theleaderlk 01

මුස්ලිම් කොන්ග්‍රසයට සම්බන්ධව දේශපාලනය කළ බොහෝ පිරිසක් ගම්වල සිටින බවත්, මේ ජනාධිපතිවරණය පවත්වන්නේ මුස්ලිම් කොන්ග්‍රසයේ

කෙනෙක් පාර්ලිමේන්තුවට යැවීමට නොවන බවත්, මෙය ජනාධිපතිවරණයක් පවත්වා රටට නායකත්වය සැපයීම සඳහා පුද්ගලයකු තෝරන මැතිවරණයක් බවත්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසී ය.

අනුර කුමාර දිසානායක මෙලෙස පැවසුවේ ඊයේ (08) බියගම පැවති මුස්ලිම් සහෝදරත්වයේ රැලිය අමතමිනි.

ඔබගේ නායකයෙක් පාර්ලිමේන්තුවට යවන්න අවශ්‍ය යැයි අපේක්ෂා කරනවා නම්, මහා මැතිවරණයේ දී ඒ වෙනුවෙන් ඡන්දය භාවිත ලෙසත්, නමුත් ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවීම සඳහා එකතු වෙන්නැයි ආරාධනා කරන බවත්, රට පුරා විසිරී සිටින මුස්ලිම් ජනතාව වෙත ජාතික ජන බලවේගයේ පණිවිඩය ගෙනයන්න විශාල කැපවීමක්, වෙහෙසක් දරන පිරිසක් මෙතනට ඒකරාශී වී සිටින බවත්, සැප්තැම්බර් විසි වෙන දිට අපේ රටට අලුත් ජනාධිපතිවරයෙක් පත්වීමට නියමිත බවත්, සිටින ජනාධිපති නම් කොහොමත් දිනන්නේ නැති බව පැහැදිලි බවත්, ඔබ සැම හමුවන්නට අපි පැමිණියේ මේ ජනාධිපතිරණයේදී ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවන්නැයි ඉල්ලා සිටිමට බවත් අනුර කුමාර දිසානායක එහි දී වැඩි දුරටත් පැවසී ය.

මතු දැක්වෙන්නේ එහි දී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කළ අදහස් දැක්වීම ය.

''මේ ජනාධිපතිවරණය පවත්වන්නේ මුස්ලිම් කොන්ග්‍රසයේ කෙනෙක් පාර්ලිමේන්තුවට යවන්න නෙවෙයි''

‘‘ගොඩක් දේශපාලන කතා, පණිවිඩ දැන් අවශ්‍යත් නොවන තරම්. මේ දවස්වල සිදුවෙන සිදුවීම් හොඳට බැලුවත් තෝරා ගන්න  ඕනෑ කවුද කියලා තීරණය කරන්න පුළුවන්. ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ වැඩිම මනාප ගත්තේ නාලක ගොඩහේවා. පොහොට්ටුවේ නාලක ගොඩහේවා දැන් ඉන්නේත් ස.ජ.බ.යේ. ජාතිවාදය ඇවිස්සූ, කෝවිඩ් වසංගතයෙන් මියගිය ඉස්ලාම් භක්තිකයන් ලෝකයේ අනෙක් රටවල මිහිදන් කරද්දී ලංකාවේ විතරක් ආදාහනය කරන්න ඕනෑ යැයි පැසූ ආණ්ඩුව නියෝජනය කරපු නාලක ගොඩහේවා දැන් ඉන්නේ සජිත් එක්ක. මුස්ලිම් ජනතාව වේදනාවට පත්කළ ආදාහනය කිරීමේ තීන්දු ගැනීමේදී නාලක ගොඩහේවලා අත ඉස්සුවා. 

මුස්ලිම් ජනතාවට විරුද්ධව විවිධ ජාතිවාදී සංවිධාන ගොඩනැගෙන්නේ යුද්ධය කාලයේ නොවෙයි, යුද්ධයෙන් පස්සේ. උතුරේ යුද්ධය අවසන් උණාට පස්සෙ ඒ අයට නැවත ගැටුමක් අවශ්‍ය වුණා. මහරගම විශාල විරෝධයක් දියත් කළා. ඒ වේදිකාවේ හිටියේ තිලංග සුමතිපාල. අද ඒ තිලංග සුමතිපාල සජිත් ප්‍රේමදාස එක්ක කරට අතදාගෙන ඉන්නවා. කොහොමද එහෙම වෙන්නේ. පොහොට්ටුවේ දෙවැනියාව සිටි ප්‍රසන්න රණතුංග, රනිල් එක්ක ඉන්නවා. පොහොට්ටුවේ සභාපති ජී.එල්. පීරිස් සජිත් එක්ක ඉන්න අතර සජිත්ගේ සභාපති ෆොන්සේකා ඉන්නේ කොහේද? ස.ජ.බ. සභාපති එළියේ; පොහොට්ටුවේ සභාපති ඇතුලේ. මේ දේශපාලනය නතර කරන්න ඕනෑ නැද්ද? තමන්ට ලැබෙන වරදානවලට, සල්ලිවලට, ඇමති ධුරවලට, එහෙට මෙහෙට පනින දේශපාලනයක් අද අපේ රටේ තිබෙන්නේ. මේ දේශපාලනය අවසන් කළ යුතුයි.

