පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ නම් කරමින්, ජනතාවගේ වෛරය හා කෝපය ප්‍රජාතන්ත්‍රවාදීව පළකිරීමට
අවස්ථාව ලබාදීම පිළිබඳව එක්සත් ජනරජ පක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂ වෙත ස්තුතිය පළකර සිටියි.
''අපි සතුටු වෙන්න ඕනේ පොහොට්ටුව ලකුණෙන් එන, නාමල් රාජපක්ෂ මහත්තයාව බින්දුවට වට්ටලා, අපේ වෛරයයි, කෝපයයි ප්‍රජාතන්ත්‍රවාදීව පළකරන්න මහින්ද රාජපක්ෂ අපිට අවස්ථාවක් දීම ගැන. විස්සයි විසි දෙක මැයි නවය, ජූලි නවය ඉගෙන නොගත්ත පාඩම ලබන සැප්තැම්බර් විසි එක්වෙනිදට මහින්ද රාජපක්ෂට උගන්නන්න අධිෂ්ඨාන කර ගමු කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා.'' යයි එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාඨලී චම්පික රණවක පැවසිය.
මාලිමාවට අභියෝගයක්
දුෂණයට එරෙහි බව පවසමින් ෆයිල් රැගෙන තැන තැන යන මාලිමාවට මෙරට දේශ සීමාව ඉන්දියාවේ පෙට්ටි කඩයකට විකුණු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ගේ නම අමතක වී ඇති බව ද පාඨලී චම්පික රණවක පවසයි.
එමෙන් ම ජාතික සම්පත් සුරකින බවට තරුණයන් රවටමින් කතා පවත්වමින් යන අනුර කුමාර දිසානායකට හැකි නම් ටිරාන් අලස්ට ‘හොරා’ කියා ප්‍රසිද්ධියේ කියන ලෙස ද පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අභියෝග කළේ ය.
චම්පික රණවක මෙලෙස අභියෝග කළේ ඊයේ (11) පිළියන්දල නගර සභා ශ්‍රවණාගාරයේ පැවැත්වූ එක්සත් ජනරජ පෙරමුණු පිළියන්දල ජනහමුව අමතමිනි.
මේම ජනහමුව එක්සත් ජනරජ පෙරමුණේ මුහුදුබඩ කලාප නායක කැස්බෑව ආසන සම්බන්ධීකාරක සුනිමල් ජනරංජන පෙරේරාගේ මුලිකත්වයෙන් සංවිධානය කර තිබූ අතර ඒ සඳහා එක්සත් ජනරජ පෙරමුණේ නායකයන් බොහෝ පිරිසක් සහභාගි වූහ.
එහි දී ජනහමුව අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක...
රට රැවටූ වසලයෝ
‘‘ගෝඨාභය ඇතුළු වසල ජාතිකවාදියෝ ගියේ නිකන් නෙවෙයි මේ රටේ ලක්ෂ දෙසිය විස්සක් මිනිස්සු යාචකයෝ කරලා. ඒ රැළ ගියේ තමිල්නාඩුවේ යාචකයින්ගේ සල්ලිවලින් තෙල් ගහන්න පුළුවන් රටක් හදලා. දැන් ඒ රැළ ආයෙත් ඇවිල්ලා අපට දේශනා දෙනවා. රට බංකොලොත් කරපු වැරදිකාරයෝ බවට: මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂගෙ නම උසාවියෙන් ප්‍රකාශයට පත් කරා. ඒ විතරක් නෙමෙයි මේ රටේ තෙල් පෝලිම් හදලා රට රවට්ටපු ඒ වසල පිරිස සියලු දෙනාම මේකට වගකිව යුතු බව අපි බොහොම අවධාරණයෙන් කියනවා.
අපි මහින්ද රාජපක්ෂ මහත්තයාට ස්තුතිවන්ත වෙනවා. ඇයි? එතුමා අද නාමල් රාජපක්ෂ එතනට දාලා තියෙනවා. හුඟක් දෙනෙක් හිතුවා හැට නම ලක්ෂයේ ජනතාව ඡන්දේ දීලා අවසානයේ මේ පක්ෂය කැසිනෝ මුදලාලි කෙනෙකුට වික්කා නේද කියලා. අන්තිමට වුණේ මොකක්ද? ධම්මික පෙරේරාට වුණෙත් මහින්ද රාජපක්ෂලා පස්සේ ගියපු අනිත් හැමෝට ම වෙච්ච දේ තමයි. මොකක්ද වුණේ...? පොල්කුඩු ගානට වැටිලා දේශපාලනයෙන් ඉවත් වෙලා යන එක.
