ඉස්සර තම පක්ෂයට විරුද්ධ අය සියයට තුනක් කොහොමද බලයට එන්නේ යැයි විමසු බවත්, අද ජාතික ජන බලවේගය බලයට ආවාම කරන්නේ මොනවා දැයි

ඔවුන් විමසන බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසී ය.

ඔහු මෙලෙස ප්‍රකාශ කළේ  පෙරේදා (අගෝ.10) ඇඹිලිපිටියේ පැවති ජාතික ජන බලවේගයේ ජන රැලිය අමතමිනි.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක,

සැප්තැම්බර් විසි එක ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළ යුතුමයි

‘‘අපේ රටට අලුත් පාලනයක් උදාකර ගැනීමේ තීරණාත්මක ඡන්දයක් සැප්තැම්බර් විසි එක්වෙනිදා පැවැත්වෙනවා. රනිල් වික්‍රමසිංහලා පළාත් පාලන ඡන්ද, පළාත් සභා ඡන්ද, නොපවත්වා කට්ටි පනිමින් හිටියා. සැප්තැම්බර් විසි එක්වෙනිදාට බෙල්ලෙන්ම අහුවෙලා තියෙනවා. ජනාධිපති ඡන්දය දිනුවාම අනෙක් ඡන්ද චන්ද්‍රිකා වැවේ සොරොව්ව ඇරියා වගේ වෙනවා. අනෙක් පැත්තට හැරෙන්න පටන් ගන්නවා.

සැප්තැම්බර් විසි එක ජනාධිපතිවරණය ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළ යුතුමයි. අපේ රටේ ජනතාවට මේ පාලකයන් පළවා හරින්න තීන්දුවක් ගන්න මෑත සිදුවීම් හොඳටම ප්‍රමාණවත්.

ජෝන් සෙනෙවිරත්න අද රනිල්ගේ කිහිලිකරුවක්


මේ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන කථිකයා වුණේ පවිත්‍රාදේවි. රනිල් වික්‍රමසිංහ රට විනාශ කරා, හම්බන්තොට වරාය වික්කා, මහ බැංකු මංකොල්ලය සිදුකරා, ඒ නිසා රනිල් කඳවුර පරාද කරලා මහින්ද කඳවුර දිනවන්න ඕන කියල එයා කිවුවා. දැන් එයා රාජපක්ෂ පරාජය කරන්නයි වික්‍රමසිංහ දිනවන්යි කතා කරනවා. මේ එන්නේ ජනතාව ගැන හිතලද? නෑ... මේ එන්නෙ අමාත්‍ය ධුරයකට, වරදාන වරප්‍රසාදවලට කැදරකමේ.

ජෝන් සෙනෙවිරත්න අද රනිල්ගේ කිහිලිකරුවක් වෙලා. මේ අයගේ දේශපාලනය තේරුම් ගන්න මේකම ප්‍රමාණවත් නැද්ද? සජිත් පේමදාස පරාජය කරවන්න: ඩලස්, ජී.එල්. පීරිස්, නාලක ගොඩහේවා වේදිකාවල කෑමොර දුන්නා. අද ඒ ගොල්ලන් ම සජිත් දිනවන්න කතා කරනවා. අද, ස.ජ.බ.යේ සභාපති ෆොන්සේකා එළියේ. පොහොට්ටුවෙ සභාපති ජී.එල්. පීරිස් ඇතුළේ. මේ දේශපාලන විගඩම නතර කරන්න ඕනෙ නැද්ද? එහෙට මෙහෙට පනින දේශපාලනය නවත්වන්න ඕනෑ.  ජාතික ජන බලවේගයේ ආණ්ඩුවෙන් තවත් නීති ශක්තිමත් කරලා, පැන්නොත් මන්ත්‍රී ධුරය අහෝසි කරනවා.

අපේ මැතිවරණ ප්‍රකාශනය මේ මාසෙ එළිදක්වනවා

දැන් අපේ විරුද්ධවාදියො අලුත් අලුත් කතා කියනවා. අපේ ප්‍රතිපත්තිවල නැති, අපි කියන්නේ නැති, ඒ ගොල්ලන් විසින් හදාගත්ත කතා කියන්න පටන් අරගෙන තිබෙනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ආවාම පළි ගනීවි, ගැටුම් ඇති වේව්, සාමකාමිත්වය බිඳේවි වගේ කතා කියන්න පටන් අරගෙන තිබෙනවා. මේ සියල්ලටම හොඳම පිළිතුර ලෙස අපේ මැතිවරණ ප්‍රකාශනය මේ මාසය තුළ එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.

අපේ ප්‍රධාන අභියෝගය ලෙස දුප්පත්භාවය තුරන් කරන්න ඕනෑ. මේ පාලකයන් කවදාවත් දුප්පත්භාවය තුරන් කරන්නේ නැහැ. ඒ ගොල්ලන්ට ඡන්ද කරන්න ජනතාවගේ දුප්පත්කම ඕනැ. රනිල් වික්‍රමසිංහ ඡන්ද කාලවල ෆොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් හදලා, කාර් හදලා රැකීරක්ෂා ඇතිකරනවා කිවුවා. බයිසිකලේ තෙමි තෙමී යන කෙනාට පොඩි කාර් එකක යන්න අවස්ථාව හදනවා කිවුවා. නොමිලේ පාවිච්චි කරන්න ෆ්‍රී වයි-ෆයි දෙනවා කිවුවා. තවත් විටෙක බ්‍රෙස්ලට් දෙනවා කිවුව. අන්තිමේදි හාල් කිලෝ දහයක් දුන්නා.

