ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ජනාධිපතිවරණ මෙහෙයුමට අදාළ තේමා පාඨය ඊයේ (07) එළිදක්වනු ලැබිය.
'පුළුවන් ශ්‍රී ලංකා' එම තේමා පාඨයයි.
මාධ්‍ය ප්‍රධානීන් සමඟ ඊයේ (7) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති හමුවේදී එම තේමා පාඨය පළමු වරට හඳුන්වා දෙනු ලැබිය.
අනෙක් අපේක්ෂකයන් එන්නේ තමන්ගේ අනාගතය වෙනුවෙන් - මා එන්නේ රටේත් ජනතාවගේත් අනාගතය වෙනුවෙන්
අනෙකුත් අපේක්ෂකයන් තමන්ගේ අනාගතය වෙනුවෙන් ජනාධිපතිවරණයට තරග කරන විට තමා ඊට ඉදිරිපත්ව සිටින්නේ රටේත්, ජනතාවගේත් අනාගතය ගොඩනැඟීම වෙනුවෙන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මාධ්‍ය ප්‍රධානීන් හමුවේ පැවසිය.
ආර්ථික වශයෙන් රට දැඩි අර්බුදයට ලක් වූ අවස්ථා දෙකකදී රට ඒ තත්ත්වයෙන් මුදාගනිමින්, හැකියාව ඔප්පු කර ඇති නිසා එහිදී තමාට කිසිවකු සමඟ සටනක් නැති බවද මෙහිදී පැවසූ ජනාධිපතිවරයා, රට ඉදිරියට ගෙන යෑමේ එකම මාර්ගය ලෙස රජය ආරම්භ කළ ආර්ථික වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑමේ වරම මෙවර ජනාධිපතිවරණයේදී තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බවද පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ,
“ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමෙන් පසු පළමු වතාවට මාධ්‍ය මුණගැසීමට මා තීරණය කළා. මා අද ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන්නේ වෙන කිසිවෙක් එම තනතුර භාර ගැනීමට ඉදිරිපත් නොවූ නිසයි. ධුරය භාර ගෙන වසර දෙකක් තුළ රටේ මූලික ප්‍රශ්නයට මම විසඳුම් දුන්නා. ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය විසඳන්න බැහැ, ග්‍රීසියට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට වසර 10ක් ගත වුණා; ඉන්දුනිසියාවට වසර 8ක් ගත වුණා. ශ්‍රී ලංකාව මේ ප්‍රශ්නය විසඳන්නේ කොහොමද කියා ඇතැමුන් ප්‍රශ්න කළා. ඒත් මේ ප්‍රශ්නය කෙටි කලකින් විසඳාගත හැකි බව මා විශ්වාස කළා.
මේ කාරණය එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ මා සාකච්ඡා කළා. ඒ නිසා බය නැතිව මේ අභියෝගය භාර ගත්තා. ඒත් මට සහයෝගය දීමට තනි පක්ෂයක් තිබුණේ නැහැ. පොදුජන පෙරමුණේ පිරිසක් අපත් සමඟ එක් වුණා, තවත් පිරිසක් විපක්ෂයට ගියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් අපත් සමඟ සිටියා. ඇතැම් පිරිසක් විපක්ෂය සමඟ එක් වුණා. මම පක්ෂයක් නැතිව ආණ්ඩුවක් හදලා මේ වගකීම භාර ගත්තා. දැන් අප එම මූලික වැඩකටයුතු අවසන් කර තිබෙනවා. රට බංකොලොත්භාවයෙන් නිදහස් කරගැනීමේ මාර්ගය අප දැන් සකස් කර තිබෙනවා. අප එම මාර්ගයේ ඉදිරියට ගමන් කරමු.
