යුද්ධාවසානයේ හමුදාවට භාරදී අතුරුදහන් වූවන් සහ වන්නියේ සමූහ මිනීවලක් පිළිබඳ නඩු විභාග වන අවස්ථාවේ ඔත්තු අංශ සාමාජිකයන් බහුල වශයෙන් ගැවසෙමින් ප්‍රශ්න කිරීම නිසා දෙමළ ඥාතීන් සහ ක්‍රියාධරයන් දැඩි ලෙස බිය වැදී සිටිති.
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ යුද්ධයේ අවසන් අදියරේදී ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශ වෙත බාර දීමෙන් පසු අතුරුදහන් කිරීමට ලක්ව ඇති හිටපු විමුක්ති කොටි සාමාජිකයකුගේ මවක් විසින් සිය පුත්‍රයා සොයා දෙන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් මෙන්ම කොක්කුතොඩුවායි සමූහ මිනීවල පිළිබඳ විමර්ශනය ද එදින අධිකරණයේ විභාගයට ගත් බවයි.
යුද පීඩිත දෙමළ මව්වරුන් එළිපිට බිය වද්දමින් රජයේ බුද්ධි අංශ සාමාජිකයන් අධිකරණ භුමිය තුළත් ඒ අවටත් සැරිසරන ආකාරය පිළිබඳව හෙලි කර ඇත්තේ උතුරේ ජනතා නියෝජිතයෙක් හා යුද වින්දිත මාතාවක් විසිනි.
"මං එලියට එනකොට උසාවියේ දොරකඩ හිටගෙන ඉඳලා මගෙන් ඇහුවා ‘අක්කා අද නඩුවක් තියෙනවද’ කියලා," යි මුලතිව් දිස්ත්‍රික්කයේ බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපතිනි මරියසුරේෂ් ඊශ්වරී මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී අගෝස්තු 8 වැනි බ්‍රහස්පතින්දා පළාතේ මාධ්‍යවේදීන්ට කියා සිටියාය.
රාජ්‍ය බුද්ධි නිලධාරීන් අධිකරණ භුමියේ මෙන්ම පිටතත් රැදී සිටීම නිසා දෙමළ මව්වරුන්ගේ ආරක්ෂාවක් නොමැති බවද ඇය ප්‍රකාශ කළාය.
"ඒ අය දන්නවා අපි නඩු විභාගයකට එනවා කියලා. මේ තර්ජනය අපිට දිගටම තියනවා. ඔවුන් ඇතුළේ සහ පිටත ඉන්නකොට අපට ඇත්ත කියන්න බියක් තියනවා. අපිට නිසි ආරක්ෂාවක් නැහැ."
මාධ්‍යවලට තොරතුරු හෙලිකිරීම නිසා තනිව ඔබමොබ යන තමන්ගේත් දරුමල්ලන්ගේත් ජීවිත පවා අවදානමට ගොදුරු විය හැකි බවට ඊශ්වරී මාතාව අනතුරු ඇඟවුවාය.
"අපිට කතා කරන්න නිදහසක් නෑ. මෙතන අපිට කතා කරන්න හුඟක් දේවල් තියෙනවා. ඒත් ඒ කාරනා මාධ්‍යයට කියුවොත් ජීවතුන් අතර ඉන්න වෙයිද කියන්න බෑ. අපේ දරුවෝ උස්සගෙන යයි කියන බය හින්දා, මාධ්‍යයට කතා කරනකොට අපිට ස්වයං වාරණයක් දාගන්න වෙලා.."
අතුරුදහන් කළවුන්ට යුක්තිය ඉල්ලා කෙරෙන අඛණ්ඩ අරගලයේ නායිකාව හෙළිකරන කරුණු තහවුරු කරමින් එදින අධිකරණ කටයුතු සදහා සහභාගී වි සිටි දෙමළ ජාතික ජනතා පෙරමුණේ ප්‍රධාන ලේකම්, සෙල්වරාසා ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයාද පෙන්වා දී තිබුනේ එදින උසාවි ආ ඥාතීන් පිරිසක්ද ජීවිත අවදානම හේතුවෙන් ආපසු ගොස් ඇති බවයි.
"මේ එළියේ රජයේ බුද්ධි අංශ, සී.අයි.ඩී, ටී.අයි.ඩී කියන පිරිස පිරිලා ඉන්න බව දැක ගන්නට පුළුවන්. මෙහෙ ආ අතුරුදන්වූවන්ගේ නෑදෑයනුත් හැරිලා ගිහිල්ලා. මොකද මෙහෙ හිටියොත් මොකක් හරි අනතුරක් වෙයි කියලා බයට ආපහු ගිහින් තියෙනවා."
