සමගි ජන බලවේගය උඩරට හා පහතරට වතු ප්‍රජාව සමඟ සමාජ ගිවිසුමකට ප්‍රවේශ වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
විපක්ෂ නායකවරා මෙලෙස පැවසුවේ උඩරට සහ පහතරට වතු ප්‍රජාව වෙනුවෙන් ප්රඥප්තියක් අත්සන් කිරීමේ අවස්ථාවේ දී ය.
එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා,
වතු ප්‍රජාවට පුරවැසි අයිතිවාසිකම් ලැබිල නැහැ
‘‘උඩරට පහතරට වතු කේන්ද්‍රිය ප්‍රජාවට අලුත් ආරම්භයක්, අලුත් ගමනක් වගේ ම වසර දෙසීයක මෙරට ඉතිහාසය තුළ නැවුම් පරිච්ඡේදයක් නිර්මාණය වෙනවා. රණසිංහ ප්‍රේමදාස මහතා මෙරට වතු ප්‍රජාවට විශේෂ සේවා රැසක් ඉටු කරමින් වතු ප්‍රජාවට පුරවැසි භාවය ලබා දුන්නා. පුරවැසිභාවයත් සමග රටේ පුරවැසියන්ට ලැබිය යුතු ශක්තිය, වරප්‍රසාද සහ අවස්ථා මේ වන තෙක් ඔවුන්ට ලැබිල නැහැ. මේ ප්‍රජාවගේ අඩුපාඩු විසදීමේ ඓතිහාසික අවබෝධතාවට අපි ප්‍රවේශ වුණා. මේක මේ මැති ඇමතිකම් හරි, සභාපතිකම් හරි, දේශාපලනඥයන්ට ලැබිය යුතු වරප්‍රසාද වෙනුවෙන් හරි සිදු වෙන දෙයක් නෙවෙයි. මේ සමාජ ගිවිසුම තුළ නිර්මාණය වෙලා තියෙන්නෙ වතු ප්‍රජාවගේ: දේශපාලන, ආර්ථික, සමාජීය, සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් එම ප්‍රජාව සවිබල ගැන්වීමක්.
මේ ජනතාවට අහිමි වුණු අවස්ථා බොහෝමයක් තියෙනවා. ඒ නිසා අපි ප්‍රවේශ වුණේ ඒවා ඉවත් කරලා ඒ ප්‍රජාවට හිමිකමක් ලබා දෙන වැදගත් ගිවිසුමකට. අපි බලයට පත් වෙලා පැය හතළිස් අටක් ඇතුළත: මේ රටේ ඉතිහාසයේ උඩරට පහතරට ඇතුළු වතු ප්‍රජාවට කළ හැකි උපරිම සංවර්ධන ක්‍රියාදාමය ක්‍රියාත්මක කරන්නත්, මේ ක්ෂේත්රය වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධන බලකායක් ස්ථාපිත කරන්නත් මම පොරොන්දු වෙනවා.
ඒ වගේ ම මේ අහිංසක වතු ප්‍රජාව විවිධ දේශපාලන උප්පරවැට්ටි නිසා, කූඨ දේශපාලන ක්රමෝපායන් නිසා අසරණ වෙලා. මේ අයගේ පුරවැසිභාවයට අලුත් අරුතක් ලබා දීලා, ඔවුන් ලැයිම් කාමරයට සීමා නොකර කුඩා තේ වතු හිමියෙක්, ඉඩමක හා ප්රාග්ධනයක අයිතියක් ඇතියෙක් බවට පත් කරලා, ආදායම් මාර්ග වර්ධනය කරලා, ජාතික තේ නිෂ්පාදනයට ලබා දෙන දායකත්වය ද වැඩි කරන්න අපි කටයුතු කරනවා. තව දෙයක්... බොරු පොරොන්දුවලට රැවටෙන සදාකාලික කම්කරු ජීවිතයක් නෙවෙයි... අපි, මේ ප්‍රජාවගේ අයිතීන් ශක්තිමත් කරන ජනතා සවිබල ගැන්වීමක් සිදු කරනවා.’’
වතු ජනතාව ශ්‍රී ලංකිකයින් විදියට පිළිගන්න - මනෝ ගනේෂන්
මේ අවස්ථාවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් ද අදහස් දැක්වි ය.
‘‘කොන් වෙලා, වෙන් වෙලා, හුදකලා වෙලා ඉන්න වතු ජනතාවට අද පිළිගැනීමක් ලැබුණා. සමගි ජන බලවේග ආණ්ඩුවකටත් පෙර මෙවැනි පිළිගැනීමක් ලැබීම සතුටට කරුණක්. මේක වරප්රසාදහරි දේශපාලන වුවමනා වෙනුවෙන් කරන දෙයක් නෙවෙයි; සැබෑම සමාජ ගිවිසුමක්. මේ තුළින් වතු ජනතාවගේ පුරවැසිභාවය සැබෑ ලෙස ම සම්පූර්ණ වෙනවා. වතු ජනතාවට පුරවැසිභාවය ලැබුණට ඒක සර්ව සම්පූර්ණ වෙලා නෑ. ඒ නිසා මේ අයව සැබෑවට ම ශ්‍රී ලාංකිකයන් විදියට පිළිගන්න කියලා මම ඉල්ලා සිටිනවා.’’
මෙම ප්රඥප්තිය සඳහා අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මෙන් ම පලනි දිගම්බරම් සහ එම්. උදයකුමාර යනාදි වතු ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද අත්සන් තැබූහ.
(සටහන - ජයසිරි අලවත්ත)