මේ නායකයන් ලැජ්ජා වෙන්න ඕනෑ. මේ පාලකයන් ගොවි ජනතාවගේ කෘෂිකර්මාන්තය ඵලදායී ව්‍යාපාරයක් බවට පත්කරන්නේ නැහැ. අලුතින් ආර්ථික අවස්ථා හදන්නේ නැහැ. ජනතාව දුප්පත්භාවයෙන් දුප්පත්භාවයට තල්ලු කරනවා. ඡන්දෙ කාලෙට පෝලිම් ගහලා බඩු බෙදනවා. ජනතාවට ආර්ථික හයියක් තිබුණොත් ඡන්ද කාලෙට බෙදන බඩු ගන්න පෝලිමේ යයිද? ගිනිපෙට්ටියක් ගන්න යයිද? ඒ නිසා ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කරන්න මේ පාලකයන් ඕනෑකමක් නැහැ; කරන්නෙත් නැහැ.

රට පොහොසත් කරන සැලැස්මක් අපිට තියෙනවා

මේ රටේ දුප්පත්භාවය අවසන් කරන ආණ්ඩුව ජාතික ජන බලවේගයේ ආණ්ඩුවයි. අපි ආර්ථික සැලැස්මක් හදල තියෙනවා. ඒ සැලැස්ම රට පොහොසත් කරන සැලැස්මක්. මැණික් කර්මාන්තය, ධීවර කර්මාන්තය, සංචාරක කර්මාන්තය, තේ කර්මාන්තය නගා සිටුවීමෙන් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා ගන්න පුළුවන්. ගම්මිරිස් වගාව, කුරුඳු වගාව හොඳ ආදායම් උපදවා ගත හැකි අවස්ථා. ඒ විතරක් නොවෙයි සාම්ප්‍රදායික නොවන අලුත් දේවල්වලට අපේ ආර්ථිකය හරවන්න ඕනෑ.

අයි.ටී. කර්මාන්තය කියන්නේ ලෝකයේ වර්ධනය වෙන කර්මාන්තයක්. ඉන්දියාව අයි.ටී. කර්මාන්තයෙන් ඩොලර් බිලියන 253ක ආදායමක් උපදවනවා. අපේ මුළු ආර්ථිකයම ඩොලර් බිලියන 72යි. අපේ මුළු අපනයන ආදායම ඩොලර් බිලියන 12යි. ඉන්දියාවේ අයි.ටී.වලින් විතරක් අපනයන ආදායම ඩොලර් බිලියන 199යි. අයි.ටී. කර්මාන්තය අපේ රට වත්කම් සහිත රටක් බවට පත් කළ හැකි ක්ෂේත්‍රයක්. ඒ සඳහා අධ්‍යාපනයේ විශාල වෙනස්කම් ඇති කරනවා. විශාල තොරතුරු තාක්ෂණය පිළිබඳ නගර නිර්මාණය කරනවා. ලෝකයේ අයි.ටී. වෙළඳපොළෙන් පංගුවක් අත්පත් කර ගැනීමටත් අවුරුදු කිහිපයක් ඇතුළත අයි.ටී. කර්මාන්තයේ ආර්ථිකය ඩොලර් බිලියන 05 දක්වා වර්ධනය කරන්නත් අපි සැලසුම් සකස් කර තිබෙනවා.

 1950දී දකුණු කොරියාවේ අපනයන ආදායම ඩොලර් මිලියන 25යි. අපි අපනයනයෙන් ඩොලර් මිලියන 316ක විදේශ විනිමය උපයා ගත්තා. අද අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 12යි. අද දකුණු කොරියාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 685යි. 1980දී වියට්නාමයේ ආපනයන ආදායම ඩොලර් මිලියන 400යි. 1980දී අපේ අපනයන ආදායම ඩොලර් මිලියන 1500යි. වියට්නාමයට වඩා අපේ රට තුන්ගුණයක ඩොලර් ඉපයූවා. අද අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 12යි. වියට්නාමයේ අද අපනයන ආදායම ඩොලර් බිලියන 420යි.

අද රටේ ස්වෛරී භාවය නැති වෙලා

ඒ රටවල් පොහොසත්  වුණා. අපේ රට දුප්පත් වුණා. මේ දුප්පත්භාවයෙන් අපේ රට මුදා ගන්න ඕනෑ. රටක් දුප්පත් වුණාම ලෝකයේ අපකීර්තියට පත්වෙනවා; පිළිගැනීමට භාජනය නොවෙන රටක් බවට පත්වෙනවා. ණය ගෙවා ගන්න බැරිවීම නිසා රටේ ස්වෛරීභාවය නැතිවෙලා යනවා. අද අපේ රට විවිධ රටවල්වල, විවිධ සංවිධානවල ආධිපත්‍යයට යටත් වෙලා. වෘත්තියවේදීන්ගේ සංවිධානය, රනිල් සහ මහ බැංකු අධිපති හමුවෙලා “අපේ පඩියට ගහන බද්ද වැඩියි,” කියලා කිවුවා. රනිල් වික්‍රමසිංහ “ඒක වැඩි බව මටත් තේරෙනවා. ඕගොල්ලන්ට අයි.එම්.එෆ්. එකත් එක්ක මේක ගැන කතා කරන්න බැරිද?” කියලා ඇහුවා.

ඡන්දෙ දීල පාලකයන් පත්කර ගත්තාට, රටේ ආර්ථිකය පිළිබඳ තීන්දු ගන්නේ අපේ ආණ්ඩු නොවෙයි. ඒ අපි දුප්පත් නිසා. අපේ අයවැය හදන්නේ අපි නොවෙයි. ලෝකයේ තිබෙන වෙනත් සංවිධාන.