දවල් මිගෙල් රෑ ඩැනියල්
අද මේ රටේ මහජන ආරක්ෂක ඇමති කියන පුද්ගලයා මොකද කරලා තියෙන්නේ? මේ රටේ දේශ සීමාව ඉන්දියාවේ පෙට්ටි කඩයකට පාවා දීලා තියෙනවා. කෝ අද දේශප්‍රේමියෝ? කෝ අද ජාතික සම්පත් සුරකින්න කතා පවත්වපු කට්ටිය? ලංකා ඉතිහාසයේ කරපු ලොකුම වංචාව ඩොලර් මිලියන 2.7 ක්. දූෂණය ගැන ෆයිල් පෙන්න පෙන්න කතා පවත්වන අයට මහජන ආරක්ෂක ඇමතිගේ නම මතක නෑ, මේ දූෂණය මතක නෑ. ඇයි? මේගොල්ලෝ ඔක්කොම ගෙනියන්නේ දවල් මිගෙල් රෑ ඩැනියල් ක්‍රියාවලියක්. අපි මාලිමාවට විවෘත අභියෝගයක් කරනවා පුළුවන්නං ටිරාන් අලස්ට ‘හොරා’ කියලා පෙන්නන්න. ඔහුගේ විදේශ රටවල් වල තියෙන දේපොළ පිළිබඳව ගිය අවුරුද්දේ අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කළා. හරිනම් මොවුන් අරගෙන යන්න ඕන නේද අල්ලස් දූෂණයට? ඒ නිසා අපි කියනවා ඒ මහත්තයට, ඔයාට දඬුවම් දෙනකම් ම අපි මේ අරගලය ගෙනියනවා කියන එක.
ආගමන විගමන පාලකතුමාටත් බොහොම පැහැදිලිව අපි කියනවා. දූෂිත ෆයිල් කාරයෝ තරුණ සම්මේලනවල කතා පවත්වනවා, විදේශවලට ගිහිල්ලා කතා පවත්වනවා. හැබැයි රටේ දේශසීමාවෙන් එළියට යන්න ඇතුළට එන්න තියෙන ඩොලර් ටික වළක්වලා තියෙන මේ දූෂණය ගැන නිහඬයි. ඒ නිසා අපි නිහඬ වෙන්නෑ. අපට එයාගේ මාධ්‍යවලින් මඩ ගැහුවත් අපි නිහඬ වෙන්නෑ. යුක්තිය ජය ගන්නා තෙක්ම අපි සටන් කරනවා.
ඔබ ඡන්දය නොදිය යුත්තේ කාට ද...?
දැන් ඊළඟ ජනාධිපතිවරණය ගැන: අපේ ස්ථාවරය මොකක්ද? ඕගොල්ලෝ ඉල්ලනවද? නැත්නම් අපේක්ෂකයෙකුට සහාය දෙනවද? කියලා අහනවා. අපි කරුණු කිහිපයක් අවධාරණය කරන්න කැමතියි. එක... මේ රට සෘජුව හෝ වක්‍රව බංකොලොත්භාවයට පත් කිරීම වෙනුවෙන් වගකිවයුතු ජනතාව නොමඟ යවපු අපේක්ෂකයෝ ඉන්නව නම් ඒ කිසි අපේක්ෂකයෙකුට ඔබේ ඡන්දය දෙන්න එපා කියලා රට දැනුවත් කරන ව්‍යාපාරයක් බවට මේ ජනාධිපතිවරණය අපි පත් කරගන්නවා.
අංක දෙක... ව්‍යාජ විප්ලවවාදී යෝජනා පරාජය කරලා මේ ස්ථාවරත්වය පවත්වා ගැනීම වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. මේ ස්ථාවරත්වය මත පදනම් වෙලා, රටේ ආර්ථික වර්ධනයක් ඇති කරගන්න, ණය ගෙවන්න පුළුවන් ශක්තිය තියෙන රටක් ඇති කරගන්නට, රට ගොඩනැගිය හැකි වැඩපිළිවෙල දේශය වෙනුවෙන් එක්වන පියවරක් හැටියට අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අපි මේ ජනාධිපතිවරණය පාවිච්චි කරනවා.
අපි යනනේ කොයි පාරේ...?
රටේ රාජ්‍ය නායකයාට හොඳ කණ්ඩායමක් ඕනේ. ඒ කණ්ඩායම් අත්හදා බලන්න වෙලාවක් නෑ. සමහරු මේ අලුත් අත්හදා බැලීම් කරනවා. ගෝඨාභය මහත්තයත් අත්හදා බැලුවා. ධම්මික පැණිය අත්හදා බලලා තිස්දාහක් වළපල්ලට ඇරියා මතකද? ඒ වගේම ගොවිතැන අත්හදා බලන්න ගිහිල්ලා, රටේ රජකාලේ ඉඳන් ආපු, ගොවි ජනතාව යාචකයෝ බවට පත්කරපු හැටි මතක ද? ඒ වගේ අත්හදා බැලීම් කරන්නෙ නැතුව මේ රට පළපුරුදු කණ්ඩායමක් අතට අවංක පිරිසක් අතට නව පාර්ලිමේන්තු බලයක් කරා ගෙන යාම වෙනුවෙන් අපි මේ ජනාධිපතිවරණය පාවිච්චි කරනවා.