එදා මහින්ද බලයට පත්වුණේ යුද්ධය නිසා


ජාතිවාදයේ විෂ වපුරා පෝෂණය කළ පොහොට්ටුව අද තුනට කැඩිලා. දෙදහස් නවයේ යුද්ධය අවසන් උනාට පස්සෙ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව සහෝදරත්වයෙන් ජීවත් වෙන රටක් ගොඩනගාවි කියලා ජනතාවගේ අපේක්ෂාවක් තිබුණා. ආණ්ඩු කරපු ඔය කිසිවෙක් ජනතාව සහෝදරත්වයෙන් ඉන්න රටක් හදන්නේ නැහැ. ඒ ගොල්ලන්ට හැමදාම ඕනෑ ගැටුම් තියෙන, යුද්ධ තියෙන, එකිනෙකා අතර වෛරය පතුරවන රටක්. චන්ද්‍රිකාට ඡන්දය දුන්නේ දූෂණ, වංචා නතර කළා කියලාද? රට හැදුවා කියලාද? නැහැ. නගර සභා පිට්ටනියේ පිපිරූ බෝම්බය නිසා. දෙදහස් පහේ මහින්ද තෝරා ගත්තේ යුද්ධය නිසා. දෙදහස් දහයෙදි මහින්දත්, ෆොන්සේකාත් දෙන්නා ම අපේක්ෂකයො වෙන්නේ යුද්ධය නිසා.

 ෆොන්සේකා අපේක්ෂකයෙක් වෙන්නේ යුද්ධය අවසන් කරපු හමුදාපතිවරයා හැටියට. නමුත් ඡන්දය දිනන්නේ මහින්ද රාජපක්ෂ. ආර්ථිකය ගොඩනඟනවා, වංචා දූෂණ නතර කරනවා, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරනවා, ජාතික සමගිය ගොඩනඟනවා කියන සටන් පාඨ ඔහුට නැහැ. දෙදහස් පහළවේ ඉඳලා නැවත ගැටුමක් පටන් ගත්තා. ඒ අවස්ථාවේ වින්දිතයන් බවට පත්කර ගත්තේ මුස්ලිම් ජනතාව. දෙදහස් දහය වන තුරු දෙමළ ජනතාව. ඊට පස්සෙ ක්‍රමානුකූලව මුස්ලිම් විරෝධයක් ගොඩනගන්න පටන් ගත්තා. දිගනට, අලුත්ගමට පහරදීම් සිදුකරන්නේ යුද්ධයෙන් පස්සේ. වඳ කොත්තු, වඳ ඇඳුම්, තිබෙනවා කියලා මුස්ලිම් ජනතාවට එරෙහිව ප්‍රචාර ගෙන ගියා. ඇඳුම් ඇන්දාම වඳ වෙනවා කියලා පොහොට්ටුවෙන් සොයා ගත්තා. අම්පාර පැත්තේදි කොත්තු කෑවාම වඳවෙනවා කියලා පොහොට්ටුවෙන් සොයා ගත්තා. ඊට පස්සේ සිදුවුණු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකයට තුඩු දෙන විශාල කරුණු ප්‍රමාණයක් තිබෙන බව කවුරුත් දන්නවා. මේ පන්නයේ කැත දේශපාලන සංස්කෘතිය අවසන් කිරීමට එළඹෙන විසි එක්වෙනිදා ජනාධිපතිවරණයේ දී හැමෝම එකට එකතුවෙමු කියලා ඉතාම ඕනෑකමින් ආරාධනා කරනවා.’’

