ඉදිරි ජනාධිපතිවරණය සදහා තරග වදින දෙමළ පොදු අපේක්ෂකයා ලෙස හිටපු දෙමළ ජනතා නියෝජිතයකු ප්‍රකාශයට පත් කර තිබේ.
දෙමළ ජාතික පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නල්ලතම්බි ශ්‍රී කාන්තා අගෝස්තු 8 වැනි බ්‍රහස්පතින්දා යාපනයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශයට පත් කළේ ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාක්‍යසෙල්වම් අරියනේත්‍රන් දෙමළ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බවයි.
හිටපු මාධ්‍යවේදියකුද වන නැගෙනහිර පළාතේ ITAK නායකයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ එම පක්ෂයේ උතුරේ නායකයෙක් දකුණෙන් තරග වදින ප්‍රධාන පෙලේ අපේක්ෂකයකුට ඡන්දය දීම වෙනුවෙන් ප්‍රසිද්ධියේම අදහස් පළකර සිටියදීය.
දෙමළ අපේක්ෂකයා ප්‍රකාශයට පත් කෙරුණු මාධ්‍ය හමුව සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ඇතුළු සිවිල් ක්‍රියාකාරීන් කිහිපදෙනෙක්ම එක්ව සිටියහ.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා දෙමළ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට පසුගිය මාස කිහිපය තුළ උතුරේ එකඟතාවක් ඇති වුයේ මෙතෙක් බලයට පත් කිසිම දකුණේ සිංහල නායකත්වයකට දෙමළ අපේක්ෂා ඉටු කිරීමට මේ තාක් නොහැකි වී ඇති හෙයිනි.
මතවාද තුනක් ප්‍රසිද්ධියට
දෙමළ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමත් සමග ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් උතුරු නැගෙනහිර දෙමළ දේශපාලකයන් අතරින් මතවාද තුනක් ප්‍රසිද්ධියට පත්වී තිබේ.
පාක්‍යසෙල්වම් අරියනේත්‍රන් නියෝජනය කරන ITAK පක්ෂයේ යාපන දිස්ත්‍රික් පාර්ලිමේන්තු එම් ඒ සුමන්දිරන් අපේක්ෂකයකු ඉදිරිපත් වීම ප්‍රතික්ෂේප කර ඇත්තේ ‘පිස්සු අදහසක්’ ලෙසිනි.
දෙමළ අපේක්ෂකයා සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් නොලදහොත් එය ස්වයංතීරණ අයිතිය ප්‍රතික්ෂේප කිරීමක් ලෙස දකුණේ දේශපාලකයන් විසින් නිර්වචනය කරනු ඇති බවට මන්ත්‍රීවරයා රුපවාහිනී සාකච්ඡාවකදී බිය පළකර තිබුණි.
ජනාධිපතිවරණය යනු ‘දෙමළ ප්‍රශ්න ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් කොට නොගත යුතු’ යයි විශ්වාස කරන මන්ත්‍රීවරයා තවදුරටත් පවසා තිබුනේ ඡන්දය දීමට සුදුස්සකු තෝරා ගැනීම සඳහා මේ වනවිටත් දකුණේ පක්ෂ සමග සාකච්ඡා ආරම්භ කොට ඇති බවයි.
පොදු අපේක්ෂක ගිවිසුම
මුල්ලිවයික්කාල් සංහාරයට පසු ගෙවි ගිය වසර 15 කාලය තුළ ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් සහ දෙමළ ජනතාවට සමාන අයිතිවාසිකම් ලබා දීම සඳහා මෙතෙක් පැවති ආණ්ඩු කිසිදු පියවරක් ගෙන නොමැති නිසා ඉදිරි ජනාධිපතිවරණයේදි දෙමළ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තීරණය කරමින් දෙමළ දේශපාලන පක්ෂ හතක් සහ දෙමළ සිවිල් සමාජ ක්‍රියාකාරීන් හත් දෙනකු “දෙමළ ජාතික පොදු රාමුව ” නමින් 2024 ජුලි 22 වැනිදා යාපනයේ දී ගිවිසුම් අත්සන් කර තිබුනි.
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ තමිල් ඊළාම් විමුක්ති සංවිධානය (ටෙලෝ) නියෝජනය කරමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෛක්කලනාදන්, ප්ලොට් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන්, EPRLF නායක හිටපු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරන්, දෙමළ ජාතික පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නල්ලතම්බි ශ්‍රී කාන්තා, දෙමළ ජාතික හරිත ව්‍යාපාරයේ සභාපති සහ උතුරු පළාත් සභාවේ හිටපු කෘෂිකර්ම අමාත්‍ය පොන්නුතුරෙයි අයින්ගරනේෂන් සහ ප්රජාතන්ත්රවාදී සටන්කාමින්ගේ පක්ෂයේ නායක සී වේන්දන් යාපනයේ තන්දෙයි සිල්වා ශාලාවේදි එම ගිවිසුමට දේශපාලන පක්ෂ නියෝජනය කරමින් අත්සන් තැබු බවයි.
දෙමළ සිවිල් සමාජය නියෝජනය කරමින් එම ගිවිසුමට අත්සන් තබා තිබුනේ යාපනය විශ්ව විද්‍යාලයේ දේශපාලන අංශයේ මහාචාර්ය කේ.ටී ගනේෂලිංගම්, සමාජවිද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානයේ නීතිඥ සී.ඒ ජෝතිලිංගම්, දේශපාලන විචාරකයන් වන එම්. නිලාන්දන් හා ඒ ජදීන්ද්රා, සහ දේශපාලන සහ සමාජ ක්‍රියාකාරීන් වන ටී. වසන්තරාජා හා සෙල්වින් ඉරේනියස්, රාජලිංගම් විග්නේෂ්වරන්ය.
කොන්දේසි නමයක් යටතේ අත්සන් තැබු එම ගිවිසුමෙහි “දෙමළ ජාතික පොදු රාමුව” පොදු අපේක්ෂකයකු ලෙස තෝරා පත් කර ගන්නා අපේක්ෂකයා නම් කිරීමෙන් පසු ඔහු සහ ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන පිලිගත් දේශපාලන පක්ෂය වෙන වෙනම අනිකුත් පක්ෂ හය සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් හත් දෙනා සමග තනි තනිව ගිවිසුම් අත්සන් කළ යුතුට එහි සදහන්ව තිබුනි.
වර්ජනය
ඒකීය රාජ්‍යයක් තුළ රටේ බහුතර ජන වර්ගය වෙනුවෙන් පමණක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා කටයුතු කරන බව පෙන්වා දෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම්ගේ නායකත්වය හා පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන්ගේ ලේකම් ධුරය යටතේ ක්‍රියාත්මක වන, දෙමළ ජාතික ජනතා පෙරමුණ (TNPF) ජනාධිපතිවරණය වර්ජනය කරන මෙන් උතුරු නැගෙනහිර ජනතාවගෙන් ඉල්ලා සිටිමින් දැනටමත් ප්රචාරක කටයුතු ආරම්භ කර තිබේ.
2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් 21 වැනි දිනයි. මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කර ඇති පරිදි අගෝස්තු 08 වැනි බ්‍රහස්පතින්දා වන විට ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප තැන්පත් කර ඇති අපේක්ෂකයන් ගණන 24 කි.