ආණ්ඩුවේ ආරාධනයෙන් ජනාධිපති මුණගැසීම සදහා කොළඹට පැමිණි උතුර සහ නැගෙනහිර දෙමළ  මාධ්‍යවේදීන් කණ්ඩායමකට ඝාතනයට ලක් වූ සිය සගයන්ට

දිගු කලක් තිස්සේ අහිමි යුක්තිය ඉල්ලා සිටින සන්දේශයක් බාරදීමේ අවස්ථාවත් අහිමි කර තිබේ.

දෙමළ මාධ්‍යවේදීන්ට එම අවස්ථාව අහිමි කිරීමට ජනාධිපති ආරක්ෂක අංශය විසින් කටයුතු කර ඇතත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ධුරයේ කටයුතු කළ මනූෂ නානායක්කාරට හිතවත් දකුණේ සිංහල මාධ්‍යවේදීන්ට එම අවස්ථාව සැලසි ඇත.

එයින් දෙදිනකට පසු දෙනු ලැබූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මනුෂ නානායක්කාරගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට මග පාදා තිබේ.

රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට එකතුවීම නිසා මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු දෙදෙනාගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අගෝස්තු 9 වැනිදා තීන්දු කරන ලදී.

ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරන ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට අගෝස්තු 6 වැනි  අඟහරුවාදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සංවාදයක් සඳහා කොළඹ වෝටර්ස් එජ් හෝටලයට ආරාධනය කර තිබිණ.

ජනාධිපතිවරණයක් පැවැත්වෙන අවස්ථාවක පැවත්වෙන මෙම හමුව දෙමළ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන ගණනාවක් විසින් වර්ජනය කරනු ලැබුවේ ඔවුන්ගේ මාධ්‍ය සගයන් ඝාතනය කිරීම සහ පවතින රජය යටතේත්  සිදුකරන තර්ජන ඇතුළු මාධ්‍ය නිදහස සීමා කිරීමට මුල පාදා ඇති ගැටළුවලට විසඳුම් සැපයීමට බලයට පැමිණි රජයන් ගණනාවක් අසමත් වී ඇති පසුබිමකය.


තවද, දෙමළ බස කතා කරන ප්‍රදේශවල ජනාධිපතිවරයා මෑතකදී සිදුකළ සංචාර දෙකක්ම වාර්තා කිරීමට ඉඩ ලබා නොදීම මෙම මාධ්‍යවේදීන්ගේ අසතුටට හේතු වී තිබුනි.

කෙසේ නමුත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ නිලධාරීන්ගේ ආරාධනය පිළිගනිමින් උතුර සහ නැගෙනහිර නියෝජනය කරන දෙමළ මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් මෙම හමුවීමට සහභාගි වී තිබිණ.

පසුගිය වසරවලදී ඝාතනයට ලක් වූ සහ අතුරුදන් වූ මාධ්‍යවේදීන් වෙනුවෙන් පියවර ගැනීමටත් සහ යුක්තිය ඉටු කිරීමටත් ඉල්ලමින් ජනාධිපතිවරයාට ලිපියක් බාර දීමට ඊට සහභාගී වූ දෙමළ මාධ්‍යවේදීන් උත්සාහ කළ අවස්ථාවේදී ජනාධිපති ආරක්ෂක අංශය ඔවුන්ට බාධා කර තිබුනේ එවැනි ලියුමක් හෝ පෙත්සමක් ඔවුනට සෘජුවම ජනාධිපතිවරයාට බාර දිය නොහැකි බව පවසමිනි.

