ලංඩනයේ දී නිහඬව නික්ම ගිය ඩබ්ලිව්. එස්. විජේසිංහ නම් සොඳුරු මානව හිතවාදී කලාකරුවාට අපේ ආචාරය !!!
මේ විශිෂ්ට සහෘදයාගේ අවසන් කටයුතුවලට සහභාගි වීමට අපට ද අහඹු අවස්ථාවක් හිමිවූයේ ඔහු, සිය පුතු Jay Wijesinghe බැහැ දැකීමට ලංඩනයට පැමිණ සිටිය දී ඇතිවූ හදිසි හෘදයාබාධයකින් මෙහි දී අවසන් ගමන් ගිය බැවිනි.
විජේසිංහයන්ගේ මරණයෙන් පසුව ලාංකික කලාකරුවන් කිහිප දෙනකු ම ඔහුගේ අප්‍රමාණ මානව දයාව හා කලා කුසලතා පිළිබඳව මතක සටහන් රැසක් තබා තිබුණි.
ඉංග්‍රීසි, ප්‍රංශ, ඉතාලි, ජර්මන්, ජපන් ඇතුළු විදෙස් භාෂා කිහිපයක් හසුරුවන්ට ඔහු තුළ තිබූ මනා නිපුණතාව ලාංකීය නාට්‍ය රංග කලාව පෝෂණය කිරීමට ඉදිරි පරපුරක් නිර්මාණය කරන්න දායක කරමින් ඔහු අපමණ වෙහෙසක් ගත් බව එකී සටහන් මගින් ඉතා අපූරු ලෙස පිළිබිඹු කර තිබුණි.
ඉතාම දුෂ්කර වේදිකා අවකාශයන්හි සැරි සැරූ විජේසිංහයන් තරුණ පරපුරකට විශිෂ්ට මග පෙන්වන්නෙක් විය. ලාභ ප්‍රයෝජන කිසිවක් අපේක්ෂා නොකර සිය දිවිය මෙරට නාට්‍යය කලාව සහ ගැඹුරු දේශපාලන සිතීමක් කරා රැගෙන යාමට අපමණ වෙහෙසක් ගත් ‘‘අප්‍රමාණ නාට්‍යකරුවකු’’ ලෙස ඔහු ලාංකීය ප්‍රේක්ෂක ගෞරවාදරයට ලක් වන්නේ ය.
ඉතාලි නාට්යකරවකු වන දාරියෝ ෆෝ සහ දකුණු අප්‍රිකානු නාට්යකරවකු වන අතොල් ෆුගාඩ් යනාදි විශිෂ්ට නාට්‍යකරුවන්ගේ නාට්‍යය අපමණ දුෂ්කරතා මැද මෙරට ප්‍රේක්ෂකාරයට හඳුන්වා දීමට ඔහු සමත් විය. වරදකාරිත්වය, මානව වේදනා සහ ආගන්තුකයන් සමග ගොඩ නැගෙන ආත්මීය සැබැදියා පිළිබඳ ගැඹුරු ගවේෂණයක් බඳු දකුණු අප්‍රිකානු නාට්‍යවේදි අතොල් ෆුගාඩ් ගේ ‘‘The Train Driver’’ පරිවර්තනය විජේසිංහ නාට්‍යවේදියා ලාංකීය වේදිකාවට එක් කළේ ඔහු සතු ගැඹුරු මානව හිතවාදි දේශපාලන දැක්ම නිසා ම ය.
විජේසිංහයන් ගැන තබන මේ ආදරණීය මතක සටහනට ඔහු තුළ වූ වාමාංශික ක්‍රියාකාරී දේශපාලනය ගැන ද කෙටියෙන් හෝ ඇගයීමක් එක් කළ යුතුව ඇත.
ලාංකීය භූමියේ අසමානතාව, අයුක්තිය පීඩනය අහෝසි කරන්නට ඔහු සිය දිවිය කැප කළේ ය. ඔහුගේ දේශපාලන නැඹුරුව ඇති වූයේ උපන් ගම මාතර දී ම ය. 80 දශකයේ අග දී කෙටි කලක් සිරගතව සිටීමට ද ඔහුට සිදු විය. ඔහුගේ අපේක්ෂාව වූයේ දිළිදු බවින් මිදුණු, සමාන ලෙස මිනිස් අයිති භුක්ති විඳිය හැකි, සාධාරණ, යුක්ති ගරුක සමාජයක් ගොඩ නැංවීම ය. ඒ උදෙසා තමාට කළ හැකි උදාර කාර්ය ඔහු ඉටු කළේ ය.
1989 රාජ්‍ය භීෂණයයෙන් අනතුරුව නැවත ශක්තිමත් වාමාංශික පිබිදීමක් ඇති කරන්නට ඔහු දැරූ වෑයම බෙහෙවින්ම ප්‍රශංසනීය ය. ජ වි පෙ තෙවන පුනරාගමනය සිදුවන 90 දශකයෙහි මුල පක්ෂය ගොඩනැංවීමට නිහඬව ඔහු කළ මෙහෙය අප හදවත් තුළ සදා අමරණීය වේ. කලාව තුළින් දේශපාලනය කිරීමට තරම් ගැඹුරු දැක්මක් තිබූ ෂෙල්ටන් පයාගල නම් කලාකරුවා සහ රංග කලා ආචාර්ය ගාමිණී හත්තොටුව මෙකල ඔහුගේ සමකාලීන වාම මිතුරන්ව සිටි බව ද මෙහිලා සටහන් කළ යුතු ය.
පසු ගිය දිනක අවසන් සුසුම් හෙළූ මේ උතුම් මානව හිතවාදියා ඊයේ උදෑසන ලංඩන් නගර ආශ්රිත ‘‘Hendon Crematorium’’ සුසාන භූමියේ දී අපෙන් සමු ගෙන ගිය ද නාට්‍යය කලාවට ද, දේශපාලනයට ද, අපේ මිනිස් ජීවිතයට ද ඔබ කියා දුන් ගැඹුරු පාඩම් සමග ඔබ පිළිබඳ සදාදරණීය මතක අප සමග නිබඳ සැරි සරණ බව විජේසිංහ සහෝදරයා වෙත පිදෙන උත්තමාචාරය සමග සනිටුහන් කර තබමි.
(ගාමිණී මුතුකුමාරණ)