හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු ගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමෙන් පුරප්පාඩු වී ඇති සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට සුදුසු අයකු පත්කිරීම
ජනාධිපතිවරණයෙන් පසුව සිදුකිරීමට තීරණය වී ඇතැයි සමගි ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

එම මන්ත්‍රී පුරප්පාඩුව සඳහා සමගි ජන බලවේගය හා එම සන්ධානය නියෝජනය කරන කිහිපදෙනෙකු අතර තියුණු තරඟයක් මතුව ඇති හෙයින් එවැනි තීරණයක් ගෙන ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩි දුරටත් කියා සිටියි.

මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (අගෝස්තු 9 වැනිදා) තීන්දු කළේය.

සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මනුෂ නානායකාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරු ඉදිරිපත් කළ පෙත්සම් නිෂ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව ලබා දෙනු ලැබීය.

අචල වෙංගප්පුලි, විජිත් මළල්ගොඩ යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

තමන්ට සාධාරණ විනය පරීක්‍ෂණයක් සඳහා පෙනී සිටීමට අවස්ථාව ලබා නොදුන් බවත් ඒ තුළින් ස්වභාවික යුක්ති ධර්මය නමැති නීතිමය මූලධර්මය උල්ලංඝණය වන බවත් හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර ශ්‍රේෂ්ඨාධිකරන්ට ඉදිරිපත් කළ පෙත්සමෙන් පැමිණිලි කර තිබුණි.

එහෙත් එම තර්කය පිළිගත නොහැකි බව සඳහන් කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒ අනුව පෙත්සම්කරුවන් සමගි ජන බලවේගයෙන් නෙරපීමට ගනු ලැබූ තීරණය නීත්‍යානුකූල බවත් සඳහන් කළේය.

ඒ අනුව ගාස්තු රහිතව අදාළ පෙත්සම් නිශ්ප්‍රභ කරන බවත් විනිසුරුවරයා පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවෙන් අනතුරුව මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු ඊයේ දිනයේම සිය අමාත්‍ය ධුරවලින් ඉවත් විය.


මනුෂ වෙනුවට බණ්ඩාරිගොඩ


2020 වසරේ පැවති මහ මැතිවරණයේ දී හරීන් ප්‍රනාන්දු, සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පත්වීම හේතුවෙන් ඔහුගේ පුරප්පාඩුව සඳහා සුදුස්සෙකු නම් කිරීම සමගි ජන බලවේගය පක්ෂය විසින් සිදුකළ යුතු වේ.

මනූෂ නානායක්කාර 2020 මැතිවරණයේ දී සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත් වෙමින් පාර්ලිමේන්තුවට තේරී පත්වීම හේතුවෙන් මනාප ලැයිස්තුවේ තෙවන ස්ථානයට පත්වූ බන්දුලාල් බණ්ඩාරිගොඩ ට පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව හිමිවනු ඇත.

worky sin

නවතම පුවත්