අපි රට පොහොසත් කරනවා

රට දුප්පත් නිසා රස්සා ඇති වෙන්නේ නැහැ. රස්සාවක් සොයා ගන්න රට යන්න සිදුවෙලා තිබෙනවා. ඉස්පිරිතාලේ බෙහෙත් නැහැ. දොස්තරවරු රට හැරදා යනවා. අපරාධ, මංකොල්ලකෑම් වැඩිවෙනවා. සමාජ අසහනය වැඩිවෙනවා. සමාජ කැලඹීම් ඇති වෙනවා. හරිහමන් නිවාසයක්, පිරිසිදු වතුර ටිකක් නැහැ. පරමායුෂ අහිමි වෙනවා. එහෙම නම් අපි පොහොසත් රටක් හදන්න ඕනෑ.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව සැලසුම හදා තිබෙන්නේ, දුප්පත්භාවයෙන් රට මුදාගෙන පොහොසත් රටක් හැදීමේ අරමුණු සහගතවයි. පොහොසත් රටක් වුණාම, භාණ්ඩාගාරයට වැඩියෙන් සල්ලි එනවා. එතකොට කර්මාන්ත ශාලා හැදෙනවා. රැකීරක්ෂා උත්පාදනය වෙන්න පටන් ගන්නවා. ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව වැඩිවෙනවා. සංචාරක කර්මාන්තය දියුණු වෙනවා. ව්‍යාපාරිකයා සංචාරක කර්මාන්තය උඩට ගේනවා. එයාලගෙන් බද්දක් ගන්නවා. භාණ්ඩාගාරයට සල්ලි එනවා.  ඉස්පිරිතාලෙට බෙහෙත් ටික, අධ්‍යාපන පහසුකම් ලැබෙනවා, පාරවල් හැදෙනවා, පිරිසිදු වතුර ලැබෙනවා, ආර්ථික හයියක් නැති අයට දීමනාවක් දෙන්න පටන් ගන්නවා. රට පොහොසත් වුණාම ජනතාවට ලස්සන ජීවිතයක් හිමි වෙනවා. මේ වැඩේ අපි කළ යුතුයි. අවුරුදු හැත්තෑ හයක්ක් මේක නොකළ අය අද කරයිද? තවදුරටත් ඒ පැරණි, අසාර්ථක දේශපාලන මාවතේ තවදුරටත් ඉදිරියට යාමෙන් වැඩක් නැහැ. ඒ නිසා අපි දැන් යන්න ඕනෑ අලුත් මාවතකයි.

කබීර් හසීම්ට හන්තානෙන් අක්කර දොළහක්

ජාතික ජන බලවේගය ප්‍රමුඛ කරගත් මහජන ව්‍යාපාරය අතට බලය මාරුකර ගත යුතුයි. අද හෙළි කළ තොරතුරක් තමයි, හන්තානේ අක්කර දොළහයි රූඩ් හා පර්චස් ගණනක ආණ්ඩුවේ ඉඩම් මේ ජනවාරි මාසෙ ඉල්ලලා තියෙන්නේ කබීර් හසීම්. එයා ස.ජ.බ.යේ ප්‍රබල මන්ත්‍රීවරයෙක්. රනිල් වික්‍රමසිංහ විශේෂ අනුමැතියක් දීල තියෙනවා, මේ ඉඩම ඉක්මනින් කබීර්ට දෙන්න කියලා. මේ ඉඩම් එකට බෙදා ගන්නවා. බාර් ලයිසන් බෙදා ගන්නවා. පෙට්‍රල් ෂෙඩ්වල ලයිසන් බෙදා ගන්නවා. මේ දෙගොල්ල එකට එකතු වෙලා මහජනයාගේ ධනය හොරකම් කර ගන්නවා. වේදිකාවට නැගලා ‘හොරකම, වංචාව නතර කරනවා, හොරුන්ට දඬුවම් දෙනවා, හොරාගත් දේපළ පවරා ගන්නවා’ කියලා කෑ මොර දෙනවා. ඒගොල්ලන්ට කවදාවත් හොරකම, නාස්තිය වළක්වන්න බැහැ. ඒක කරන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් විතරයි.

හොරකම, වංචාව, නාස්තිය නතර කරනවා. හොරකම් කළ අයට දඬුවම් දෙනවා. හොරකම් කරපු දේපළ පවරා ගන්න ආණ්ඩුවක් තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. අපිට පළිගැනීමේ චේතනාවක් නැහැ. පුද්ගලික නඩු කිසිවක් නැහැ. අපිට බේරා ගන්න නඩුවක් තිබෙනවා. ඒ මොකක්ද? අපේ රට මේ තරමට දුප්පත් කිරීමේ, අපේ ජනතාව දුප්පත්කමේ පතුලට හෙළීමේ, මහජනතාවගේ ධනය සොරකම් කිරීමේ ප්‍රතිවිපාකවලට නම්, ජාතික ජන බලවේගයේ ආණ්ඩුව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරනවා. අපි හදන්නේ නීතියේ විධානයේ ආධිපත්‍යය සැමට එක හා සමාන ලෙස සලකන ආණ්ඩුවක්.