“මේ රටේ ආර්ථික ක්‍රමය කඩාවැටුණ නිසා ජනතාව දුක් වින්දා. ඒ වගේම බදු බර වැඩි වීම නිසා ඇතැම් අයට දරා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වුණා. ඒ පිළිබඳ මා කනගාටු වනවා. එහෙත් එය සිදු නොකර රටේ ආර්ථිකය පවත්වාගෙන යෑමට නොහැකි වුණා. අපේ රටේ දේශපාලනයේ තිබෙන ගැටලුව වන්නේ ඇත්ත කීමට සූදානම් නොවීමයි.
“ස්ථාවරභාවයක් නැතිව රටක් දියුණු කරන්න බැහැ. මම ඊයේ රූපවාහිනියෙන් බංග්ලාදේශයේ සිදුවීම් නරඹන විට මට සිතුණේ මම මේ රට භාර ගත්තේ නැති නම් රටට මොකක්ද වෙන්නේ කියලා. බංග්ලාදේශ අගමැතිනියට ඉවත් වන ලෙස පැවසුවත් එය භාර ගැනීමට ආයතනයක් තිබුණේ නැහැ. අන්තර්පාලනයක් සඳහා හමුදාව පැමිණියත් හමුදාව පිළිගන්න බැහැ කියා විරෝධතාකරුවන් ප්‍රකාශ කළා. මුහම්මද් යුනුස් මැතිතුමා අගමැති ලෙස පත් කරන්න කියලා ඔවුන් දන්වා සිටියා. ඔවුන්ගේ ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා අගමැති වීමට නම් මන්ත්‍රීවරයකු විය යුතුයි කියලා. අප ඒ තත්ත්වයට පත් වුණා නම් මොකද වෙන්නේ? අපි වාසනාවන්ත රටක්. අපට කෙසේ හෝ ආණ්ඩුවක් ගොඩනඟාගැනීමට හැකි වුණා. ඒ නිසා තමයි අද ජනාධිපතිවරණය පැවැත්වීමට අවස්ථාව ලැබී තිබෙන්නේ.
“මෙවර ජනාධිපතිවරණයේදී ඔබ තීරණය කළ යුත්තේ රටේ අනාගතයයි. මේ මාර්ගයේ ඉදිරියට ගොස් අප දියුණු රටක් බවට පත් වෙනවාද? රටේ දුක් විඳින ජනතාවට සහන දෙනවාද? තරුණයන්ට හොඳ අනාගතයක් ගොඩනඟා දෙනවාද? එසේ නැතිව පැරණි දේශපාලනයේ නිරතව නැවත ආර්ථිකය කඩාවැටී පෝලිම් යුගයකට යනවාද? කියා අප තීරණය කළ යුතුයි.
“එහිදී මුහුණු දෙස බලන්න අවශ්‍ය නැහැ. එහිදී තීරණය කළ යුත්තේ තමන්ට රට බේරාගැනීමට ශක්තියක් තිබෙනවාද හා ප්‍රතිපත්ති තිබෙනවාද නැද්ද යන්න පමණයි. මෙවර ජනාධිපතිවරණයේදී තීරණය කළ යුත්තේ අපේක්ෂකයන්ගේ අනාගතය නොවෙයි. රටේ අනාගතයයි; ජනතාවගේ අනාගතයයි. අප මෙතැන් සිට ක්‍රමානුකූලව ඉදිරියට යනවාද? ශක්තිමත්ව රටේ ප්‍රශ්න විසඳාගන්නවාද? නැත්නම් 2022 පැවති තත්ත්වයට යනවාද? කියා තීරණය කළ යුතුයි.