අනුර දිනවීම අපේ වගකීමක්

 

PHOTO 2024 08 09 17 39 31 2

මවුලවි මුනීර් මුල්ෆ්ෆර්

 

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මවුලවි මුනීර් මුල්ෆ්ෆර්,

‘‘සැප්තැම්බර් විසි එක්වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී අපට පැවරී තිබෙන්නේ තේරීමක් නොවෙයි, වගකීමක්. තෝරා ගන්න නම්, හොඳ විකල්ප තිබෙන්න ඕනෑ. සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව අනික් පක්ෂ දෙකේ ඉන්නේ කවුද කියන එක ඔබේ හෘදය සාක්ෂිය දන්නවා. ඒ නිසා තෝරා ගැනීමකින් තොරව අපට තිබෙන වගකීම තමයි, සැප්තැම්බර් විසි එක්වෙනිදා ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක දිනවීම අපට පැවරී තිබෙන වගකීමයි. ඒ වෙනුවෙන් අපි සියලුම දෙනා පෙළ ගැසෙමු. වැඩ කරමු.’’

''අඳුරු ඉතිහාසය වෙනස් කර, යහපත් අනාගතයකට පිය මනිමු''

 

PHOTO 2024 08 09 17 39 32

ආචාර්ය අශෝක රන්වල

 

ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් විධායක සභික ආචාර්ය අශෝක රන්වල,

‘‘මල්වාන ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව හැටියට ඔබ ඉතාමත් ඉහළ බලාපොරොත්තු පොදි බැඳගෙන නව ජනාධිපතිවරයෙක් තෝරා පත්කර ගැනීමට සැප්තැම්බර් විසි එක්වෙනිදා සූදානමින් සිටිනවා. මෙයට පෙර ඔබ ආණ්ඩු පිහිටුවීමට ඡන්දය ලබා දෙද්දී විශාල දෙගිඩියාවක් චකිතයක් තිබුණා. දිගින් දිගටම රැවටීමේ ප්‍රතිඵලයක් ලෙස ඒ අඳුරු ඉතිහාසය වෙනස් කර, යහපත් අනාගතයකට පිය මනින්න මාස කිහිපයක සිට ඔබ ජාතික ජන බලවේගය සමග අපේක්ෂා සහගත ගමනක් යන්න අත්වැල් බැඳගෙන සිටිනවා. මල්වාන මේ රැලිය පැවැත්වීමට ඔබ සියලු දෙනා සාමුහිකව එකතු වී නීතිමය කටයුතු සියල්ල සම්පූර්ණ කරගෙන තිබුණා. 

පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිස නිසි පරිදි බලපත්‍ර ලබාදී තිබුණත් හදිසියේම එය අහෝසි කර, කුමන්ත්‍රණකාරී ලෙස එක්සත් ජාතික පක්ෂයේ කාර්යාලයක් පිහිටුවා තිබෙනවා. නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙසයි. නමුත් ඒ කුමන්ත්‍රණය පරාජය කරන්න ඔබ සියලුම දෙනා අත්වැල් බැඳගෙන ඉදිරියට ආවා. මධ්‍යම රාත්‍රියේ පවා වෙහෙස මහන්සි වී කාදර් හජ්ජියාර් මහතාගේ භූමිය අපට ලබාදුන්නා. අපි එයට ගෞරව කරනවා. ස්තුති කරනවා. කුමන්ත්‍රණකාරී දේශපාලනය පරාජය කරන්න කාදර් හජ්ජියාර් මහතා අභීතව ඉදිරිපත් වුණා. අද මේ ස්ථානයේ දැවැන්ත ජන ගඟක් සහභගී වන රැලිය පවත්වන්නේ ඒ නිසයි.

ජාතිකත්වය අනුව බෙදා වෙන්කිරීමට නැවත ඉඩක් නැහැ

ජාතික සමගිය ගොඩනඟන හැටි මේ රැලියෙන් ම පැහැදිලි වෙනවා. සිංහල ජනතාවත් මල්වානේ මේ රැලිය බලන්න ඇවිත් සිටිනවා. ගංවතුර ගැලීම වැනි ස්වභාවික විපත්වලදී ජනතා විමුක්ති පෙරමුණ හැටියටත් ජාතික ජන බලවේගය හැටියටත් අපි ඉදිරිපත් වී කටයුතු කළ සියලුම අවස්ථාවල ඔබ සැම අප සමග අත්වැල් බැඳගත්තා. ආගම් අනුව, ජාතිකත්වය අනුව බෙදා වෙන්කිරීමට නැවත ඉඩක් නැති බව තහවුරු කර, පුනරුද යුගයේ යුගයට ඉදිරි දින කිහිපය තුළ අපි හැමදෙනාම ධෛර්යයෙන් අත්වැල් බැඳගෙන පියනඟමු. ආදරය පිරුණු රටක් අපි ගොඩනගමු.’’

(සටහන - ජයසිරි අලවත්ත)

malwana 4

pe2024 2

worky sin

නවතම පුවත්