මාලිමාවට කතිරෙ ගහලා ඡන්ද පෙට්ටි පුරවන්න
 
මේ කඩා වැටුණු රට අපට ගොඩනැගිය හැකියි. ඒ සඳහා අප කළ යුත්තේ කුමක්ද? ආරම්භක පියවර තමයි ජාතික ජන බලවේගය අතට බලය ලබා ගත යුතුයි.  බලය ගන්න අවශ්‍ය වෙන ඡන්ද තියෙන්නේ ගමේ. ගමේ ඡන්ද පෙට්ටිය මාලිමාවට කතිර ගහලා පුරවන්න ඕනෑකම තිබෙනවා. ඒකට ඔබගේ පවුලේ ඡන්ද, අසල්වැසියාගේ ඡන්ද, ඥාතීන්ගේ ඡන්ද, ගමේ ඡන්ද, ඔබගේ ඡන්ද කොට්ඨාසයේ ඡන්ද මාලිමාවට කතිරෙ ගහන තැනට පත් කරන්න ඕනෑ. අද ශ්‍රී ලංකා, යූ.එන්.පී. නැහැ. පරණ ඒවා පැත්තකින් තියන්න. පාර්ලිමේන්තුවේ අය පැරණි අමනාපකම් අතහැර එකතු වෙනවා. ඇයි අපට එකතු වෙන්න  බැරි?

 ඔය පාර්ලිමේන්තුවේ එකතු වුණු අය, යන්න කලින් අපේ දොරටත් තට්ටු කළා. ගන්න ඕනැද? මේ රට විනාශයට පත්කරපු, ඒ විනාශය සඳහා සහාය දුන්, රනිල් වික්‍රමසිංහලාගේ, රාජපක්ෂලාගේ හොරකම් ආරක්ෂා කරපු, ජනතාව පීඩාවට පත්කරන කොට ඒ පීඩාව ආරක්ෂා කරපු, ජනතාවට විරුද්ධව නීති සම්පාදනය කරන කොට, ඒවාට අත ඔසවපු කිසිවෙකුට ජාතික ජන බලවේගයේ දොරටුව විවෘත නොකරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා. අපට ඕන අටවා ගන්න ආණ්ඩුවක් නොවෙයි. ජාතික ජන බලවේගය කියන්නේ පැහැදිලි වැඩපිළිවෙළක් තිබෙන, අවංකභාවය තිබෙන, රටත් ජනතාවත් ගැන කැක්කුමක් තිබෙන, මේක වෙනස් කිරීම සඳහා වුවමනාවක් තියෙන නව බලවේගයක්. ඒක ජයග්‍රහණය කරවීම තමයි අපේ වගකීම.

 ඔබ අප හැමදෙනාම එකතු වෙමු. මේ වැඩේ කරන්න පුළුවන්. මීට කලින් ඔබලාගෙන් බලය ලබා ගැනීම සඳහා ඡන්දය ඉල්ලුවේ නැහැ. අපට බලය ලබාදෙන්න ජනතාව අපිව තෝරාගෙන සිටියේ නැහැ. එදා ජනතාව තෝරාගෙන සිටියේ: මහින්ද, ගොඨාභය, සජිත් හෝ රනිල් වෙන්න පුළුවන්. අපට බලය ලබාදෙන්න මහජනතාවගේ සූදානමක් තිබුණේ නැහැ. අපි ජනතාවගේ ඡන්ද ලබා ගැනීමට වර්ධනය වෙලත් තිබුණේ නැහැ. හැබැයි මේ සැරේ එහෙම නොවෙයි.

ජාතික ජන බලවේගය බලය ලබා ගැනීම සඳහා සූදානම් ව්‍යාපාරයක්. මහජනතාවත් ජාතික ජන බලවේගයට බලය ලබාදෙන්න සූදානම් වෙලා තිබෙන අවස්ථාවක්. මේක තමයි නියම අවස්ථාව. මේ අවස්ථාව අතහරින්න එපා. ගම්පිටින් අපි එකතු වෙමු. ගම් පිටින් අපි පොර බදමු. මේ දින කිහිපයේ වැඩ කරමු. අපිව සම්බන්ධ නොවුණු සෑම කෙනෙක් ම හමුවෙමු; කතා කරමු. සැප්තැම්බර් මාසේ විසි එක්වෙනිදට ජාතික ජන බලවේගය ජහග්‍රහණය කරවමු.’’
 


දෙසතියක රුවන් වැකි

මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි

සබරගමු විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයන අංශයේ මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි,

‘‘ජාතික පුනරුදයක් අවශ්‍ය වෙන මොහොතක, ඒ පුනරුදය ගොඩනගන්න එකම සුදුසුකම තිබෙන, අපේ කාලයේ විශිෂ්ටතම දේශපාලන ව්‍යාපාරය ගොඩනගන්න ඔබට, අපට හැකි වුණා. එහි ශක්තිය තමයි ඔබ. මේ මොහොතේ ශ්‍රී ලංකා භූමිය දෙස බැලුවම සෑම අතකින්ම ගරා වැටුණු, හැම අතකින්ම බිඳ වට්ටවපු මගේ රට, මහා ඛේදවාචකයකට තල්ලු කළ ඔබේ රට ගොඩනඟන්න පුළුවන් එකම ව්‍යාපාරයක් තිබෙනවා නම් ඒ ජාතික ජන බලවේගය පමණයි. අනෙකුත් දේශපාලන ව්‍යාපාර දිහා බලන්න. ඔවුන්ට අද වචන පටලැවෙන්නේ නැතිව, වැකියක් පටලැවෙන්නේ නැතිව කියා ගන්න බැහැ. ඒකට හේතුව ඒගොල්ලන් ගත කරපු දූෂිත, අශිෂ්ට දේශපාලන සංස්කෘතිය. මම සති දෙකක්, ජනමාධ්‍යයට සවන්දීලා ලියා ගත්ත වැකි ටිකක් ඉදිරිපත් කරන්නම්.

