෙනුවෙන් ගුණානුස්මරණ කිහිපයක්ම සිංහල දේශපාලන නායකයකු වෙනුවෙන් උතුරු පළාතේ පැවැත්වුණු මුල්ම වතාව මේ බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.
ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා නායකත්වය දරන දෙමළ ජාතික ජනතා පෙරමුණේ යාපනයේ පිහිටි කාර්යාලයේදී ජුලි මස 27 වැනිදා පැවැත්වු අනුස්මරණයට එක් වෙමින් ප්‍රවීණ ලේඛක සහ දෙමළ ජාතික ජනතා පෙරමුණේ සාමාජික එම්.ඊලත්තමිල්මනි, 81 වැනි වියේදී දිවි සැරිය නිම කළ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න හඳුන්වා දී තිබුනේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනාදීම වෙනුවෙන් ජීවත් වු වාමාංශික නායකයකු ලෙසිනි.
"දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ඕනෑම මොහොතක ලබා දිය යුතුය යන මූලික හැඟීම ඔහුගේ හිතේ තිබුන දෙයක්. ඔහු ජීවත් වූයේ ඒ සඳහා ය. හිතුවා නම් ඔහුට සිංහල පක්ෂ සමග එකතු වෙලා දේශපාලනය කරන්න තිබුණා. කෙසේ නමුත් ඔහු තම ප්‍රතිපත්තිය වෙනස් කළේ නෑ. සිංහල ජනතාවට කැමති නම් මාව පිළිගන්න පුළුවන් කියන ප්‍රතිපත්තියේ තමයි එතුමා හිටියේ.”
දෙමළ අයිතීන් දිනා දීම වෙනුවෙන් කළ සටන හේතුවෙන් සිංහලයන් බහුතරයක් අතරේ ද්‍රෝහියකු ලෙස හෙලා දකිනු ලැබූ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න නිවැරදි දේශපාලන දැක්මක් සහිත නායකයකු වු ආකාරයද එම්. ඊලත්තමිල්මනි එහිදී සිහිපත් කර තිබුනි.
"කොතැන ගියත් ඔහු තරයේ කියා සිටියේ දෙමළ ජනයාට ඔවුන්ගේ අයිතිවාසිකම් ලබා දිය යුතු බවයි. එහි ප්‍රතිපලය වුනේ සිංහල පුවත්පත් ඔහු ද්‍රෝහියකු ලෙස ලියන ඒකයි. අදත් එහෙමයි. මේ රට සිංහල බෞද්ධ ප්‍රතිපත්තිය සමඟ කටයුතු කළහොත්, එම ප්‍රතිපත්තිය සමඟින් සිංහල පක්ෂ ගමන් කළහොත් රට භයානක තත්වයකට මුහුණ දෙන්න වෙනවා කියලා එතුමා අනතුරු අඟවා තිබුනා. දෙමළ ජාතිකවාදයට තිබෙන උනන්දුවෙන් වසර 50 ක් විතර ඔහු ක්‍රියා කළා."
යාපනයේ පිහිටි තිරුනෙල්වේලි බ්‍රයිට් ඉන් මංගල ශාලාවේ දී 2024 අගෝස්තු මස 4 වැනි ඉරිදා ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න වෙනුවෙන් දෙමළ ජාතික හරිත ව්‍යාපාරය විසින්ද ගුණානුස්මරණයක් පවත්වා තිබුනි.
දෙමළ ජනතාවට කිසියම් බලයක් බෙදා දෙනු ඇතැයි විශ්වාස කෙරුණු පළාත් සභා ආරක්ෂා කිරීම වෙනුවෙන් සිංහල ජනතාව අතර කැපවී කටයුතු කිරීම නිසා ජනතා විමුක්ති පෙරමුණ විසින් නව සම සමාජ පක්ෂයේ ක්‍රියාකාරීන් ඝාතනය කළ ආකාරය දෙමළ ජාතික හරිත ව්‍යාපාරයේ සභාපති, උතුරු පළාත් සභාවේ හිටපු කෘෂිකර්ම අමාත්‍ය පොන්නුතුරෙයි අයින්ගරනේෂන් එහිදී සිහිපත් කර තිබුනි.
"ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය අපට විසඳුමකුත් නොමෙයි, ආරම්භක ලක්ෂයකුත් නොමෙයි. දීර්ඝ කාලීන දෙමළ ජාතික විමුක්ති අරගලයේ හුස්මක් ගන්න තැනක් විදිහටයි අපි එක දකින්නේ. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුමට දකුණ විරුද්ධ වූ විට ඔහු ඊට සහය දුන්නා. එයට සහාය දීම නිසා ඔහුගේ බොහෝ සගයන් එවකට ජවිපෙ විසින් වෙඩි තබා ඝාතනය කරා."
ජවිපෙ නායකත්වයෙන් යුත් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් වෙඩි තැබීම නිසා 1988 දී ආචාර්ය වික්‍රමබාහු මාරාන්තික ලෙස තුවාල ලැබීය.
ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායක, ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ද දෙමළ ජනතාවගේ ස්වයංතීරණ අයිතිය වෙනුවෙන් සිය දේශපාලන ජීවිත කාලය තුලම අරගලයේ යෙදුනු ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටි දේශපාලන නායකයන් අතර විය.
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ වව්නියාවේ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් විසින්ද පසුගියදා වව්නියාවේදී ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න වෙනුවෙන් ගුණ සමරුවක් පැවැත්වූ බවයි.