මෙම ලියවිල්ල ජනාධිපතිවරයාට බාරදීම වලක්වා ලීමට අමතරව, දෙමළ බස කතා කරන ප්‍රදේශවලින් පැමිණි මාධ්‍යවේදීන්ට සිය අදහස් සෘජුවම ජනාධිපතිවරයාට පැවසීමේ අවස්ථාවක් සලසා තිබුනේ නැත. කෙසේ නමුත් සිංහල බස කතා කරන මාධ්‍යවේදීන් කිහිප දෙනකුටම එම අවස්ථාව හිමිව තිබුනි. එමෙන්ම, සභාව තුලදීම ඔවුන්ගේ ඉල්ලීම් ජනාධිපතිවරයා අතට බාරදීමට අවස්ථාව ලැබුණු මුත්, දෙමළ මාධ්‍යවේදීන්ගේ සංදේශයට අවහිර පනවා තිබුනේ පිවිසුමේදීමය. එක් ඉල්ලීමක් පමණක් ඇතුලත් වූ එම ලියුම ජනාධිපති ආරක්ෂක අංශය විසින් ඔවුන්ගේ භාරයට ගැනීමත් සමගම දෙමළ මාධ්‍යවේදීන් එයට සිය විරෝධය පළ කර ඇත.


ජනාධිපතිවරයාට ආමන්ත්‍රණය කර ඇති ලිපිය හරහා උතුර සහ නැගෙනහිර නියෝජනය කරන දෙමළ මාධ්‍යවේදීන් බලකර කියා සිටියේ ඝාතනයට හෝ අතුරුදන් කිරීමට හෝ ලක් වී ඇති මාධ්‍යවේදීන්ට යුක්තිය ලබාදීම සඳහා විශේෂ වගවීමේ යාන්ත්‍රණයක් පිහිටුවන ලෙසයි.

“දශක දෙකක් තිස්සේ එම මාධ්‍යවේදීන්ට අතපසුවූ යුක්තිය ශ්‍රී ලංකාව තුල ඉටු කිරීමට නම්, අධිකරණ බලතල සහිත විශේෂ විනිශ්චය සභාවක් ජාත්‍යන්තර නිරීක්ෂණයකින් යුතුව පිහිටුවීම යෝග්‍ය බව අපගේ විශ්වාසයයි.”

ආරක්ෂාව මුවාවෙන් බාධා පැනවීම තුළ තමන්ට 'දැඩි ලෙස වෙනස්කොට සැලකීමක්' දැනුණු බව යුද්ධයෙන් බැට කෑ උතුරේ මාධ්‍යවේදීහු පවසති. ඔවුන්ගේ ඉල්ලීම වූයේ ඝාතනයට හෝ අතුරුදන් කිරීමට ලක් වූ මාධ්‍යවේදීන් වෙනුවෙන් වගඋත්තරදායකත්වයක් ඉල්ලා සිටීම පමණක් වන අතර, එවැනි අපරාධ  බොහොමයක සැකය එල්ලවී ඇත්තේ ආරක්ෂක අංශ හෝ රාජ්‍ය අනුග්‍රහය ලැබූ සන්නද්ධ අතුරු කල්ලි ය.

ජනාධිපති ආරක්ෂක අංශය විසින්  පිවිසුමේදී සිරකරගත් ඔවුන්ගේ ලියුම තවදුරටත් සිහිපත් කළේ ඝාතනය කර ඇති, පැහැරගත්, හෝ බලහත්කාරයෙන් අතුරුදන් කළ හෝ මාධ්‍යවේදීන් ගණන පිළිබඳව ජනාධිපතිවරයා දැනටමත් දැනුවත් බවයි.

“ඒ අතරින් 2004 සිට 2010 දක්වාවූ කාලය තුල ඝාතනයට හා අතුරුදහන් කිරීමට ලක්වූ මාධ්‍යවේදීන්ගේ ලැයිස්තුවක් 2015 දෙසැම්බරයේ මානව හිමිකම් දිනයේදී මාධ්‍ය සංසදය විසින් යහපාලනයේ අගමැතිව සිටි ඔබතුමා අතට  පත් කරන ලදී. එහි මාධ්‍යවේදීන් හතලිස් හතර දෙනකුගේ විස්තර ඇතුලත් බව ඔබතුමා සභාවට දැනුම් දුන්නේය.”