“එයාලා එහෙ ගියාට ඡන්ද තියෙන්නේ මහින්ද මහත්තයා ළඟ.” ජොන්ස්ටන්, “පොහොට්ටුව රැකගන්න මහින්ද මහත්තයා ආයෙත් ජනාධිපති කරනවා.” ප්‍රසන්න රණතුංග. ඔබ හිතලා බලන්න ඔහු හිටියේ කොතනද,  දැන් ඉන්නේ කොතනද? මේ කියන්නේ මොකක්ද කියලා.

“පොහොට්ටුව කුමන්ත්‍රණකාරී වැඩක් කළේ. අපි නිවැරදි තැනක නතර වුණා.” පියල් නිශාන්ත, “අපිව ප්‍රතික්ෂේප කළ නිසා තමයි රට බංකොළොත් වුණේ.” රවි කරුණානායක, “ඉතුරුවෙන කෙනත් එක්ක මම දේශපාලනය කරනවා.” නාමල් රාජපක්ෂ, “එස්.එම්. චන්ද්‍රසේන නිසා ෂෙහාන් මා එක්ක තරහ වුණා. අපිට දුකයි.” නාමල් රාජපක්ෂ, “අනු දෙකක් කොහෙද එහේ...? මෙහෙ අයත් එතන හිටියා.”, “මහින්ද රාජපක්ෂ නැතිව ඡන්ද කරන්න නම් බැහැ.” ජොන්ස්ටන් ප්‍රනාන්දු, “මමත් ගාල්ලෙනෙ. තුන්වෙනි සිවිල් යුද්ධයක් ඇති කරනවා ද නැද්ද කියලා සැප්තැම්බර් විසි එක ජනතාව තීරණය කරන්න.” වජිර අබේවර්ධන, “අන්තිමට මට මේක තනියම කරන්න බෑ. ටීම් එකක් තියෙන්න ඕනෑ. ටීම් එකක් හදාගන්න කියමු රනිල් වික්‍රමසිංහට. අපි නොවෙයි ආණ්ඩුව බෙදුවෙ. වැරැද්ද වුණේ රනිල්ගෙ කණ්ඩායමෙන්” නාමල් රාජපක්ෂ.

ඔබ හිතලා බලන්න. අපි මොනවද මේ අහන්නේ කියලා. මේක තමයි මේ වෙලාවේ තිබෙන උන්මත්තක දේශපාලනයේ ශේෂ පත්‍රය. අවුරුදු හැත්තෑ හයක් ඇවෑමෙන් ඔවුන් ඉතිරිකර ගත්තු දේශපාලන ශේෂ පත්‍රය තමයි මේක. “ජනාධිපතිටයි මටයි දෙන්නටම ජනාධිපතිකම ඉල්ලන්න බැහැ. ඒ නිසා මම අස්වුණා.” විජේදාස රාජපක්ෂ. “අපේක්ෂකයන් තුන්දෙනෙකුට සහාය දෙන එකම පක්ෂය තමයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය.” මේ පක්ෂයට ගියපු කල. දයාසිරි ජයසේකර මෙහෙම කිවුවා. දයාසිරි ජයසේකර ඔබ ගැනත් කිවුවා. ඔහුගෙන් නිවේදකයෙක් අහනවා “ඔබතුමන්ලා මේ විදිහට තැනින් තැනට පැනලා යනකොට, ජනතාවත් එහෙම යයිද?” දයාසිරි ජයසේකර කියනවා අපේ ගමන අපි යනවා, ජනතාවත් පනිනවා නම්, පනීවි.” “අපේ පැත්තෙන් පොල්ලෙල්ලක් දැම්මත් දිනනවා” කිව්වේ, බන්දුල ගුණවර්ධන. පොල්ලෙල්ලක් දිනවන්න අපි කවුද?

මෛත්‍රීපාල අත්අඩංගුවට ගත යුතුයි

ජනතාව ඉන්නේ සිහිබුද්ධියෙන්. ඒ නිසයි මේ භූමිය පිරී ඉතිරී තිබෙන්නේ. ඒ ගොල්ලෝ උම්මත්තක වුණාට ශ්‍රී ලංකාවේ ජනතාව එක මොහොතකදී තමන් පරිපූර්ණ පුරවැසියන් බව ඔප්පු කරන්න සූදානම්. ඒ මොහොත එළඹෙන්නේ සැප්තැම්බර් මාසයේ විසි එක්වෙනිදාට. වෛරී දේශපාලනයට, මුදලට විකිණෙන එකට අපි තිත තියන්න ඕනෑ. මනුෂ්‍ය ඝාතන පෙරදැරිකරගත් දේශපාලනය, ආර්ථික ඝාතන, සංස්කෘතික ඝාතන නිම කරන්නට සැප්තැම්බර් විසි එක බුද්ධිමත් තීරණයක් ගන්න ඕනෑ.

