දීර්ඝ කාලයක් තිස්සේ වතු කම්කරුවන් මුහුණ දුන් වැටුප් ගැටළුව විසඳාලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ නායකත්වයෙන්
අවශ්‍ය පියවර ගැනේ.
ඒ අනුව වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රු. 1700 දක්වා ඉහළ නැංවීමට පඩි පාලක සභාව අද (12 ) තීරණය කළ බව ලංකා ජාතික වතු කම්කරු සංගමයේ මහ ලේකම් වඩිවෙල් සුරේෂ් ප්‍රකාශ කළේය.
වතු කම්කරුවන් දීර්ඝ කාලයක් තිස්සේ මුහුණ දුන් වැටුප් ගැටලුව කඩිනමින් විසඳාලීමට කටයුතු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට වතු කම්කරු ජනතාවගේ ගෞරවය පුද කරන බවත් “එක්ව ජයගමු” මාධ්‍ය හමුවට කොළඹ දී එක් වෙමින් ඔහු පැවසීය.
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා දැඩි වෙහෙසක් දැරූ හිටපු කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර ට ද ස්තූතිවන්ත වන බවත් ඔහු කියා සිටියේය.
අවම දෛනික වැටුප රු. 1700 දක්වා ඉහළට
වතු කම්කරුවන්ගේ වැටුප් ප්‍රශ්නයට අමතරව වතු නිවාස ප්රශ්නය, වතුකරයේ ගුරු සහයක පත්වීම් ගැටලුව විසඳීමටත් ජනාධිපතිවරයා එකඟතාව පළ කර තිබෙන බවත් වඩිවෙල් සුරේෂ් කීවේය.
ජනාධිපතිවරයා සමඟ අද (12) උදෑසන පැවැති සාකච්ඡාවේදී වතු කම්කරුවකුට පර්චස් 8 ක ඉඩම් හිමිකම් ප්රදානය කිරීමටත් එකඟ වු බවත් විශ්‍රාම ලැබූ වතු කම්කරුවන්ට පවා එම අයිතිය හිමිවන බවත් හෙතෙම පැවසීය.
වතු ගුරු සහයක පත්වීම් 2300 ක් ප්රදානය කිරීමට මතුව තිබු ගැටළු විසඳා ගෙන කඩිනමින් එම පත්වීම් ප්රදානය කිරීමටට කටයුතු කරන බවට ජනාධිපතිවරයා ප්‍රතිඥා දුන් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.