“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අපට ණය දෙන රටවල් සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම් එකක්වත් කඩ කිරීමට හැකියාවක් නැහැ. එසේ කළ හොත් අපට මුදල් ලැබෙන්නේ නැහැ. එවිට අපේ රටේ ආර්ථිකය නැවත කඩාවැටෙනවා. විවිධ පාර්ශ්වවලට විවිධ පොරොන්දු දිය හැකියි. එහෙත් ඒවා ඉටු කිරීමට හැකියාවක් නැහැ. එවිට වැට් බදු තවත් වැඩි කිරීමට සිදු වනවා. එයයි සත්‍ය තත්ත්වය. අප සත්‍ය ප්‍රකාශ කර රට බේරා ගැනීමට සූදානම්ද? නැත්නම් බොරු කියලා බලය ගැනීමට සූදානම්ද? කියා සිතිය යුතුව තිබෙනවා. ඒ නිසා රජය ආරම්භ කළ මේ වැඩසටහන් ඉදිරියට ගෙන යෑමේ වරම මා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”
මෙහිදී මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්න කිහිපයක් සහ ඒවාට ජනාධිපතිවරයා දුන් පිළිතුරු මෙසේය:
''මා එන්නේ සටන් කරන්න නෙවෙයි; රට ගොඩනඟන ප්‍රතිපත්තිය ජනතාවට ඉදිරිපත් කර රට ඉදිරියට ගෙන යෑමේ මාර්ගය පෙන්වා දීමටයි''
ප්‍රශ්නය:
ධම්මික පෙරේරා මහතා තරගයෙන් ඉවත් වී නාමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කර තිබෙනවා. පොදු ජන පෙරමුණේ වැඩි පිරිසක් ඉන්නේ ඔබ සමඟයි. ඒත් නාමල් මහතා ලොකු සටනක් දෙයි කියා ඔබ බලාපොරොත්තු වෙනවාද?
පිළිතුර:
සටන කොහොම වේවිද කියා මා දන්නේ නැහැ. මා එන්නේ සටන් කරන්න නෙවෙයි; රට ගොඩනඟන ප්‍රතිපත්තිය ජනතාවට ඉදිරිපත් කර රට ඉදිරියට ගෙන යෑමේ මාර්ගය පෙන්වා දීමටයි. ඊට කැමැති නම් ඡන්දය දිය හැකියි. ජනාධිපති ධුරය සඳහා එදා පාර්ලිමේන්තුවේ කළ ඡන්ද විමසීමේදී නාමල් රාජපක්ෂ මහත්මයාත්, පොදු ජන පෙරමුණත් මට ඡන්දය දුන්නා. ඒ වෙනුවෙන් මම ස්තුතිවන්ත වෙනවා. අප එකඟ වුණේ මේ වසර දෙක තුළ එක්ව වැඩ කරමු කියන කරුණටයි. දැන් ඒ වසර දෙක ගෙවී අවසන්. සහයෝගය දීම හෝ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම පිළිබඳ ඒ පක්ෂය තීරණය කළ යුතුයි. ඒ අනුව දැන් තිබෙන්නේ තමන්ගේ කරුණු රටට ඉදිරිපත් කිරීමටයි.
ප්‍රශ්නය:
මෙවර ජනාධිපතිවරණයේදී ඔබේ ප්‍රතිවාදීන් ලෙස එක් පසෙකින් විධායක ජනාධිපතිවරු දෙදෙනකුගේ පුතුන් දෙදෙනකු තරග වදිනවා. අනෙක් පසින් රාජ්‍ය බලයක් ලබා නොගත් අපේක්ෂකයෙක් තරග වදිනවා. මෙම සිව්කොන් සටන තුළ අනෙක් අපේක්ෂකයන් ඔබට අභියෝගයක් නොවේද?
පිළිතුර:
මට මේ කිසිවක් අභියෝගයක් නොවෙයි. මහින්ද රාජපක්ෂ මහත්මයා සමඟ මා එක්ව මෙන්ම විරුද්ධවද දේශපාලනය කර තිබෙනවා. ප්‍රේමදාස ජනාධිපතිවරයාට දෝෂාභියෝගයක් පැමිණි අවස්ථාවේ මා එය බේරා දුන්නා. අනුර දිසානායක මහත්මයා මගේ හොඳ මිත්‍රයෙක්.
ප්‍රශ්නය:
ඔබ වතුකරයේ ජනතාවට රු. 1,700ක වැටුපක් දෙන බවට පොරොන්දුවක් දුන්නා. මෙවර ඔවුන්ට ඒ රු. 1,700 ලැබේවිද?