මෛත්‍රීපාල සිරිසේන කිවුවා, එක මන්ත්‍රීවරයෙකුගේ ගාණ මිලියන 500ක් වුණු නිසා එයාලට 113 හදාගන්න බැරි වුණා කියලා. ඒ ප්‍රකාශය ම ප්‍රමාණවත් ඔහුව අත්අඩංගුවට ගන්න. ඒ ප්‍රසිද්ධ අල්ලස් ගැන ඔහු පිළිගනිමින් කළ කතාවයි. මිලියන 500ක් එක මන්ත්‍රීවරයෙකුට දුන්නේ කවුද?
ජනාධිපති සහෝදරයෙක් තෝරා ගමු

අනධ්‍යයන සේවක සේවකයන්ගේ ප්‍රශ්නයට, මේ රටේ ජාතික විශ්වවිද්‍යාල දාහත ම මාස තුනක් වහල තිබ්බා. ඒ විදිහට මාස තුනක් වහල තිබුණේ ප්‍රශ්නය විසඳන්න මිලියන 400ක්  නැතිව. එක චණ්ඩි මන්ත්‍රීවරයෙකුට මිලියන 500ක්. මේ දේශපාලනයට තිත තියන්න ඕන නැද්ද? සැප්තැම්බර් විසි එක මේ රටේ කාන්තාව නිදහස් වෙන දවස. ගොවියා, කම්කරුවා, ලිපිකරුවා, මහාචාර්යවරයා, විද්වතා නිදහස් වෙන දවස. ඔබ සූදානම් වෙන්න ඕනෑ මේ මහා ජනතා රජය ඇති කරන්න.

අනුර කුමාර සහෝදරයා මහා වැඩි ඡන්ද ප්‍රමාණයකින්, තෝරා ගන්නා මහා ජනතා පෙරළියට, මහා විප්ලවයට  ඔබ සූදානම් වෙන්න. ඔහු ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අතිගරු කෑල්ල අතහැරලා, කටපුරා ජනාධිපති සහෝදරයා කියන්න පුළුවන් කෙනෙක්. අපේ ජීවිතයේ කොටසක් වගේ දැනෙන අනුර දිසානායක සහෝදරයා ජනාධිපති හැටියට තෝරා ගෙන මේ රට මහා පුනරුදයකට පෙළගස්වන මහා මංගල්‍යය සඳහා ඔබට ශක්තිය, ධෛර්යය ලැබේවා!

'මේ තවත් එක් බල හුවමාරුවක් නොවෙයි' - ආචාර්ය හරිනි අමරසූරිය


WhatsApp Image 2024 08 12 at 07.44.13 1ආචාර්ය හරිනි අමරසූරිය
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය,

මේ තව දවස් හතලිස් දෙකකින් සමරන්න නියමිත ජයග්‍රහණය වෙනුවෙන් තබන මූලික පියවරක්. අපි අවුරුදු ගණනාවක් තිස්සේ සූදානම් වුණේ මේ මොහොත වෙනකම්. අපි කොට්ඨාස සභා හදන්න ගත්තේ අවුරුදු දෙකහමාරකට කලින්. කාන්තා සභා හදන්න පටන් ගත්තා. දිස්ත්‍රික් සමුළු  තිබ්බා. විවිධ ක්ෂේත්‍ර එකතු කළා. මේ සියල්ලම ක්‍රමානුකූලව සංවිධානය කරමින් මේ මොහොත දක්වා, අපි මේ ගමන ආවා. ඔබ අපි සියලු දෙනා එකතු වෙලා ඉන්නේ තවත් එක් බල හුවමාරුවකට නොවෙයි. මේ රට වෙනස් කරන ජනතාවාදී පාලනයක් ඇති කිරීමේ පළවෙනි පියවර තමයි මේ.

2024 සැප්තැම්බර් විසි එක මේ රටේ සුවිශේෂී ඓතිහාසික දිනයක්. අවුරුදු හැත්තෑ හයක් මේ රට පාලනය වුණේ ජනතාව මූලික කරගෙන නොවෙයි. ඒ පාලකයන් තීන්දු තීරණ ගත්තේ ජනතාව වෙනුවෙන් හෝ ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් නොවෙයි. ජනතාවගේ ප්‍රශ්න විසඳන්න නොවෙයි. ජනතාව පොහොසත් කරන්න නොවෙයි. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට අවුරුදු හැත්තෑ හයකට පස්සේ මේ රටේ ජනතාව දුප්පත් වෙලා, පාලකයන් පොහොසත් වෙලා තියෙනවා. ජනතා නියෝජිතයන් හා ජනතාව අතර විශාල පරතරයක් ඇති වෙලා තියෙනවා. සැප්තැම්බර් විසි එක කියන්නේ  ඒක වෙනස් කරන දවස.

අද මේ පාලකයන් පනින එක, ඩීල් දේශපාලනය දිහා බලනකොට පේන්න තියෙන්නේ මොකක්ද? මේ පාලකයන් මේ කිසිවක් කරන්නේ අපි ගැන හිතලා නොවෙයි,. මේ පාලකයන් මේ මොහොතෙත් වෙහෙසෙන්නේ තමන්ගේ බලය තවදුරටත්, මොනවා හරි කරලා තව ටික කාලයක් එල්ලිලා ඉන්න. විසි එක කියන්නේ මේ තත්වය පරිවර්තනය කරන දිනය. මෙවැනි පරිවර්තනයක් කරන්න නම් අපට නායකත්වය අවශ්‍යයි. මේ රටේ ජනතාව එකතු කරන්න පුළුවන්, මේ රට හදන්න අවශ්‍ය මානව සම්පත එකතු කරන්න පුළුවන්, රටේ ජනතාවගේ හද ගැස්ම තේරුම් ගන්න පුළුවන් නායකත්වයක් තියෙන්න ඕනෑ. ඒ නායකත්ව ගති අනුර සහෝදරයා තුළ තිබෙනවා. මේ සමාජය මුහුණ දෙන බරපතළ අර්බුදයටත්, ඒ අර්බුදය විසඳීමට, ඒ පරිවර්තනයට මෙවැනි නායකත්වයක් අවශ්‍යයි.

රනිල්ට අදාළ නැත්තේ මොනවා ද...?

