මේ මොහොතේ රටට අවශ්‍ය මනුස්සකම දන්නා මානුෂීයත්වයට මුල් තැන දෙන ආණ්ඩුවක් සහ රාජ්‍ය පාලනයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙලෙස පැවසුවේ ඊයේ (13) කොළඹ සිනමන් හෝටලයේ පැවැති සමගියට විසි හතක් වැඩසටහන සමග එක්වෙමිනි.
එමෙන් ම මේ අවස්ථාවේ රට තුළ ක්‍රියාත්මක ක්‍රමවේදවල මහා පරිමාණ සංශෝධනසිදුවිය යුතු බව බවත්, රටේ දැවැන්ත වෙනස්කම් සිදුවිය යුතු බවත්, එහි දී ලක්ෂ දෙසිය විස්සක් වූ ජනතාවගේ කරපිට බර පැටවෙන විට එය අවම වන ආකාරයට ක්‍රියාත්මක විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා,
මේ ආණ්ඩුව බිලියනපතියන් බේරා ගත්තා
‘‘ජනාධිපතිවරයා ප්රමුඛ වත්මන් රජය ලෝකයා එක්ක ගිවිසුම් ගහන්නේ සාමාන්‍ය ජනතාවගේ හිසමත උපරිම බර පටවලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් ගිවිසුමේ දී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණයේ දී සම්පූර්ණ බර පැටවූයේ වැඩකරන ජනතාව මතයි. වැඩ කරන ජනතාවගේ අර්ථසාධක අරමුදල්වලට බලපෑම් කරා; සාමන්‍ය ජනතාවට බර දීලා බිලියනපතියන් බේරා ගත්තා.
මේ ආණ්ඩුව සාමාන්‍ය ජනතාවගේ ඉතුරුකිරිම් වන ඊපීඑෆ් සහ ඊටීඑෆ් එකට පිට්පොකට් ගහපු ආණ්ඩුවක් මීට පෙර නම් දැකල නෑ. සමගි ජන බලවේගය මේ තත්ත්වය වෙනස් කරලා රටේ පාලකයා ලෙස විශාලතම කැපකිරීම සිදු කරන තත්ත්වයක් ඇති කරනවා. රටේ පාලකයෝ ප්රමුඛ ජනාධිපති පරමාදර්ශී චරිත විය යුතු යි. මේ වගකීම් බාර ගත්තේ පෞද්ගලික බඩගෝස්තරවාදි දේශපාලනය හෝ පුද්ගලික සුඛවිහරණය වෙනුවෙන් නෙවෙයි; පවුල ශක්තිමත් කිරීමට නෙවෙයි; රටට සේවයක් කරන්න. මේ බව ඔබ සැම දෙනා දැන ගත යුතුයි. නමුත් අද ජනතාව දුක් විඳිනවා.
අපි IMF එකත් එක්ක සාකච්ඡා කරනවා
රටෙන් හරි අඩක් දුප්පතුන් වෙලා. රජයවත් ඒ ප්‍රමාණය හරිහැටිදන්නෙ නෑ. එය දැන ගන්න පුළුවන් වුණේ වෙනත් ආයතන කරන සංගණන හරහා. නමුත් වෙන්න ඕනෙ මොකක් ද? රටේ පාලකයා රටේ වගකීම බාර ගත්ත මොහොතේ ම සංගණනයක් සිදු කරලා, දරිද්‍රතා රේඛාව හඳුනා ගෙන කටයුතු කරන්න වුවමනයි. ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් පවා විපතට පත්වෙලා තියෙන මොහාතක ඒවා දැන ගෙන රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කළ යුතුයි.
සමගි ජන බලවේගය අයිඑම්එෆ් එකත් එක්ක සාකච්ඡා කරනවා. ඔවුන් ජන වරමක් සහිත රජයකට සවන් දෙන බව අපිට විශ්වාසයි. ඒ තුළින් මේ අසීමිත බර තුනී කරන්න පුළුවන්. ජනතාව මත පැටවී ඇති මේ බර සහ ඒ තුළින් ඇති වූ සමාජ ව්‍යසනය කියල නිම කරන්න බෑ. ජනතාව ගැන ප්‍රතිපත්ති සම්පාදනය කරන අය මේ පිළිබඳව අවබෝධයක් නෑ. මේ අය මහපොළොවේ පය ගසා ජීවත් වෙන්නෙ නැති නිසා දුක්විදින ජනතාවගේ වේදනාව ගැන අවබෝධයක් නෑ. මේ නිසා විදිමත් ප්‍රතිපත්ති සම්පාදනයක් සිදු වෙන්නෙ නෑ.
අපි හොරුන්ට දඬුවම් දෙනවා
සමගි ජන බලවේගය මෙරට හඬක් නැති නිහඬ බහුතරයේ හඬ අවබෝධ කර ගෙන තියෙන නිසා යහපත්, විනිවිදභාවයෙන් යුත්, දූෂණයෙන් වංචාවෙන් තොර, දුප්පත්කම තුරන් කරන, ආදායම් මාර්ග වර්ධනය කරන, ප්රගතිශීලී ආර්ථික වර්ධන කේන්ද්‍රීය ආණ්ඩුවක් ඇති කරනවා. ආණ්ඩුවක් පත් වන්නේ රටට වැඩක් කරන්න වුණාට පසුගිය කාලෙ තිබුණු ආණ්ඩු ජාතිබේද සහ ආගම් භේද ඇති කරලා රට විනාශ කරා. අපි, තරාතිරම් භේදයකින් තොරව මේ අය නීතිය අරගෙන එනවා.
මම කවදාවත් හොරු රකින්නේ නෑ; මංකොල්ලකන අය, සූදු කාරයෝ, රට විනාශ කරපු අය රකින්න මම කටයුතු කරෙත් නෑ; කරන්නෙත් නෑ. ඒ නිසා පැහැදිලිවම නිතිය ක්‍රියාත්මක කරලා, හොරු අල්ලා, හොරා කාපු සම්පත් නැවත රටට ලබා ගන්න කටයුතු කරනවා. ඒ නිසා: අලුත් රටක්, අලුත් ගමනක්, ලක්ෂ දෙසිය විස්ස ම ජීවත් කරවන ගමනකට මුල පුරන්න එක්වන ලෙස මම ඉල්ලා සිටිනවා’’
(සටහන - ජයසිරි අලවත්ත)