පිළිතුර:
සමහර සමාගම්වලට ගෙවන්න හැකි නම් අනෙක් සමාගම්වලට බැරි වෙන්න බැහැ. එසේ ගෙවිය නොහැකි සමාගම් සතු ඉඩම් අරගෙන ගෙවීම් කළ හැකි සමාගම්වලට දිය යුතුයි. මේ රටේ වතුකරයේ ජනතාවට මේ මුදල දිය යුතුයි. ඔවුන් ජීවත් වන්නේ අපහසුවෙන්. ඒ වගේම ඔවුන් ජීවත් වන ලයින් කාමර පිළිබඳ බදු ගිවිසුම අහෝසි කර ඒවා ගම්මාන බවට පත් කිරීමටත් අප කටයුතු කරනවා.
ප්‍රශ්නය:
ඔබ සහ අධිකරණය අතර යම් ගැටුමක් තිබෙනවාද? කථානායකවරයාට අගවිනිසුරු සමඟ සාකච්ඡා කර පොලිස්පති පිළිබඳ ගැටලුව විසඳන ලෙස ඔබ පසුගියදා ප්‍රකාශ කළා. එහෙත් අද වන තුරු එය සිදු වී නැහැ…
පිළිතුර:
මා කළේ යෝජනාවක් පමණයි. මෙහිදී අධිකරණය එක් පසෙකින් තීරණයක් දුන්නා. පාර්ලිමේන්තුව තවත් පසෙකින් තීරණයක් දුන්නා. මා විධායකය ලෙස මේ යෝජනාව කළේ පිටත සිටයි. එය කරනවාද? නැද්ද? යන්න ඔවුන්ගේ තීරණයක්. ජනාධිපති ලෙස මා වග කියන්නේ පාර්ලිමේන්තුවටයි. පාර්ලිමේන්තුව දුන් තීරණය මට ක්‍රියාත්මක කරන්න වෙනවා.
ප්‍රශ්නය:
විවිධ චෝදනා තිබෙන අයත් ඔබ සමඟ සිටින නිසා ඔවුන් සමඟ ඔබට ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකි වනු ඇති බව විශ්වාස කරනවාද?
පිළිතුර:
මා සමඟ සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක්. චෝදනා තිබෙන අය ඉන්නවා නම් ඔවුන්ට නඩු පැවරිය හැකියි. මා ඒ කිසිවක් නවත්වා නැහැ. චෝදනා තිබෙන අය තෝරාගන්නවාද? නැද්ද? කියන එක ඡන්ද දායකයන් තීරණය කළ යුතුයි. කිසිවකු සිදු නොකළ අන්දමින් දූෂණ විරෝධි පනත අප ගෙනැවිත් තිබෙනවා. අපරාධයකින් උපයා ගත් දේපළ පිළිබඳ පනත් කෙටුම්පත ලබන සතියේ අනුමත කර ගැසට් කරනවා. හැමදෙනාම දූෂණය, දූෂණය කියලා කෑගැහුවත් ඒ සම්බන්ධ වැඩපිළිවෙළක් ගැන කතා කළේ නැහැ. නමුත් අප ඒ පිළිබඳ කටයුතු කර තිබෙනවා.
මගේ ඉදිරි ගමන වෙන්නේ ජනාධිපති ධුරයට පත් වීමයි. ඔවුන්ගේ ඉදිරි ගමන වන්නේ පාර්ලිමේන්තුවට තේරී පත් වීමයි. ඡන්ද දායකයන් ඔවුන් ප්‍රතික්ෂේප කළොත් ඒ ප්‍රශ්නය එතැනින් ඉවරයි. දේශපාලනයේ අප විවිධ අය සමඟ කටයුතු කරනවා. ඔවුන් හොරුන්ද? නැද්ද? කියන එක හොයන එක නීතිය සතු කටයුත්තක්.