අධිකරණ කටයුතු වලදි වින්දිතයන්ට සිය අදහස් විවෘතව පැවසීමේ අවස්ථාව වලකාලීම වෙනුවෙන් රජය මෙවැනි ක්‍රියාමාර්ග ගන්නා බවට දෙමළ ජනතා නියෝජිතයා එහිදී සැක පළකර තිබුණි.
හබයාස් කෝපස් පෙත්සමක්
හමුදාවට භාරදී අතුරුදහන් හිටපු LTTE සාමාජිකයකුගේ මව ගොනුකළ පෙත්සම වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ කේ.එස්. රත්නවේල් පළාත් බද මාධ්‍යවේදීන් සමග පවසා තිබුනේ ශ්‍රී ලංකා යුද හමුදාවේ මුලතිව් කඳවුරට භාර වූ සිය පුතා බස් රථයක නංවාගෙන යාමෙන් පසු ආගිය අතක් නැති බවට පැමිණිලිකාර දෙමළ කාන්තාව අධිකරණයට කරුනු වාර්තා කළ බවයි.
"2009 යුද්ධය අවසානයේ තම පුතා ශ්‍රී ලංකා හමුදාවේ මුලතිව් කඳවුරට භාර වූ බවත්, ඔහු ඇතුළු පිරිසක් හමුදා පාලනය යටතේ බස් රථවල නංවාගෙන ගිය බවත්, ඉන් පසුව ඔහුව සොයා ගැනීමට නොහැකි වූ බවත් ඔහු ගැන කිසිදු තොරතුරක් නොමැති බවත්, කෙතරම් උත්සාහ කළත් රජයේ නිලධාරීන්ට සහ රාජ්‍ය ආයතනවලට ගොස් ප්‍රතිඵලයක් නොලැබුණු නිසා මෙම නඩුව ගොනු කළ බවත් ඇය අධිකරණයට කිව්වා."
එම නඩුව නොවැම්බර් 27 වැනිදා යලි විභාගයට ගැනීමට නියමිත බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.
යුද්ධයේ අවසන් සමයේ මුලතිව් යුද හමුදා කඳවුර වෙත බාර වූ සහ අත්අඩංගුවට ගත් හිටපු එල්ටීටීඊ කැරලිකරුවන්ගේ නාමලේඛනයක් යුද හමුදාව සතුව ඇති බවට 2018 වසරේදී 58 වැනි සේනාංකයේත් මුලතිවු යුද හමුදා කඳවුරේත් ආඥාපති වු මේජර් ජෙනරාල් චානක්‍ය ගුණවර්ධන අධිකරණය හමුවේ පැවසුවත් එම ලේඛනය ඔහු අධිකරණයට ඉදිරිපත් කළේ නැත.
පසුව ඔහු පවසා තිබුනේ තමන් සතුව ඇත්තේ පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල්වරයා විසින් නිකුත් කර ඇති ලේඛණයක් පමණක් බවයි.
උතුරේ දියත් කළ යුද්ධයේ අවසන් සමයේදී යුද හමුදාවට භාරවූ කිසිවකු ලියාපදිංචි නොකළ බව පසු අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකා යුද හමුදාව යළි යළිත් අවධාරණය කළේය.
ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ සන්ධිස්ථානයක් සලකුණු කරන නඩු තීන්දුවක් ලබා දෙමින් 2022 දෙසැම්බර් 16 වැනි සිකුරාදා වවුනියා මහාධිකරණය 2009 දී මුලතිව් යුද හමුදා කඳවුර වෙත බාර වූ සහ අත්අඩංගුවට ගත් හිටපු එල්ටීටීඊ කැරලිකරුවන් අතුරින් අඩුම වශයෙන් එක් අයකු හෝ යුද හමුදාව විසින් අතුරුදහන් කර ඇති බව පළමු වරට පිළිගෙන තිබුනි.
විමුක්ති කොටි සාමාජිකයන් ඇතුළු යුද්ධයේ අවසන් අදියරේදී ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශ වෙත භාර වූවන්ට අත්වු ඉරණම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව වගකිය යුතු බවට වන්නියේ උසාවි පසුගිය සමයේ අවස්ථා කිහිපයකදීම අවධාරණය කර තිබුනි.