සීමාසහිත ස්ටාර්ලින්ක් ලංකා (පුද්ගලික) සමාගමට (Starlink) චන්ද්‍රිකා තාක්ෂණය භාවිතයෙන් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවා සැපයීම සඳහා

“විදුලි සංදේශ සේවා සැපයුම්කරු” බලපත්‍රයක් නිකුත් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධිත) පනතේ 17 (2) වගන්තිය යටතේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් මෙම බලපත්‍රය නිකුත් කර තිබෙන අතර එය 2024 අගෝස්තු 12 වනදා සිට ක්‍රියාත්මකය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ලොව සුප්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක් අතර හමුවක් පසුගියදා ඉන්දුනිසියාවේ දී සිදු වූ අතර එහිදී ඊලොන් මස්ක් විසින් හිමිකාරිත්වය දරනු ලබන ස්ටාර්ලින්ක් ජාලය (Starlink)  සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම පිළිබඳ සාකච්ඡා කෙරිණි.

එහි ප්‍රතිඵලයක් ලෙස චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පහසුකම් සේවාව සැපයීම සඳහා ස්ටාර්ලින්ක් (Starlink) සමාගමට අනුමැතිය ලබා දී තිබේ.

ශ්‍රී ලංකාවේ දැනට පවතින ෆයිබර් තාක්ෂණ අන්තර්ජාල සේවාව මෙන් කිහිප ගුණයකින් මෙම අන්තර්ජාල සේවාව වේගවත් වීම නිසා හා ලෝකයේ ඕනැම ස්ථානයක සිට මෙම සේවාව ලබා ගැනීමට ඇති හැකියාවත් නිසා ඉදිරියේදී මෙරට තාක්ෂණ ක්ෂේත්‍රය තුළ වඩා යහපත් පරිසරයක් නිර්මාණය වනු ඇති බව විදුලි සංදේශ නියාමන කොම්ෂන් සභාව පවසයි.

stw453ffජනාධිපති වික්‍රමසිංහ සහ ලොව සුප්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක් අතර හමුවක් පසුගියදා ඉන්දුනිසියාවේ දී සිදු විය.


වසර 28කට පසු ටෙල්කෝ පනත සංශෝධනයට

ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ නියාමනය සම්බන්ධයෙන් දැනට ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන ඇතුළත් වන්නේ 1991 අංක 25 දරණ විදුලි සංදේශ පණතෙහි වන අතර, එය අවසන් වරට සංශෝධනය වී ඇත්තේ 1996 වර්ෂයේ වේ.

වසර 28 කට ආසන්න දීර්ඝ කාලයක් පුරා මෙම පනත සංශෝධනය වී නොමැති අතර දීර්ඝ කාලීන සමාජ හා ආර්ථික වෙනස්වීම් හේතුවෙන් දියුණු වී ඇති තාක්ෂණය සමඟ ඵලදායී නියාමන ආයතනයක කාර්ය ඉටු කිරීම සඳහා වර්තමාන ආර්ථික හා සමාජ අවශ්‍යතාවයන්ට සමගාමීව මෙම පනත සංශෝධනය කිරීම කාලීන අවශ්‍යතාවයකි.

එම අවශ්‍යතාවය තේරුම් ගත් වත්මන් රජය වසර 28කට පසුව පසුගිය ජූලි මස ටෙල්කෝ පනත සංශෝධනය කරන ලදී.

මේ දක්වා කාලය තුළ රජය විසින් නිකුත් කරන ලද්දේ විදුලි සංදේශ පද්ධතිය බලපත්‍ර පමණක් වන නමුත් තාක්ෂණික දියුණුවත් කාලීන අවශ්‍යතාවනුත් සමඟ වර්තමානයේ පවතින වෙළඳපොල ඉල්ලීමද සැලකිල්ලට ගනිමින් නව බලපත්‍ර වර්ග තුනක් මෙන් පනත මඟින් හඳුන්වා දීමට කටයුතු කර ඇත.

එනම්, යටිතට පහසුකම් සේවා සැපයීම, විදුලි සංදේශ සේවා සැපයීම හා සමුද්‍රීය කේබල් ගොඩබිමට සම්බන්ධ කරන ස්ථානවලට පහසුකම් සැපයීම සඳහා වන බලපත්‍ර වේ.

මෙම සංශෝධන සමඟ ශ්‍රී ලංකා රජය Starlink සමාගමට චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කරගත් අන්තර් ජාල දත්ත සේවාව දිවයින තුළ ක්‍රියාත්මක කිරීම සඳහා වූ බලපත්‍රය ලබා දීමට කටයුතු කර ඇත.  

worky sin

නවතම පුවත්