මෙන්න මේ අපි කියපු කාරණාත් එක්ක අපි ඉදිරි දින කිහිපය ඇතුළත තෝරාගත් අපේක්ෂකයා කවුද කියන එක ප්‍රකාශ කරනවා. ඒ අපේක්ෂකයා රටේ ඊළඟ නමවෙනි ජනාධිපති කිරීම සඳහා අපි එකාවන්ව අධිෂ්ඨානයෙන් ක්‍රියාකරන බව බොහොම පැහැදිලිව කියනවා.’’
නාමපුවරු නැති වැඩකාරයා
මෙම රැලියේ දී අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ ප්‍රධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර
‘‘මෙවර ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතා විතරක් නෙවෙයි අනෙක් විපක්ෂ කණ්ඩායම් ද පාඨලී චම්පික රණවක මහතා එයාලගෙ කණ්ඩායමට ලබාගැනීම සඳහා උත්සහ දරනවා. ඒකට හේතුව තමයි චම්පික රණවක මහතා ඕනෑම ආණ්ඩුවකට රට ගොඩනැගිය හැකි නිවැරදි දැක්මක්, බුද්ධියක් ඇති නායකයෙක් වීම.
නමුත් රජුන් තනන දැක්මක් සහිත නායකයෙකු වෙන පාඨලී චම්පික රණවක මහතා වරදාන වරප්‍රසාදවලට සම්බන්ධ වන නායකයෙකු නෙවෙයි. ඔහු තෝරාගන්නේ ජනතාවගේ අපේක්ෂාවන් ඉෂ්ට කරන්න පුළුවන්, දුෂණ විරෝධී කණ්ඩායමක්. ‘චම්පික රණවක රටට වැඩ කරයි කිව්වට කොහෙවත් බෝඩ් නෑනේ...’ කියල ජනතාව අහනවා. පාඨලී චම්පික රණවක මහතාගේ නම නාම පුවරුවල නැතිවීමට හේතුව ඒ මහතා කටයුතු කරේ නම ප්‍රචාරය කිරීම සඳහා නෙවෙයි; රටේ දරුවන්ගේ හෙට දවස ශක්තිමත් කිරීම සඳහා.’’
ජනතාවට මගහැරුණ දේ
එක්සත් ජනරජ පෙරමුණේ කැළණි වැලි කලාප නායක කඩුවෙල ආසන සංවිධායක බෝසෙත් කළහේපතිරණ
‘‘ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස දශක ගණනාවක් පාසල්වල උගන්වමින් ඇවිත් දැන් සිද්ධ වෙලා තියෙන්නෙ බංකොලොත් රටක් බව උගන්වන්න. ඒකට හේතුව තමයි රටේ ජනතාව මේ වනතෙක් නිවැරදි නායකත්වයක් තෝරා නොගැනීම. ඒ සඳහා අවශ්‍ය කරන්නෙ නිවැරදි දැක්මක් සහිත නායකයෙක්. ඒක මේ වනතෙක් ජනතාවගෙන් මගහැරිලා. නමුත් මේ වනවිට ලංකා දේශපාලනයට සුදුසු නිවැරදි දැක්මක් තියෙන නායකයෙක් ඉදිරිපත් වෙලා ඉන්නවා. ඒ තමයි පාඨලී චම්පික රණවක මහතා.’’
චම්පිකගේ තෝරාගැනීම
කොළඹ කලාප නායක, බොරැල්ල ආසන සංවිධායක කිංස්ලි පෙරේරා
‘‘ජනාධිපතිවරණය හෝ මහමැතිවරණය වේවා ආණ්ඩුව හෝ විපක්ෂය වේවා මැතිවරණවලදී ජයග්‍රහණය කරන්නේ පාඨලී චම්පික රණවක මහතා නියෝජනය කරන පාර්ශවය යි. එය විශ්වාසයක් නෙවෙයි; සදාතනික ඇත්තක්. මේ නිසා දේශපාලන පක්ෂ පාඨලී චම්පික රණවක මහතා තමන්ගේ පාර්ශවයට ගන්න විවිධ විවිධ අය නිතර නිතර ඔහු හමුවෙන්න ආවා. නමුත් ඔහු තෝරා ගන්නේ රටට අවැසි නිවැරදි පාර්ශවය.’’
(සටහන - ජයසිරි අලවත්ත)