සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න, කොළඹ ගංගාරාම විහාරස්ථ සීමාමාලකයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහය ලබාදෙන බව අද (13) දැනුම් දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ රාජිත සේනාරත්න අතර "රාජිතගේ තීරණය" සම්මුතියට ද මෙහිදී අත්සන් කෙරිණි.
මෙහිදී අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසූයේ, රාජිත සේනාරත්න ද තමා මෙන්ම රැඩිකල් තීරණ ගැනීමට ඉදිරිපත් වන හෙයින් තමා සමග එක්වීමට තීරණය කළ බවයි.
ජනතා බලාපොරොත්තු අනුව ඉදිරියට යනවා නම් රටේ දේශපාලන ක්‍රමය වෙනස් කළ යුතුව ඇතැයිද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් දැක්වූ රාජිත සේනාරත්න පැවසූයේ, රනිල්ට තව වසර පහක් දුන්නොත් ලංකාව ලෝකයේ නූතන දේශයක් බවට පත්වන බවට කිසිම සැකයක් නැති බවයි.
ජනතා සුභ සිද්ධිය වෙනුවෙන් රට ගොඩනැගීම සඳහා රනිල් වික්‍රමසිංහ ට කොන්දේසි විරහිතව සහාය දෙන බව කී රාජිත සේනාරත්න, සැප්තැම්බර් 22 වැනිදා වන විට රටේ නියත ජනපති වන්නේ රනිල් බවට කිසිම සැකයක් නැතැයි කීය.
මහා සංඝරත්නය ප්‍රමුඛ සියලු ආගමික පූජකතුමන්ද, කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර, එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන, එජාප ජාතික සංවිධායක ජනාධිපති කාර්ය මණ්ඩලය ප්‍රධානී සාගල රත්නායක, එජාප ජාතික ලේකම් රවී කරුණානායක ප්‍රමුඛ එජාප නායකයෝ ද මෙම අවස්ථාවට සහභාගී වූහ.