ඊයෙ පෙරේදා රනිල් වික්‍රමසිංහ මාධ්‍යවේදීන් අමතන අවස්ථාවක, එක මාධ්‍යවේදියෙක් ඔහුගෙන් ප්‍රශ්න කරනවා ඔහුට සහයෝගයට ඇවිත් තිබෙන කණ්ඩායම ගැන ඔහු කියනවා ‘ඒක මට අදාළ නෑ. මිනිස්සු ඡන්දෙ දෙන්නේ මට. මම ඒගොල්ලන් වෙනුවෙන් පෙනී ඉන්න ඕනෙ නෑ’ කියලා. ‘මහ මැතිවරණයක් ආවා ම, මම ඒගොල්ලන් වෙනුවෙන් පෙනී ඉන්නෙත් නැහැ. ඒගොල්ලන්ට ඡන්දෙ එකතු කරන්න යන්නෙත් නැහැ’ කියල කියනවා. තමන් වෙනුවෙන් ඉදිරිපත් වෙන අය ගැනවත් රනිල්ට විශ්වාසයක් නැහැ. එහෙම නායකත්වයකට රටක් හදන්න පුළුවන්ද? එක්කෝ ඔහුට ප්‍රශ්නය තේරුණේ නැහැ. එහෙම නැතිනම් ඔහුගේ උද්දච්චකමත් එක්ක ඔහුට ඒ කණ්ඩායම අදාළ නැහැ. ජාතික ජන බලවේගයේ තිබෙන ප්‍රධාන වෙනසත් ඒක. මෙතන රජ කෙනෙක් නැහැ.  අනුර සහෝදරයා මත ඔටුන්නක් තියන්න නොවෙයි මේ උත්සාහය.

අපේ මේ උත්සාහය සාමූහික ව්‍යාපාරයක් හැටියට මේ රටේ ජනතාව ඇත්ත ජයග්‍රාහකයන් බවට පත්කරන්න. අපි ඉදිරිපත් වෙන්නේ, තීන්දු තීරණ ගන්නේ කණ්ඩායමක් හැටියට. එහෙම දේශපාලන සංස්කෘතියකට නායකත්වය දිය හැක්කේ, කණ්ඩායමකට ඇහුම්කන් දෙන, හැකියාවන් හා දක්ෂතාවය තිබෙන අය ආකර්ෂණය කර ගැනීමත් ඒ අයව කළමනාකරණය කරන්නත් හැකි අයෙකුට පමණයි. ඒක තමයි නූතන ක්‍රමය.

අලුත් ක්‍රමය සහ නිවැරැදි ක්‍රමය

නායකත්වය කියන්නෙ සියල්ල තමන් අතට  අරගෙන, ඒකාධිපති කෙනෙක් වගේ මා තුළ තමයි සියලුම හැකියාවන් තියෙන්නේ කියන එක නොවෙයි. ඒක පැරණියි. කණ්ඩායමක් හරියට මෙහෙයව ගන්න පුළුවන් එක තමයි අලුත් ක්‍රමය හා නිවැරදි ක්‍රමය. අනුර සහෝදරයා මේ කාලය තුළ ඔප්පු කර තිබෙන්නේ ඒ නූතන  ක්‍රමයට, පුනරුදයට අවශ්‍ය නායකත්ව හැකියාව ඔහු තුළ තිබෙනවා කියන එකයි. මේ පැරණි, දුෂ්ට, ත්‍රාඩ, ආත්මාර්ථකාමී, උද්දච්ච දේශපාලන සංස්කෘතිය අවසන් කරලා, ජනතාව කේන්ද්‍රකර ගත් ජනතාවාදී පාලනයක් ඇති කිරීම තමයි අපේ බලාපොරොත්තුව. පුනරුදය කියන්නේ ඒකට.

අපේ ප්‍රතිපත්ති තුළත්, දේශපාලන සංස්කෘතිය තුළත්, දේශපාලන භාවිතය තුළත් අපේ මූලික අරමුණ වෙන්නේ අපි ගන්න තීන්දු තීරණ, අපි කරන වැඩ ජනතාවට කොහොමද බලපාන්නේ, ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විසඳුම් සොයන්නේ කෙහොමද කියන එක. ඒක තමයි අපේ ප්‍රවේශය. ඒක තමයි අපේ කඳවුරත් අපට විරුද්ධ කඳවුරත් අතර තිබෙන ප්‍රධාන වෙනස. අපේ ප්‍රවේශය තුළ අපට වැදගත් වෙන්නේ මේ රටේ පුරවැසියා. අර කඳවුරට වැදගත් වන්නේ ඒ පාලන පංතිය පමණයි. ඔවුන්ට අනුව ජනතාව කියන්නේ ඔවුන් වෙනුවෙන් නඩත්තු කරන පිරිසක්.

මේ රට අපි සියලු දෙනාට ම අයිතියි

මේ දවස්වල අපේ ප්‍රතිපත්ති එකින් එක එළිදක්වමින් තිබෙනවා. අපේ ප්‍රතිපත්තිවල මූලික දෙයක් තමයි, මේ රටේ කිසිම පුරවැසියෙක් අපි අතහරින්නේ නැහැ කියන එක. කිසිම පුරවැසියෙක් ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. අපේ ප්‍රතිපත්තිවල මූලික කරුණක් වෙන්නේ මේ රටේ සියලු දෙනා ආමන්ත්‍රණය කරන්නේ කොහොමද, මේ රටේ සියලු දෙනා එකතු කරන්නේ කොහොමද කියන එක. ඒ නිසා තමයි ගැහැනුන් හැටියට වෙනම සංවිධානය වෙලා අපට සුවිශේෂී වූ ප්‍රශ්නවලට විසඳුම් මොනවාද කියලා සාකච්ඡා කළේ. අපිට සුවිශේෂී වූ ප්‍රශ්නවලට අපිට කතා කරන්න පුළුවන් වේදිකාවක් අපි හදා ගත්තේ. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි, අපි සති දෙකකට විතර කලින් මේ රටේ ඉන්න ආබාධිත අය වෙනුවෙන් ප්‍රතිපත්තිය එළිදැක්වූවේ.

