යම් යම් මතවාද පසෙකලා මාතෘභූමිය සහ පක්ෂය දිනවීම සඳහා යළි එක්වන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව)නායක
සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය පක්ෂයෙන් වෙන්ව ගිය මන්ත්‍රී කණ්ඩායමට ආරාධනා කර තිබේ.
පසුගිය කාලයේ මෙන් එකාවන්ට එක්ව වැඩකළ හැකි බව පෙන්වාදෙන පොහොට්ටු නායකයා, ඒ අනුව යළි පක්ෂයට එක්වන්නැයි ආරාධනා කරයි.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ දී අද (07) පෙරවරුවේ පැවැති "2024 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමේ උත්වයෙන් පසුව මාධ්‍යය" අමතමින් ඔහු මේ බව සදහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් පළකළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ,
අපි ඉදිරි ජනාධිපතිවරණයෙන් අනිවාර්යයෙන් ජයග්‍රහණය කරනවා. මම දේශපාලනයට පැමිණ වසර 50 කට වැඩි වෙනවා. 1970 වසරේ දී මම දේශපාලනයට පැමිණියා. මගේ දේශපාලන අත්දැකීම් අනුව මෙවර ජනාධිපතිවරණයෙන් අපි ජයග්‍රහණය කරනවා. ජයග්‍රහණය කරනවා කිව්වම ඒ සම්බන්ධයෙන් සතුටු වෙන්න පුළුවන්. අපේක්ෂකයන් ඉන්නවා. නාමල් රාජපක්ෂ ඊට වඩා ප්‍රබලයි. පොහොට්ටුවෙන් ගිය මන්ත්‍රී කණ්ඩායමට ද යළි එන්න කියා අපි ආරාධනා කරනවා. ඇතැමුන් අනිවාර්යෙන් එනවා. පොහොට්ටුවෙන් ගිය පිරිසට මම ආරාධනා කරනවා අපි සමඟ එක්ව කටයුතු කරන්න කියලා.
පොහොට්ටුවට ආදරය කරන ජනතාව නාමල් රාජපක්ෂ පිලිගනු ඇතැයි මම විශ්වාස කරනවා. රටේ තරුණයෝ ටික තරුණ නායකත්වය සමඟ ගමන් කරයි. ඒ අය උදව් කරන්න ඕන. වැඩ කරන්න ඕන. එයාලගේ වගකීමක් ඒක. අරගලය විසින් ඉල්ලුවේ මෙරටට තරුණ නායකත්වයක්. දැන් අපි ඒ අවස්ථාව ලබාදී තිබෙනවා. ළඟින්ම සිටි පිරිසක් අපෙන් වෙන්ව යාම සම්බන්ධයෙන් කණගාටුවක් තිබෙනවා. නමුත් දේශපාලනයේ ස්වාභාවය එහෙමයි. එනවා යනවා. නමුත් මම වෙනස් වුණේ නැහැ.
අභියෝගය බාර ගන්න සුදානම් - නාමල්
අපේ ගණුදෙනුව තිබෙන්නේ පාක්ෂිකයන් සමඟයි - නාමල් රාජපක්ෂ
මෙහිදී අදහස් පළකළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ ජනාධිපතිධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මෙසේ සඳහන් කළේය.
''මා කෙරෙහි විශ්වාසය තැබීම සම්බන්ධයෙන් පක්ෂයේ සාමාජිකයන්ට මෙන්ම දේශපාලන මණ්ඩලයට මාගේ ගෞරවය පිරිනමනවා. මේ අභියෝගාත්මක කාලයේ මේ වගකීම බාරදීම පිළිබඳව ද ස්තුතිවන්ත වෙනවා. පැහැදිලිවම අභියෝග බාරගන්න අපි සූදානම්. නායකත්වය සහ තරුණයන් අවශ්‍ය වන්නේ අභියෝග පවතින වෙලාවට. අපි පාක්ෂිකයන් මෙන්ම ප්‍රතිපත්ති කෙරෙහි විශ්වාස කරනවා. මේ රටේ තරුණ පරම්පරාව අපේක්ෂා කරන නූතන පරම්පරාවේ දේශපාලන බලවේගයක් විදියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙමාපියන්ගේත් තරුණයන්ගේත් අපේක්ෂාවන් මල්ඵල ගන්වන්න අපි කටයුතු කරනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා විදියටත් ජනාධිපති අපේක්ෂකයා විදියටත් අපෙන් ගිය සියලු දෙනාට ගෞරවයෙන් ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඒ ගියේ අපිත් එක්ක එකට සිටි අයයි. අපි ළඟ හිත් අමනාපකම් තිබෙන්න ඇති. වෙනස්කම් තිබෙන්න ඇති. අපි කාගෙත් අඩුපාඩු ඇති. ඒවා හදාගෙන ඉදිරියට යමු. ඒ සියලු දෙනාටම අපි ආරාධනා කරනවා. පැහැදිලිවම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරනවා. මගේ ජයග්‍රහණය කියන්නේ පක්ෂයේ ජයග්‍රහණයක්. පක්ෂයේ ජයග්‍රහණය කියන්නේ රටේ ජයග්‍රහණය වෙනවා. අපි අභියෝගවලට මුහුණ දෙන්න සූදානම්.
අපේ ගණුදෙනුව තිබෙන්නේ පාක්ෂිකයන් සමඟයි. පාක්ෂිකයා සහ ජනතාව ජයග්‍රහණය කරන්න, රටේ ඒකීයත්වය ආරක්ෂා කරමින් රට ජයග්‍රහණය කරන්න අපි කටයුතු කරනවා. පොහොට්ටුවේ පෙති ගලවන්න උත්සාහ කරන්න පුළුවන්. නමුත් පොහොට්ටුව පිපෙන්නෙත් මඩේ. නැට්ට හෝ මල හෝ තිබෙන්නේ ජනතාව ළඟයි. යම් යම් අය උත්සාහ කරනන් පුළුවන්. නමුත් ජනතාව අවසන් තීන්දුව ගනී. මට වගකීමක් පැවරී තිබෙනවා. ඒ වගකීම ඉටු කරනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ, රාජ්‍ය ඇමැතිවරුන් වන ඉන්දික අනුරුද්ධ, ඩී.වී චානක, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, ප්‍රසන්න රණවීර, තේනුක විදානගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණී ලොකුගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සරත් වීරසේකර, සංජීව එදිරිමාන්න, තිස්ස කුට්ටිආරච්චි, නිපුණ රණවක, ජයන්ත කැටගොඩ ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා ලෙස ද කටයුතු කරන අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ වැඩිමහල් පුත්‍රයා වේ.
පසුගිය පොදුජන පෙරමුණු ආණ්ඩුවේ ක්‍රීඩා, යෞවන කටයුතු ඇමැතිධූරය ඇතුළුව අමාත්‍යධූර කීහිපයක කටයුතු කළේය. තිස්අටවැනි වියේ පසුවන නාමල් රාජපක්ෂ පසුගිය 2010 වසරේ පැවැති මහ මැතිවරණයේ දී මුල්වරට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ ආදි සිසුවෙකි.
ඊට අමතරව දක්ෂ රග්බි ක්‍රීඩකයෙක් වන නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ නායකත්වය ද දැරිය. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෘත්තියෙන් නීතීඥවරයෙකි.