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) විසින් සම්පාදනය කරන ලද එම ලැයිස්තුවේ සඳහන්  අති බහුතරයක් දෙනා දෙමළ මාධ්‍ය ක්‍රියාකාරීන්ය. එවැනි අපරාධවලට ගොදුරුවූ තම මාධ්‍ය සගයන් වෙනුවෙන් වගවීම සහ යුක්තිය ලබා නොදී රට තුළ මාධ්‍ය නිදහස තහවුරු කළ නොහැකි බව දෙමළ මාධ්‍යවේදීහු තරයේ කියා සිටිති.

වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෑතකදී උතුරු පළාතේ සංචාරය කළ අවස්ථාවලදි එය වාර්තා කිරීමටද දෙමළ මාධ්‍යවේදීන්ට අවස්ථාව ලැබුනේ නැත. මෙම සංචාරය පිළිබඳව ජනමාධ්‍ය හරහා පලකළ සියලු තොරතුරු ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ විඩියෝ දර්ශන හා ඡායාරූප වෙයි.


තම නිජබිම තුළ එදිනෙදා සිදුවන, සාමාන්‍ය ප්‍රවෘත්ති රැස්කිරීමේ කටයුතුවලදී පවා තමන් වෙනස්කොට සැලකීමට ලක්වන බවයි  දෙමළ මාධ්‍යවේදීන් පවසන්නේ.

උතුරු ප්‍රදේශයේදී වෙනස්කොට සැලකීමට ලක්වීම සහ ඉන් පසු ආරාධනා කර තිබියදී පවා කොළඹදී නොසලකා හැරීමට ලක්වීම පිළිබඳව පැමිණ සිටි දෙමළ මාධ්‍යවේදීන් පසුවන්නේ  දැඩි කලකිරීමෙනි.

කෙසේනමුත්, ජනාධිපතිවරයාගේ ආරක්ෂක කාර්යමණ්ඩලයට බාරදීමට සිදු වූ ලිපියෙන් දෙමළ මාධ්‍යවේදීන් යෝජනා කර ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයට නාමයෝජනා බාරදීමට පෙර ජනාධිපතිවරයා ඔවුන්ට ප්‍රසිද්ධියේ පිළිතුරක් දිය යුතු බවයි.

නාම යෝජනා බාරදීමට ඇති අවසාන දිනය 2024 අගෝස්තු 15 වැනිදා වන අතර, සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා වික්‍රමසිංහ ජනාධිපතිවරයා දැනටමත් ඇප මුදල් තැන්පත් කර ඇත.

තම ඉල්ලීම් සඳහන් කරමින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ ලියුම හරහා උතුර සහ නැගෙනහිර නියෝජනය කරන මාධ්‍යවේදීන් පෙන්වා දී ඇත්තේ කඩිමුඩියේ පැවැත්වූ හමුවීම ඡන්දයේදී වාසි ලබාගැනීමේ අරමුණින් සිදුකළ එකක් බවයි.

“ඉකුත් සතියේත්, මැයි මස අගදීත් ඔබතුමා උතුරේ සංචාරයක යෙදුනු අවස්ථා දෙකම වාර්තා කිරීම පළාත්බද මාධ්‍යවේදීන්ට තහනම් කළ ආණ්ඩුවක නායකයා වශයෙන් දැන් අප මුණගැසෙන්නේ මැතිවරණ ව්‍යාපාරය ඉලක්ක කරගෙන බව අපේ විශ්වාසයයි.”

ජනාධිපති ආරක්ෂක අංශය විසින් කොළඹදී ග්‍රහණයට ගත් සම්පුර්ණ ලිපිය සහ විපතට පත් මාධ්‍යවේදීන්ගේ JDS නම් ලැයිස්තුව පහතින්,


Introduction: Media workers killed in Sri Lanka (2004 - 2010)


media
media 2

Sinhala

worky sin

නවතම පුවත්