ජීවිත කාලය තුළ දී ආබාධයක් ඇති වුණාම සමාජයෙන් කොන් විය යුතු නැහැ. සමාජයෙන් හැළෙන්න බැහැ. සමාජයටත් පවුලටත් බරක් වෙන්න බැහැ. එසේ නොවෙන්න වගකිව යුත්තෙ ආණ්ඩුවයි. අපි ආබාධිත අය වෙනුවෙන් ප්‍රතිපත්තියක් එළිදැක්වූයේ ඒ වෙනුවෙන්. අපේ ආර්ථික ප්‍රතිපත්තිය තුළ, ආර්ථිකයට සියලු දෙනාගේ සහභාගිත්වය ලබාගන්නේ කොහොමද කියන එක අපි විස්තර කරනවා. අපි ඉදිරියට එළිදැක්වීමට නියමිත, අපේ සමාජ ආරක්ෂණය, සමාජ ආරක්ෂණ සුබසාධන ප්‍රතිපත්තිය තුළ මේ රටේ කවුරුවත් අසනීපයක දී සෞඛ්‍ය සේවය ලබාගත නොහැකි තත්වයක් හෝ අධ්‍යාපනයෙන් හැළෙන තත්වයක් ඇති වෙන්නේ නැහැ. මේ රට අයිති අපි සියලු දෙනාට. මේ රට දියුණු වුණාම, පොහොසත් වුණාම එහි ප්‍රතිලාභ අපි සියලු දෙනාටම සමානව ලැබෙන්න ඕනෑ.

අධ්‍යාපනයේ බර අපි බාරගන්නවා

ආණ්ඩුවක් හැටියට මාලිමාව ආණ්ඩුව සමාජ සුබසාධනයත්, සමාජ සංවර්ධනයේ වගකීමත් ගන්නවා. අපි යන බොහෝ තැන්වල කතා කරන්නේ අධ්‍යාපනයේ අර්බුද ගැන; මේ මොහොතේ අධ්‍යාපනය කොච්චර බරක් වෙලාද කියන එක. අධ්‍යාපනය ආස්වාදය ගෙන දෙන එකක් නොවෙන තැනට පත්වෙලා. ඒක කරදරයක්. මානසික පීඩාවක් වෙලා. එසේ සිදුවෙලා තිබෙන්නේ අවුරුදු ගණනාවක් තිස්සේ ආණ්ඩු අධ්‍යාපනය වෙනුවෙන් දැරිය යුතු වගකීම ක්‍රමානුකූලව අතහැරපු නිසා; ඒක දෙමාපියන් මතත්, පවුල මතත් පවරලා තියෙනවා. මාලිමාවේ ආණ්ඩුවක් තුළ අධ්‍යාපනයේ වගකීම දරන්නේ රජය. ඔබත්, දරුවාත් නිදහස් වෙනවා. දරුවන්ට තියෙන්නේ ඉගෙන ගන්න එක. දෙමව්පියන්ට තිබෙන්නේ විශ්වාසයෙන් යුතුව ඒ නිර්මාණය වෙන අධ්‍යාපන පද්ධතියට දරුවන්ව බාරදෙන්න. ගුරුවරුන්ට සිදුවෙන්නේ ඔවුන්ගේ වෘත්තියට නම්බුවක් වෙන විදිහට ඉගැන්නුම් පරිසරය හරියට කරගෙන යන්න. සියලු ක්ෂේත්‍රයන් තුළ ම ඔබ මත පටවා තිබෙන බර ආණ්ඩුවක් හැටියට අපි බාර ගන්නවා.

ඒ වෙනුවෙන් තව දින හතළිස් දෙකයි. ජයග්‍රහණය ගැන කිසිදු අවිශ්වාසයක් නැහැ. මේක සුවිශේෂී ජයග්‍රහණයක් වෙන්න ඕනෑ. ඒ වෙනුවෙන් අපි සියලු දෙනාම ඉදිරි කාලය තුළ වැඩ කරන්න ඕනෑ. මඩ බාල්දි පෙරළෙන්න පුළුවන්. නමුත් ඒවාට අපි යටත්  වෙන්නේ නැහැ. ජනතාව මේ මොහොතේ අරගෙන තිබෙන තීරණය ඒ මඩ ව්‍යාපාරවලින් වෙනස් කරන්න බැහැ. ඒ මඩ ව්‍යාපාරවලට අනුර කුමාර සහෝදරයාගේ ජයග්‍රහණයට කිසිදු හෝ බලපෑමක් කරන්න බැහැ. ඒවාට මුහුණ දෙමින් තව අය එකතු කරන්න ඕනෑ. අපි එකතු වෙන්නෙත් බලය ගන්නෙත් රටක් හදන්න. රට හදන ගමනට සියලු දෙනා එකතු කර ගනිමු. හැමෝම එකතු කරගෙන සැප්තැම්බර් විසි එක්වනදා ජනාධිපති අනුර සහෝදරයාගේ ජයග්‍රහණය තහවුරු කරමු.’’

(සටහන - ජයසිරි අලවත්ත)
 
abilipitiya

worky sin

නවතම පුවත්