සජබ හිටපු සභාපති සරත් ෆොන්සේකා තම පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකත්වය බලාපොරොත්තු වූ බවත්, එය ඉටු නොවූ හෙයින් විවිධ ප්‍රකාශ නිකුත් කරමින්
කලක් ගත කර, දැන් ස්වාධින ජනපති අපේක්ෂකයෙකු වශයෙන් ඇප තැන්පත් කර ඇති බවත්, සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පැවසී ය.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් එලෙස පැවසුවේ ඊයේ (09) පස්වරුවේ කොලොන්නාව ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාල පරිශ්‍රයේ දී පැවති මාධ්‍ය හමුවේ දී ය.
වත්මන් ජනාධිපතිවරණ සමයේ එතුමා වික්‍රමසිංහ ගේ කොන්ත්‍රාත්තුව ඉටු කරන ආකාරය ඉදිරියේ දී දැක ගැනීමට අවස්ථාව උදා වනු ඇති බව විශ්වාසය පළකරන බවත්, මෙරට ඉතිහාසය පුරාම ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් වහාම ඇප තැන්පත් කර, තරග කර, ඇප අහිමි කරගන්නා ව්‍යාපාරිකයන් ඇතුළු කණ්ඩායමක් සිටින බවත්, එම තත්වය ‘‘පිස්සුවක්’’ බවත්, එය සුව වන්නේ ලජ්ජා සහගත ලෙස දිර්ඝ කාලීනව පරාජය උරුම වීමෙන් පමණක් බවත් පාර්ල්මේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් එහි දී වැඩි දුරටත් පැවසී ය.
එස්. එම්. මරික්කාර් එහි දී මෙසේද පැවසිය.
ෆොන්සේකාට පාර්ලිමේන්තු අසුනත් නැති වෙනවා
‘‘සමගි ජන බලවේගය ලෙස මම ජනාධිපතිවරණ සටන ආරම්භ කරේ, ක්ෂේත්‍ර විසි හතක් ආවරණය කරමින්, ජනතා අභිලාෂයන් හා බද්ධ විප්ලවීය ප්‍රතිපත්ති යෝජනාවලින් විසි හතක් ඉදිරිපත් කරමින්. ශ්‍රී ලංකාවේ සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා සුහුරු යටිතල පහසුකම් පිළිබඳ අධ්‍යයනයකින් පසු මෙරට හා එතෙර ප්‍රකට ආචර්යවරුන් හා මහාචාර්යවරුන් දෙදහසකගේ විද්වත් කමිටු හරහා අනාගත ශ්‍රී ලංකාව පිළිබඳ සාර්ථක හා ප්‍රයෝගික යෝජනාවලියක් සජබ සතුයි.
පසුගිය 2010 ජනාධිපතිවරණ අවස්ථාවේදී, හමුදා මානසිකත්වයක් සිවිල් සමාජය වෙත මුදා හැරීම නිසා සමාජය භීතියට පත්වෙලා තිබුණා. වරදකරුවෙකු වුනත් දඬුවම් ලැබිය යුතු නීත්‍යානුකුල හා නිවැරදි ක්‍රමවේදයක් පවතිනවා. සිවිල් සමාජය, පුරවැසි අයිතිවාසිකම් හා සාමාන්‍ය සිවිල් ජන මනස පිළිබඳ අවබෝධයකින් තොරව අගක් මුලක් නැති "ඔල්මොරොන්දම්" කතා කීමෙන් ඡන්ද 50000ක් ලබාගන්න බැහැ. 2015ටත් වඩා දරුණු ඉරණමකට මුහුණ දීලා ජනාධිපතිකම තබා පාර්ලිමේන්තු අසුන පවා අහිමි වෙනවා. අන්න ඊට පස්සෙ එතුමාගේ මානසික රෝගය සුව හොඳ වේවි.
සමහර ජනාධිපති අපේක්ෂකයන්ට පිස්සු
මෙවර ජනාධිපතිවරණය සඳහා ඉන්නේ එක් අපේක්ෂකයෙක් විතරයි. තරගකරුවෝ නම් තුන් දෙනෙක් ඉන්නවා. නාමල් රාජපක්ෂ, අනුර කුමාර දිසානායක, රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් යම් තරගයක නිරත වෙනවා. නමුත් අනෙක් පුද්ගලයන් මේ මොහොතේ වෙහෙසෙන්නේ වෙනත් අරමුණක් වෙනුවෙන්. ඇතැමෙක් කලින් කියපු විදියේ ‘ඔළුවේ අමාරුව’ සනීප කර ගන්න ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙලා ඉන්නවා. තවත් අයෙක් විසා බලපොරෝත්තුවෙන්, තවකෙක් කළු සල්ලි සුදු කරගන්න වගේ විවිධ හේතුන් මත ජනාධිපතිවරණයට ඇප බැඳල තියෙන බව දැන් නිරීක්ෂණය වෙනවා.
ෆොන්සේකා මහතාගේ වත්මන් භූමිකාවෙන් රූපණය කෙරෙන්නේ වික්‍රමසිංහ මහතාගේ කොන්ත්‍රාත්තුවක් ඒක ඕනෑම කෙනෙකුට පැහැදිලිව දැක ගන්න පුළුවන්. රට හදන වැඩපිළිවෙලක්, අවශ්‍ය විෂයයන් පිළිබඳ දැනුමක් එතුමට නෑ. එහෙම දැනුමක් සහිත කණ්ඩායමක් නොමැති ජනපති අපේක්ෂකත්වය තුළ එතුමාගේ අදහස හැම පුද්ගලයෙක් ම හිරේ දානවා කියල කියන එක විතරයි.’’
(සටහන - ජයසිරි අලවත්ත)